ඒක සම්පූර්ණයෙන්ම අහම්බයක්.
1984 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වුණා එක්තරා ක්‍රිකට් පුහුණු කඳවුරක්. වේගපන්දු යවන්නෙකු ලෙස මමත් එයට සහභාගී වුනා. අවාසනාවකට එහි පළමු දවස් හතරේම මට එකම පන්දුවක්වත් යවන්න ලැබුණේ නෑ. මා එයින් සෑහෙන සිත් වේදනාවකට පත්වුනා. මම මගේ පුහුණුකරුවා සොයා ගොසින් කිව්වා මට නැවතත් ඒ පුහුණු කඳවුරට යා නොහැකි බව.
බලාපොරොත්තු නොවූ පරිදි මගේ පුහුණුකරු මාව දිරිමත් කළා පමණක් නොවෙයි පුහුණු කඳවුරේ ප්‍රධාන නිලධාරියාට කතා කොට මට පන්දු යැවීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.
මට මගේ අවස්ථාව ලැබුණේ පස්වැනි දිනය අවසාන වන්නට ඔන්න මෙන්න තිබිය දී. ඒකත් පරණ පන්දුවක්. මට ලැබුණු ඒ පරණ පන්දුවෙන් මම සෑහෙන දෙයක් කළා. එම පුහුණු කඳවුරේ ප්‍රධාන නිලධාරියා සදාත් අලී පාකිස්තානු ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. මා පරණ පන්දුවෙන් පෑ දස්කම් ගැන ඔහු සෑහෙන පැහැදුණා.
පසුදින උදෑසන මට ලැබුණේ නව පන්දුවක්. එයට ප්‍රධානම හේතුව ප්‍රධානියා මා ගැන විශාල පැහැදීමකට පත්ව සිටීම. මම මට හැකි උපරිම වේගයෙන් පන්දු යැව්වා. රමීස් රාජා ඇතුළු නම ගිය ක්‍රීඩකයින් සෑහෙන ප්‍රමාණයක් දවා ගන්න එදා මට හැකි වුනා.
එවකට කරච්චි නුවර පදිංචි වෙලා හිටපු ජාවේඩ් මියැන්ඩාඩ් ලාහෝර් නුවර පදිංචියට පැමිණියේත් ඒ කාලෙදිමයි. ඔහු පුහුණු සැසියට ආ විගසම සදාත් අලී විසින් පන්දු යැවීම මට ලබා දුන්නා. ඒක හීනයක් සැබෑවීමක් වගේ. ජාවෙඩ් මියැන්ඩාඩ් කියන්නේ මගේ ලෝකයේ ක්‍රිකට් වීරයෙක්. මම හැකිතාක් වේගයෙන් ඔහුට පන්දු යැව්වා. මට පුළුවන් වුනා ඔහුවත් පැහැදීමට පත්කරන්න. මියැන්ඩාඩ් කියන්නේ එවකට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා.

හරිහමන් සපත්තු කුට්ටමක් මිලට ගන්නවත් මට ඒ දිනවල වත්කමක් තිබුණේ නෑ. මට මතකයි නවසීලන්ත සංචාරයට ජාතික කණ්ඩායමට තෝරාගත් බව ආරංචි වුණාම මම කෙලින්ම කතා කළේ ජාවෙඩ් මියැන්ඩාඩ්ට.
“ජාවේඩ් බායි, මම කොපමණ මුදලක් රැගෙන යා යුතු ද? “ මම නොඉවසිල්ලෙන් ඇහුවා.
“පාකිස්තානු රුපියල් 50,000ක් පමණ” කියා ඔහු පැවසුවා.
“ජාවේඩ් බායි, මා අතේ එතරම් මුදලක් නැහැ. සමාවෙන්න, මට සමහර විට මේ සංචාරයට එක්වෙන්න බැරි වේවි” මම බිඳුණු හඬින් කිව්වා.
“ඔබ ඔබේ පෞද්ගලික මුදල් රැගෙන යන්න අවශ්‍ය නැහැ. ඔබට පාලක මණ්ඩලයෙන් මුදල් ලැබෙනවා.” මියැන්ඩාඩ් පැවසුවා.
මම පුදුමයට පත්වුනා. තමා ආසම කරන දේ රැකියාව ලෙස කරමින් මුදල් උපයා ගන්න ලැබීම බොහෝ දෙනෙකුට නොලැබෙන අවස්ථාවක්. ඕක්ලන්ඩ්හීදී මම මගේ ප්‍රථම ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන විට මම ක්‍රීඩා කරලා තිබුණේ පළමු පෙළ තරග දෙකකට හෝ තුනකට විතරයි. මුල්ම ටෙස්ට් තරගයේ දී මා ආබාධයකට ලක්වුණා. වාසනාවකට මට ඩනේඩීන්හි පැවති මගේ දෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලු දහයක් දවා ගන්නට හැකි වුනා. ඉන්පසු සිදු වූ සියල්ල ඔබ සියලු දෙනාම හොඳින්ම දන්නවා.

