වරාය අධිකාරියට 11 වෙනි ස්ථානය

250

වියට්නාමයේ දී පැවති ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියේ 11 වන ස්ථානය දිනා ගනිමින් තරගාවලිය අවසන් කරන්නට ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම සමත් විය. තරගාවලියේ ඔවුන් සහභාගී වූ අවසන් තරගය මාලදිවයිනේ ක්‍රීඩා හා විනෝද කටයුතු සමාජය සමඟ පැවති අතර එය තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට ඔවුන් සමත් විය. වරාය අධිකාරි කණ්ඩායම මෙම තරගාවලිය සඳහා සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි.

වරාය අධිකාරි කණ්ඩායම පළමු ජයග්‍රහණය වාර්තා කරයි

මේ වන විට වියට්නාමයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියේ ‘G’ කාණ්ඩය යටතේ…

ඊට පෙර ඔවුන් තරගාවලියේ 9-12 ස්ථාන තීරණය කිරීම සඳහා පැවති තරග වටයේ අර්ධ අවසන් තරගය තරග වට 3-0ක් ලෙස තායිලන්ත ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හමුවේ පරාජයට පත්විය. තරගයේ ලකුණු තත්වය 25-17ක්, 25-23ක් හා 27-25ක් ලෙස සටහන් විය.

එම පරාජයත් සමඟ වරාය අධිකාරි කණ්ඩායමට ඊළඟට මාලදිවයින නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම සමඟ තරග වැදීමට සිදු විය. කෙසේ වෙතත් එම තරගයට ද සාර්ථක ආරම්භයක් ලබා ගන්නට වරාය අධිකාරි ක්‍රීඩකයින් අපොහොසත් විය. ඒ තරගයේ පළමු තරග වටය ලකුණු 20-25ක් ලෙස පරාජය වීමත් සමඟයි.

නමුත් දෙවන තරග වටයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ වරාය අධිකාරි කණ්ඩායම එම වටය ලකුණු 25-22ක් ලෙස ජයග්‍රහණය කරමින් නැවතත් තරගයට අවතීර්ණ විය.

අනතුරුව ඔවුන් තරගයේ ඊළඟ තරග වට දෙකම ලකුණු 25-18ක් වශයෙන් ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගත් අතර ඒත් සමඟ ඔවුන් තරගාවලියේ 11 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මෙම තරගයේ දී ලසිඳු මෙත්මාල් වසන්තප්‍රිය වරාය අධිකාරී කණ්ඩායම වෙනුවෙන් ලකුණු 19ක් ලබාගනිමින් තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර නායක ජනිත සුරත් ද ලකුණු 12ක් රැස්කර ගනිමින් තරගයේ ජයග්‍රහණයට දායක විය.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට