රග්බි වසන්තය පිළිගන්නට අපි සූදානම්; ඔබ?

483

ජාත්‍යන්තර රග්බි පිටියට මෙන්ම රග්බි ප්‍රේක්ෂකයින්ට ද වසන්තය උදා කරමින් 2019 IRB රග්බි ලෝක කුසලානය තවත් මාස අටකින් ආරම්භ වීමට නියමිතයි. වැඩිම වරක් ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායම ඔබ දන්නවා ද? මීළඟ ලෝක කුසලානය පැවැත්වෙන්නේ කොහේ ද? ThePapare.com මේ සූදානම රග්බි ලෝක කුසලානයට ඔබත් සමඟ පෙරගමන් යන්නයි.

රග්බි ලෝක කුසලානය ලොව පැවැත්වෙන ප්‍රධානතම රග්බි තරගාවලියයි. සෑම වසර හතරකට වරක්ම මෙම තරගාවලිය සංවිධානය කරන්නේ IRB හෙවත් ජාත්‍යන්තර රග්බි පාපන්දු සංගමය විසිනි.

සිය රට වෙනුවෙන් ලෝක කුසලානය සිහිනය හඹා යන සියලුම ක්‍රීඩකයින්ට ප්‍රධානතම වේදිකාව වන රග්බි ලෝක කුසලානය ආසන්න වශයෙන් සති හතක කාලයක් පුරාවට තිරගත වේ. එය ලොව තෙවන විශාලතම ක්‍රීඩා ඉසව්ව වන්නේ ඔලිම්පික් උළෙල හා පාපන්දු ලෝක කුසලානයට පමණක් තෙවැනි වෙමිනි.

පළමු රග්බි ලෝක කුසලානය පැවැත්වුණේ 1987 වසරේ දී ය. එම තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරුවේ නවසීලන්තය හා ඕස්ට්‍රේලියාවයි.

ශූරයින්ට ලැබෙන කුසලානය

රග්බි ලෝක කුසලානයේ ජයග්‍රාහකයින්ට වෙබ් එලිස් කුසලානය (Webb Ellis Cup) පිරිනමනු ලබයි. එම කුසලානය නම් කර ඇත්තේ රග්බි ක්‍රීඩාව ආරම්භ කළා යැයි සැලකෙන රග්බි පාසලේ (Rugby School) ඉගනුම ලැබූ විලියම් වෙබ් එලිස්ගේ නමින් ඔහුට කරන ගෞරවයක් ලෙසයි. ඔහු පාපන්දු තරගයක් අතරතුර දී පා පන්දුව ඔසවා ගෙන යාමෙන් රග්බි පාපන්දු ක්‍රීඩාව ආරම්භ වූ බව ප්‍රකට පුරාවෘත්තයක්.  

1987 වසරේ පළමු ලෝක කුසලානයේ සිට ලෝක ශූරයින්ට ලබා දෙන්නේ මෙම කුසලානය යි.

වෙබ් එලිස් කුසලානය නිර්මාණය කළේ 1906 වසරේ දී ‘ජෙරාඩ් ක්‍රවුන් ජුවෙලර්ස් ‘ නම් ස්වර්‍ණාභරණ සමාගමක් විසිනි. එහි ‘The International Rugby Football Board’ හා ‘The Webb Ellis Cup’ යන වදන් කොටා තිබෙන අතර රන් හා රිදී මිශ්‍ර කර කුසලානය නිර්මාණය කර තිබෙනවා.

කුසලානය එසවීමට ඇති ආධාරක දෙකේ (handles) එක් ආධාරකයක satyr නම් ග්‍රීක මිත්‍යා සත්ව රූපයක් හා අනිකේ nymph නම් සත්ව රූපයක් ද කොටා තිබෙනවා.

‘බිල්’ නම් කෙටි අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන රග්බි ලෝක කුසලානය සෙන්ටිමීටර 38ක් උසයි.

තරගාවලියට සුදුසුකම් ලැබීම

(2019 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම – Wikipedia)

1987 වසරේ පැවැත්වුණු මංගල තරගාවලියට කණ්ඩායම් 16ක් සහභාගී විය. කෙසේ වෙතත් 1999 වසරෙන් පසු කණ්ඩායම් විස්සක් ලෝක රග්බි කිරුල වෙනුවෙන් සටන් වදිනවා.

රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ක්‍රියාදාමය මදක් සංකීර්ණ වන අතර ඒ නිසාම එහි තරගකාරිත්වයත් ඉතා ඉහළයි.

