​Shastriගේ ලොකුම බලාපොරොත්තු සුන්වීම!

1104
Ravi Shastri

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Ravi Shastri සිය ධුර කාලය තුල වඩාත්ම කනගාටුවට පත්වූ අවස්ථාව පිළිබඳව පසුගිය දා අදහස් දක්වා තිබුණා. 

එහි දී ඔහු පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය පරාජය වීම ඔහුගේ විශාලතම බලාපොරොත්තු සුන්වීම බවයි.

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ලෙස Ravi Shastri කටයුතු කළ කාලය තුල ඉන්දීය කණ්ඩායම ප්‍රබල දස්කම් රැසක් දැක්වීමට සමත් වුනා. ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේ දී පිට පිට ටෙස්ට් තරගාවලි ජයග්‍රහණ වාර්තා කිරීම, එංගලන්තයේ දී එංගලන්තය තරග 2-1ක් ලෙස පරාජය කිරීම, ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක 1 ලෙස වසර පහක් රැඳී සිටීම මෙන්ම ICC තරගාවලි කිහිපයකම පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසීමට සමත් වීම ඉන් අතරින් කැපී පෙනෙන ජයග්‍රහණ කිහිපයක් වනවා. 

පුහුණුකරුවෙකු ලෙස ඔහු ඉන්දීය කණ්ඩායම මෙහෙය වූ ආකාරය සහ ඔහු ක්‍රීඩකයන් තුළ ඇති කළ ගුණාත්මකභාවය සහ විශ්වාසය පිළිබඳව සැලකූ විට පසුගිය කාලය තුළ ඉන්දියාව තුල සිටි හොඳම පුහුණුකරු Ravi Shastri බව අවිවාදයෙන් පිළිගන්නා කරුණක් වනවා.

කෙසේ වෙතත් ඔහුගේ කාලය තුළ ඉන්දීය කණ්ඩායමට ජාත්‍යන්තර කුසලානයක් දිනා ගැනීමට නොහැකි වීම ද කැපී පෙනෙන කරුණක් වුනා. 2019 ලෝක කුසලානය, 2021 ලෝක ටෙස්ට් ශූරතාවලිය මෙන්ම 2021 විස්සයි විස්ස ලෝක කුසලානය ද ජාත්‍යන්තර තරගාවලිවල දී මග හැරුණු අවස්ථා ලෙස සටහන් වනවා. 

තම කණ්ඩායම ලෝකයේ හොඳම කණ්ඩායම බවට පත්කිරීම සඳහා දිවා රෑ නොබලා කැපවීමෙන් කටයුතු කරන පුහුණුකරුවෙකුගෙන් සිය වෘත්තීය දිවිය තුළ වඩාත්ම කලකිරීමක් ඇතිකරන්නේ කුමන පරාජය ද යන්න විමසීම උපක්‍රමශීලී ප්‍රශ්නයක්. නමුත් Ravi Shastri එම උපක්‍රමශීලී ප්‍රශ්නයට කිසිදු තැකීමක් නොකර නිර්භීතව පිළිතුරු දී තිබුණා.

“මගේ කාලය ගත්තම මට වඩාත්ම කලකිරෙන සහ බලාපොරොත්තු සුන්වන අවස්ථා කීපයක් තිබුණා. ඒ අතරින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය පරාජය වීම මගේ පාලන කාලය තුළ සිදු වූ ලොකුම බලාපොරොත්තු සුන්වීම කියලා කියන්න පුළුවන්. ඒ තරගය අපි පරාජය වෙන්න ඕනේ තරගයක් නෙමෙයි. අඩුම තරමින් අපිට ඒක ජය පරාජයෙන් තොරව අවසන් කරගන්න තිබුණා. අපි වසර පහක් තිස්සේ හොඳින්ම ක්‍රීඩා කළ ක්‍රිකට් ආකෘතිය වුනේ ටෙස්ට් තරග. වසර පහක් අංක 1 විදිහට ඉන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි”, හිටපු ඉන්දීය පුහුණුකරු Ravi Shastri පවසා සිටියා. ඔහු මේ බව පවසා සිටියේ Star Sports හි ‘Bold and Brave: Ravi Shastri Way’ නම් වැඩසටහන හා එක්වෙමින්.

“ඔබට අවශ්‍ය ඕනෑම මාතෘකාවක් ගන්න පුළුවන්. තරගයට සූදානම් වීම, නිරෝධායන නීති, එංගලන්තයේ පැවති කොන්දේසි වගේම නවසීලන්තය ඒ වන විටත් එංගලන්තයේ සිටීම වෙන්න පුළුවන් ඒත් අපිට ඒ තරගය පරාජය වෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ තරග පරාජය මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තු සුන්වීම විදිහට තියෙනවා.”

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය පසුගිය වසරේ ජුනි 18 සිට 23 දක්වා එංගලන්තයේ සවුත්හැම්ප්ටන්හිදී පැවති අතර ඉන් කඩුලු 8ක පරාජයක් අත්විඳීමට ඉන්දියාවට සිදු වුනා.

වර්ෂාව හමුවේ බාධා එල්ල වූ එම තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 217ක් වාර්තා කිරීමට සමත් වුනා. එහි දී ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ Ajinkya Rahane ලකුණු 49ක් වාර්තා කළ අතර නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Kyle Jamieson කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා. 

ඉන්දීය ඉනිමට පිළිතුරු වශයෙන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 249ක් රැස්කළා. නවසීලන්තය වෙනුවෙන් Devon Conwoy ලකුණු 53ක් රැස්කළ අතර Mohommad Shami කඩුලු 4ක් සහ Ishant Sharma කඩුලු 3ක් දවාගෙන තිබුණා.

දෙවැනි ඉනිමේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 170කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුනා. ඒ අනුව නවසීලන්තයට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 140ක්. නවසීලන්ත ජ්‍යේෂ්ඨයන් වූ Kane Williamson සහ Ross Taylor සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<