කොදෙව් සංචාරයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය නිකුත් වේ

2216

ලබන මස 6 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කිරීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් යුතු මූලික සංචිතයක් තෝරාගෙන ඇත.

දිමුත්ට කොදෙව් සංචාරය අහිමි වන ලකුණු

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව ඇත.

මේ මූලික සංචිතය මැයි මස 9 වැනිදා සිට දින අටකට ආසන්න කාලයක් පුරාවට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පෙර පුහුණුවීම් වල නිරත වෙනු ඇත.

ටෙස්ට් තරග 3කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය සඳහා වන අවසන් ශ්‍රී ලංකා සංචිතය ලබන 25 වැනිදා කොදෙව් දේශය බලා පිටත්ව යනු ඇත. තරගාවලිය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුහුණු තරගයකට සහභාගී වන අතර තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ජුනි මස 6 සිට 10 වැනිදා දක්වා ට්‍රිනිඩෑඩ් හි කුවින්ස් පාක් ඕවල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙනු ඇත. තරගාවලියේ දෙවන තරගය එනම් සාන්ත ලුසියා හි පැවැත්වෙන තරගය දිවා/රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙනු ඇත.

දිමුත් කරුණාරත්න පසුගිය සතියේ දී ආබාධයකට ලක්වීම නිසා එම හිඩැස පිරවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් වමතින් පිත්ත හසුරුවන දක්ෂ පිතිකරුවෙකු වන මහේල උඩවත්ත නැවතත් මූලික සංචිතයට කැඳවා ඇත.  

වයස අවුරුදු 31ක් වන උඩවත්ත 2008 දී පළමුවරට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු ටෙස්ට් තරග සඳහා තවමත් ජාතික ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කර නොමැත. පසුගිය දා නිමාවූ අන්තර් සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී  ලකුණු 286ක් ලබාගත් උඩවත්තගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 56.60ක් වැනි හොඳ මට්ටමක තිබුණි.

සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ වැඩ්ඩෝ

ඉදිරියේ දී පැවැත්වෙන කොදෙව් ටෙස්ට් තරග සංචාරය ඇතුළු ටෙස්ට් තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය දක්ෂයින් සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය…

කසුන් රාජිත, නිසල තාරක නිමාවූ සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් දැක්වූ දස්කම් නිසා මේ මූලික සංචිතයට කැඳවා තිබේ. පෙබරවාරි මාසයේ දී බංගලාදේශය සමඟ පැවති තරගාවලියට සහභාගී වූ ෂෙහාන් මදුසංක ආබාධයට පසුව නැවතත් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු පිණිස මූලික සංචිතයට කැඳවා තිබේ. ඔහු මේ වන විට පැවැත්වෙන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම නියෝජනය කරයි.

එසේම කඩුලු රකින පිතිකරුවෙකු වන කුසල් ජනිත් හා වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන දසුන් ශානක ද මෙම මූලික සංචිතයට ඇතුළත් කර ඇත.

මේ ක්‍රීඩකයින් 21 දෙනාගේ සංචිතය මූලික පුහුණුවීම්වලට පසුව කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම ලබන සතියේ දී නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව බලාපොරොත්තුවෙන් සිටියි.

මූලික සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මහේල උඩවත්ත, දසුන් ශානක, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු ගමගේ, ලහිරු කුමාර, ෂෙහාන් මදුසංක, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, නිසල තාරක.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කාලසටහන

  • පුහුණු තරගය: මැයි 30 – ජුනි 1 බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ට්‍රිනිඩෑඩ්.
  • පළමු ටෙස්ට් තරගය: ජුනි 6-  10 කුවින්ස් පාක් ඕවල්, ට්‍රිනිඩෑඩ්.
  • දෙවන ටෙස්ට් තරගය: ජුනි 14-18  ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සාන්ත ලුසියා (දිවා/රාත්‍රී)
  • තෙවන ටෙස්ට් තරගය: ජුනි 23-27 කෙන්සින්ටන් ඕවල්, බාබඩෝස්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<