උදාහරණයක් ලෙස 2019 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම ආරම්භ වුණේ 2015 ලෝක කුසලානයේ පළමු වටයේ සිටමයි. එහි පළමු අදියරේ එක් එක් කාණ්ඩවල පළමු ස්ථාන තුනට පත්වන කණ්ඩායම් නිතරගයෙන්ම 2019 ලෝක කුසලානය සඳහා ද සුදුසුකම් ලබනවා. ලෝක කුසලානයේ පළමු වටය කාණ්ඩ හතරක් ඔස්සේ ක්‍රියාත්මක වන අතර එක් කාණ්ඩයක රටවල් පහක් තරග වදිනවා.

ඉතිරි කණ්ඩායම් අට තෝරා ගන්නේ කලාපීය, අන්තර් කලාපීය තරගාවලියකින් හා repechage ක්‍රියාදාමය නම් ක්‍රියාදාමයකිනි.  

පැසිෆික් කලාපීය ප්‍රබලයින්ගේ ගැටුමට දින නියම වේ

පැසිෆික් කලාපීය රග්බි දැවැන්තයන් උරින් උර ගැටෙන Pacific Nations – 2019…

ලෝක කුසලානයේ ඉතිරි ආසන අටෙන් ස්ථාන හයක් තීරණය වුණේ කලාපීය තරගාවලි වලිනි. අප්‍රිකානු කුසලාන තරගාවලියෙන් හා යුරෝපා කුසලාන තරගාවලියෙන් අප්‍රිකාවට එක් ස්ථානයක් හා යුරෝපයට එක් ස්ථානයක් බැගින් හිමි විය. ඕෂනියා කලාපයට ස්ථාන දෙකක හිමි විය.

පැසිෆික් කලාපයේ ප්‍රධාන රටවල් එක්වුණු තරගාවලි දෙකකින් කණ්ඩායම් දෙකක් තරගාවලියට පිවිසුණු අතර Americas North හා Sudamérica නම් තරගාවලි දෙකකින් අනතුරුව ඇමරිකානු කලාපයෙන් රටවල් දෙකක් ලෝක කුසලානයට පිවිසියේය.  

ඉතිරි ස්ථාන හතරෙන් එක් ස්ථානයක් සඳහා අන්තර් කලාපීය තරගාවලියක් පැවැත්වූ අතර යුරෝපා හා ඕෂනියා කලාප දෙකේ කණ්ඩායම් දෙකක් අදියර දෙකක් ක්‍රීඩා කරමින් එහි ජයග්‍රාහකයා ද ලෝක කුසලානයට පිවිසෙන ලදි.

අවසන් ස්ථානය සම්පූර්ණ කළේ Repechage තරගාවලියකිනි. කලාපීය තරගාවලි වල දෙවන ස්ථාන දිනූ කණ්ඩායම් බොහෝ විට මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගනු ලැබේ.

ලෝක රග්බි ආයතනය ලොව පුරා සියලුම කලාපවලට අවස්ථාව ලබා දීමේ අරමුණින් තරගාවලියෙන් තරගාවලියට මෙම ආකෘතිය වෙනස් කිරීම විශේෂත්වයකි.

සත්කාරක රාජ්‍යය තෝරාගැනීම

තරගාවලිය සංවිධානය වන්නේ ජාත්‍යන්තර රග්බි ආයතනයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන රග්බි ලෝක කුසලාන සමාගම (RWCL) නම් සමාගමකිනි. ජාත්‍යන්තර රග්බි කවුන්සිලයේ සභිකයින් විසින් සත්කාරක රාජ්‍යය ඡන්ද විමසීමක් මගින් තීරණය කරනවා.

යම් තරගාවලියක් පැවැත්වීමට නියමිත වසරට වසර පහකට හෝ හයකට ප්‍රථම සත්කාරක රාජ්‍යය නම් කර ඔවුන්ට ඒ සඳහා සූදානම් වීමට අවස්ථාව ලබා දෙනු ලැබේ. 2011 ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉසිලූ නවසීලන්තයට ජාත්‍යන්තර රග්බි සංගමය විසින් සත්කාරකත්වය ලබා දුන්නේ 2005 වසරේ දීයි.

තරගාවලියේ ඉතිහාසය පිළිබඳ ඔබ දන්නවා ද ?

වැඩිම වරක් ලෝක කුසලානය එසවූ කණ්ඩායම ඔබට අනුමාන කළ හැකි ද? ලෝක කුසලාන ඉතිහාසයේ  වැඩිම ලකුණු ලාභින් ඔබ දන්නවා ද? 1987 පළමු රග්බි ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරුවේ නවසීලන්තය හා ඕස්ට්‍රේලියාවයි. එහි සිදු වූ විශේෂ සිදුවීම් හා තරගාවලිය පිළිබඳ සියලු විස්තර අප ඔබ වෙත ගෙන ඒමට සූදානම්.

පළමු ලෝක කුසලානය නවසීලන්ත ‘ALL Blacks’ වරුන්ට ද ? ප්‍රංශ ‘Les Bleus’ කණ්ඩායමට ද? රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<