ටෙස්ට් පිටියේ අලුත් ම විනිසුරු “රඹුක්වැල්ල”

8

ටෙස්ට් ක්‍රිකට් තරග විනිසුරු පදවියට පත් අලුත් ම ශ්‍රී ලාංකීය ක්‍රිකට් විනිසුරු බවට පත් වීමට ප්‍රදීප් රඹුක්වැල්ල සමත් වෙනවා.

පසුගියදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර SSC ක්‍රීඩාංගණයේ දී පැවැති 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිටියේ විනිසුරුවන් ලෙසින් නම් කර තිබුණේ Alex Wharf සහ Allahuddien Paleker. ඔවුන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් තරගය ආරම්භ වූවත් තරගයේ පළමු දිනයේ තෙවැනි කාර්තුවේ දී හදිසියේ ම ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් 50 හැවිරිදි වියේ පසුවෙන එංගලන්ත ජාතික Alex Wharf තාවකාලිකව පිටියෙන් ඉවතට යනවා.

ඉවත් වූ ඔහුගේ පුරප්පාඩුවට කැඳවෙන්නේ ඒ වන විට තරගයේ “සූදානම් විනිසුරු” ලෙසින් කටයුතු කළ ප්‍රගීත් රඹුක්වැල්ලයි. ඒ අනුව තරගයේ පළමු දිනයේ තේ විවේකයෙන් අනතුරු ව යැවුණ 5 වැනි පන්දු වාරයේ සිට ප්‍රගීත් රඹුක්වැල්ල ගේ ටෙස්ට් තරග ඉනිම ආරම්භ වෙනවා. ඒ 47 හැවිරිදි වියේ පසුවෙන දකුණු අප්‍රිකානු ජාතික Allahuddien Paleker සමඟ එකතු වෙමිනුයි.

ප්‍රගීත් රඹුක්වැල්ල ටෙස්ට් ක්‍රිකට් කබාය පැළඳී මෙරට 22 වැනි විනිසුරුවරයායි.

  • ප්‍රගීත් රඹුක්වැල්ලගේ තරග විනිසුරු දිවියේ මෙතෙක් ගමන් මඟ…
  Tests ODIs T20Is WODIs WT20Is FC List A T20s
Mat 1 8 22 13 7 135 140 180
Umpire 1 7 17 10 7 134 136 144
TV Umpire 1 5 3 1 4 36

මොරටුවේ උපත ලද ප්‍රගීත් රඹුක්වැල්ලගේ පාසල් දිවිය ආරම්භ වෙන්නේ බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලයෙන්. ඒ දවස්වල සිට ම ප්‍රගීත් ගේ අංක 1 වෙන්නේ ඉගෙනීම. එහෙම වුණා කියලා එහි ම ඇලී-ගැලී සිටීමේ පුරුද්දක් ඔහුට තිබී නැහැ.

“පුංචි දවස්වල යම් ක්‍රීඩාවක යෙදෙන්න ඕන කියන නිශ්චිත අරමුණක් මට තිබුණෙ නැහැ. පාසලේ දී වගේ ම ගෙවල් අහල පහලදීත් ලැබෙන විවේකයේ දී කළේ ක්‍රිකට් ක්‍රීඩාව තමයි. නමුත් පසුකාලීන ව මට දැනෙනවා මාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න ඕන කියන හැඟීම තාත්තට තියෙන්න ඇති කියලා.”

ප්‍රගීත් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව සමතුන්ගේ ලැයිස්තුවේ ඉහළ කිහිප දෙනාගෙන් කෙනෙක් බවට පත් වෙනවා. ඒ අනුව ප්‍රගීත්ගේත් නිවැසියන්ගේත් තේරීම වෙන්නේ කොළඹ නාලන්දා විද්‍යාලය.

ප්‍රගීත්ගේ පියා, ආර්. එම්. පියසේන. මව නීතා පද්මාවතී. ඔවුන්ට දාව උපන් පිරිමි දරුවන් සිව් දෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමලා වෙන්නේ ප්‍රගීත්. හය දෙනෙක්ගෙන් යුත් පවුලේ ජීවිකාව, අරපරිස්සමට සැකසුම් කර ගැනීමට දෙමාපියන් දෙදෙනා කරන ගනු-දෙනුවට ප්‍රගීත් ඇතුළු දරුවන්ගෙන් ද ලැබෙන්නේ නොමද රුකුලක්.