එය ඕස්ට්‍රේලියාවේ පැවති ටෙස්ට් තරගයක්. ඉන්සමාම් ශතකයට ළඟා වෙමින් හිටියේ. ෂේන් වෝන්, ග්ලේන් මැක්ග්‍රාත් වගේ උදවිය ඒ වෙද්දි ඉන්සමාම්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳින්න නොයෙක් දේවල් කරමින් සහ කියමින් හිටියේ. ඕස්ට්‍රේලියාවේ දී ටෙස්ට් ශතකයක් ලබාගන්නවා කියන එකත් ලෙහෙසි කටයුත්තක් නෙවෙයි.
බැරිම තැන මම ඉන්සමාම් උල්හක්ට කිට්ටු කරල මෙහෙම කිව්වා.
“ඉන්සි ඔවුන් ඔබව අවුස්සන්න හදන්නේ. ඔබට ඇහුණේ නැද්ද දැන් විනාඩි විස්සක තිහක වෙලාවක ඉඳන් ඔවුන් ඔබට නොයෙක් දේ කියනවා “
“හැබෑවට. මට ඔවුන් කියපු කිසිම දෙයක් තේරුණේ නැහැනේ.”
ඉන්සි ඔහුටම සුපුරුදු අලස ස්වරූපයෙන් ප්‍රකාශ කලා.
ඉන්සමාම් කිව්වොත් මතක් වෙන්නේ දුවද්දී දැවී යාම්. නමුත් මගේ වාර්තා අරන් බලුවාම ජාත්‍යන්තර තරගවල මම ඉන්සිට වඩා වැඩි වතාවක් දුවද්දී දැවී ගිහින් තියෙනවා.
1992 ලෝක කුසලානයේ ඒ පන්දු දෙක මගේ ක්‍රීඩා දිවියේ උච්චතම අවස්ථාව කියන්න පුළුවන්. නායක ඉම්රාන් ඛාන් මට පන්දුව අතට දෙමින් කිව්වේ ප්‍රතිදෝලනයක් පේන්න තියෙනවා හැකි නම් එයින් ප්‍රයෝජනයක් ගන්න කියා. මා ඔහුට කිව්වා මම කඩුල්ල වටා පැමිණ පන්දු යවන්න තීරණය කළ බව. මා එදා පන්දුව එල්ල කළ කෝණයෙන් පන්දුවක් පිටතට දෝලනය කළ හැකි වන්නේ බොහෝම කලාතුරකින් බව විචාරකයින් පසුව පැවසුවා. පිට පිටම දෙවරක් එය කරන්නට ලැබීම සැබවින්ම විශ්මජනකයි.
වේගපන්දු යවන්නෙකු සිය පන්දුකරණයට කේෂාන්තයේ සිට පාදන්තය දක්වා සියලුම මාංශපේෂින් භාවිතා කළ යුතුයි. ඒවා ශක්තිමත් කර ගත හැක්කේ දිගින් දිගටම පන්දු යැවීමෙන් පමණක් බව මා අවධාරණය කරනවා. ඔව්, ව්‍යායාමගාරයකට ඔබ යා යුතුයි. නමුත් ඔබ වේගපන්දුකරුවෙක් නම් දිගින් දිගටම පන්දු යැවීම හැර වෙනත් විකල්පයක් ඔබට නැහැ.
අද කාලයේ බොහෝමයක් තරුණ ක්‍රීඩකයෝ ව්‍යායාමගාරයකට යන්න කැමතියි පුහුණු දැලකට ගොස් පන්දු යැවීමට වඩා. එයින් ඔබට හැඩකර සිරුරක් ලැබේවි. නමුත් මා එය ඔබට රෙකමදාරු කරන්නේ නැහැ. මම තරුණ කාලයේ පුහුණු දැලේ නව පන්දුවෙන් එක දිගට පැය දෙකහමාරක් පන්දු යැව්වා. ඉන්පසු මද විවේකයක් ලබාගෙන පරණ පන්දුව අතට ගෙන කෙටි දුරක් දිවවිත් පැයකට ආසන්න කාලයක් පන්දු යැව්වා.
අවසානයේ කිවයුත්තේ දශක දෙකකට අධික කාලයක් ජාත්‍යන්තර පිටියේ මගේ වීරයින් ලෙස සැලකූ ක්‍රීඩකයින් හා උරෙනුර ගැටෙමින් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට ලැබීම ඇත්තෙන්ම මගේ ජීවිතයේ මා ලද විශාලම භාග්‍යයක් බව.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