“නාලන්දා විද්‍යාලයට යන්න කලින්, තාත්ත මාව නෙල්සන් මෙන්ඩිස් සර් ළඟට එක්ක යනවා. ඒ 1986 අවුරුද්ද. එදා මම ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රගුණ කරන්නේ නෙල්සන් මෙන්ඩිස් සර් ගෙ ක්‍රිකට් ඇකඩමියේ ආරම්භක ශිෂ්‍යයෙක් ලෙසින්. ඉතිං මේ සිදුවීමත් සමඟින් තමයි මට හිතෙන්නේ මටත් වඩා තාත්තට තමයි මාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න උවමනා ව තිබිල තියෙන්නේ කියලා.”

අනතුරු ව නාලන්දා විද්‍යාලය හා එක් වෙන ප්‍රගීත් ඒ සමඟ ම නාලන්දා විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාව හා සමබන්ධ වෙනවා. ඒ අනුව ප්‍රගීත්, නාලන්දා විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19 පහළ යන සෑම කණ්ඩායමක ම සාමාජිකයෙක් බවට ද පත් වෙනවා.

“අපි වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම, දුලිප් සමරවීරගේ නායකත්වය යටතේ සමස්ත ලංකා පාසල් ක්‍රිකට් තරගාවලියේ අනුශූරයන් බවට පත් වෙනවා. ඒ තමයි මම සහභාගී වූ, කණ්ඩායමක් දිනා ගත් පළමු ඉහළ ම සම්මානය.”

මේ තරග ජයග්‍රහණය ප්‍රගීත් ගේ ක්‍රිකට් දිවියට විශාල උත්තේජනයක් සපයනවා. ඒ අනුව ලැබෙන සෑම තරගයකදී ම තම උපරිමයෙන් කණ්ඩායමට සේවය කිරීමට ප්‍රගීත් සමත් වෙනවා. පිතිකරුවෙක් ලෙසත් සහ කඩුලු රකින්නෙක් ලෙසත් කටයුතු කළ ප්‍රගීත්, වයස අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩයේ වසර 4ක් ක්‍රීඩා කිරීමට වරම් ලබා ගන්නේ පසුකාලයක දී ජාතික කණ්ඩායම ද නියෝජනය ක්‍රීඩකයන් සමඟයි. ඔහුගේ පාසල් දිවියේ අවසන් වසර ගෙවී යන්නේ මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේයි.

“මේ කාලයේ අපි කොකා-කෝලා කුසලානය, බාටා කුසලානය වගේ ශූරතා කුසලාන, අනුශූරතා කුසලාන වගේ ම වසරේ දක්ෂතම කණ්ඩායම වගේ සම්මාන දිනා ගන්නවා. 1995 වසරේ දී කණ්ඩායමේ උප නායකයා බවට පත් වෙමින් තරග 3ක දී නායකත්වයේ කටයුතු කරමින් ඉන් තරග ද්විත්වයක් ජයග්‍රහණ කරා මෙහෙයවන්නට හැකි වෙනවා. මේ කාලයේ ම මම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතයේ සිටියත්, තරගාවලියකට එක් වීමේ අවස්ථාවක් හිමි වූයේ නැහැ.”

ප්‍රගීත් ගේ ක්‍රිකට් වපසරිය ඒ ලෙසින් ගෙවී යද්දී ඔහු වානිජ්‍ය විෂයන් හඳාරමින් උසස් පෙළ විභාගයට ද සූදානම් වෙනවා. ක්‍රිකට් පිටියේ කෙතරම් කාර්යබහුල වූවත් ඔහු කෙදිනකවත් විෂයදාරාවන් හැඳෑරීමේ අවස්ථාවන් පැහැර හරින්නේ නැහැ. ඔය කාලයේ දී පිහිනුම් සහ ජීවිතාරක්ෂක කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසත් සහ මලල ක්‍රීඩකයෙක් ලෙසත් ඔහු විද්‍යාලය නියෝජනය කරනවා.

“පාසල් කාලයේ දී ලෙස්ලි නාරංගොඩ, හේමන්ත දේවප්‍රිය සහ ජයන්ත සෙනෙවිරත්න යන ගුරුවරුන් යටතේ ක්‍රිකට් ක්‍රීඩාව ඉගෙන ගත්තා. ක්‍රීඩා භාර ආචාර්යවරයා ලෙස ඒ. ටී. නුගේගොඩ මහතා යටතේ ගුරුහුරුකම් ලබා ගත්තා. ඔවුන්ගේ ඇසුර ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නෙවේ, ජීවිතයටත් විශාල අත්දැකීම් සම්භාරයක් එකතු කර ගන්න මට ඒ කාලෙදි හැකි වෙනවා.”

ප්‍රගීත් නාලන්දාවට සමු දෙන්නේ උසස් අධ්‍යාපනය හැදැරීම සඳහා වානිජ්‍යවේදී අංශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමේ සුදුසුකම් සපුරා ගනිමින්. ඒ කාලයේ දී ම Tamil Union ක්‍රිකට් කණ්ඩායම හා එක් වෙමින් ක්‍රිකට් ක්‍රීඩාවේත් සහ සිංගර් ශ්‍රී ලංකා ආයතනය සහ හැටන් නැෂනල් බැංකුව සමඟ එක් වෙමින් වෘත්තීය ලෙසිනුත් සහ වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියන් හා එක් වෙමිනුත් කටයුතු කළා.   

“විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ලබද්දී වෘත්තීයමය වශයෙන් ඉහළට යෑමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනිමට අවශ්‍ය බැංකු සහ මූල්‍ය කරණ සම්බන්ධයෙන් ද ඉගෙනුම ලැබුවා. ඒක හරි අපහසු සහ කාර්යබහුල කාලයක්. නමුත් මට කාලය සැලසුම් කරගෙන මගේ ඉලක්කයක් කරා යන්න හැකි වෙනවා. එම කාලයේ දී විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේ ක්‍රිකට් තරගාවලියකට එක් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේ ම මම නියෝජනය කළ බැංකු කණ්ඩායම්වලට තරගාවලි ජයග්‍රහණය කිරීමේ අවස්ථාවන් ලබා දීමටත් මට හැකි වෙනවා.“

විශ්වවිද්‍යාලයීය උසස් අධ්‍යාපනය, උපාධියකින් අවසන් කරන ප්‍රගීත්, ඒ වෙද්දී බැංකු ක්ෂේත්‍රයේ ද කඩඉම් කිහිපයක් ම පසු කර තිබුණා. එමෙන් ම ඒ අතර කාලයේ දී ඔහු ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් ද බෞතීස්ම ලබා ගත්තා.

“මට පළමු වරට ක්‍රිකට් විනිසුරුවරයෙක් විය යුතුයි කියන හැඟීම එන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් සිටි කාලයේදීමයි. ක්‍රිකට් පිටියේ අපූර්වත්වයත් ගැන ඒ කාලයේ මගේ අවධානය යොමු වුණා. ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන ගමන් ම ක්‍රිකට් නීති සම්බන්ධයෙන් හැදෑරීම් කළා. එහි ප්‍රවීනයන් සමග අදහස් හුවමාරු කර ගත්තා. තර්ක විතර්ක කළා. ඔය කාලයේ තමයි ගිහාන් විරසිංහ මහතා මට ක්‍රිකට් විනිසුරුවරයෙක් වෙමු කියන යෝජනාවත් සමඟ අයැදුම් පත්‍රයක් ලබා දෙන්නේ.“

වසරේ හොඳම විනිසුරු ලෙසින් සම්මාන ලැබු ප්‍රගීත් රඹුක්වැල්ල සමකාලීන පාසල් නායක මහේල ජයවර්ධන සමඟ…

එලෙසින් 2004 වසරේ දී ක්‍රිකට් විනිසුරු දිවියට එළැඹෙන ප්‍රගීත්, 2007/08 වසරේ දී පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් උසස්වීම් ලබනවා. ඊට පසුව 2014 වසරේ පළමු පෙළ ක්‍රිකට් තරග පිටියේ හොඳම ක්‍රිකට් විනිසුරු ලෙසින් ද සම්මානය පාත්‍ර වීමට ඔහු සමත් වෙනවා.

එම දක්ෂතාත් සමඟින් ජාත්‍යන්තර තරග පිටිය ද තරණය කිරීමට සමත් වෙන ඔහු 2019 වසරේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති තරගයෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට ද සහ 2022 වසරේ දී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැති තරගයෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට ද සමත් වෙනවා.

අනතුරුවයි ඔහුට මෙම අවස්ථාව හිමි වෙන්නේ.

ප්‍රගීත් රඹුක්වැල්ල තම මංගල ටෙස්ට් තරගයේ සහායක විනිසුරු Allahuddien Paleker සමඟ

“මේ තරම් දුර ගමනක් එන ඕන ම කෙනෙක්ගේ බලාපොරොත්තුව ටෙස්ට් තරගයක විනිසුරුවරයෙක් බවට පත් වීම. මේ ලැබු අවස්ථාව සතුට දනවන කාරණයක්.” ප්‍රගීත් රඹුක්වැල්ල පවසනවා.

ප්‍රගීත් තම ක්‍රිකට් විනිසුරු භූමීකාවේ කටයුතු කරන්නේ යුනියන් බැංකුවේ කොළඹ ශාඛාවේ සේවයේ නියුතු වෙමිනුයි. “2011 වසරේ සිට ම මම යුනියන් බැංකුවේ සේවය කරනවා. මේ ගමනේ දී ඔවුන් මා වෙත ලබා දෙන සහයෝගය ඉතා ඉහළින් අගය කරනවා.“

ප්‍රගීත් ගේ බිරිඳ, නිල්මිණි මොහොට්ටි. කෙළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ ගුරුවරියක් ලෙසින් සේවය කරන අතර ඔහු දියණියකගේ සහ පුතණුවකගේ දයාබර පිතෘවරයෙක්. පවුලේ වැඩිමලා දියණිය, පහන්දි රඹුක්වැල්ල නේෂන් ට්‍රස්ට් බැංකුවේ සේවය කරන අතර පුතා සෙනුක් රඹුක්වැල්ල කොළඹ නාලන්දා විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරණවා.

ප්‍රගීත් රඹුක්වැල්ලගේ ආදරණීයයන්…

“බිරිඳගෙන්, දියණිය සහ පුතාගෙන් මගේ මේ කටයුතු වෙනුවෙන් ලැබෙන සහයෝගය ඉතා සුවිශේෂීයි. ඔවුන්ගෙන් උපරිම සහයෝගයක් මේ වෙනුවෙන් ලැබෙනවා. රැකියාවත්, ක්‍රිකට් විනිසුරු දිවියත් හේතුවෙන් කාර්ය බහුලව සිටින මා වෙත අවශ්‍ය මානසික සහ කායික නිදහස ඔවුන් උපරිමයෙන් ම මට නිවසේ දී දෙනවා.”

කාර්යක්ෂම ජීවිතයේ විවිධාකාර හැල හැප්පීම් කාටත් පොදු දෙයක්. ඒ හැල හැප්පීම් ජීවිත ගමන් මඟ අවහිර කරන බාධා කිරීම් බවට පත් වෙනවා. දරා ගත හැකි කෙනා එම අභියෝග ජයගන්නා අතර නොහැකි කෙනා පරාජිත සිතුවිලි බදා ගනිමින් අතරමං ව ජිවීතය විඳවනවා. ප්‍රගීත් රඹුක්වැල්ල පවසන්නේ අප කිසිවෙක් එසේ විය යුතු නැති බවයි.

“ගත කරන සෑම විනාඩියක් ම ගෞරවනීය ලෙසින් ජීවත් වීමයි මගේ බලාපොරොත්තුව. මම ගොඩාක් අධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වූ කෙනෙක්. ඒ නිසා ම මම නිතර ම විශ්වය පිළිබඳ ව හඳාරමින් සිටිනවා සහ අධ්‍යයනය කරමින් ගවේෂණය කරමින් සිටිනවා. ලෝකොත්තර සුවයත් සහ ලෞකික සුවයත් යන අන්ත දෙක එකවර ප්‍රගුණ කිරීමයි මා මේ අවස්ථාවේ සිදු කරන්නේ. එය මගේ ජීවිත ජයග්‍රහණයට පමණක් නොවේ මා වටා සිටින අයට ද යහපත් ලෙසින් භාවිතා කිරීමයි මගෙ බලාපොරොත්තුව.” ප්‍රගීත් රඹුක්වැල්ල ThePapare.com සමඟ පැවැසුවා.

ප්‍රගීත් රඹුක්වැල්ල ගේ ඉදිරි ගමනට ThePapare.com අප ගේ සුබ පැතුම්!

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<