අවසන් ටෙස්ට් තරගය සඳහා කොදෙව් නායකත්වයේ වෙනසක්

422

එංගලන්තය සමඟ මේ දිනවල දී පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තෙවන සහ අවසන් ටෙස්ට් තරගය සඳහා වේගපන්දු යවන කීමෝ පෝල් යලිත් වරක් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය වෙත කැඳවා ඇති අතර මෙම තරගයේ දී කණ්ඩායම මෙහෙයවීමේ කාර්යභාරය ක්‍රේග් බ්‍රොත්වේට් හට පැවරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණයකට එළඹ ඇත්තේ නිත්‍ය නායක ජේසන් හෝල්ඩර් හට පනවා ඇති තරග තහනම නිසාවෙනි.

නැගී එන කොදෙව්වෝ වසර 11ක ක්‍රිකට් ඉතිහාසය අලුත් කරති

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවා හිදී නිමා වූ…

දැනටමත් තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගනිමින් එංගලන්ත කණ්ඩායම සිය භූමියේ දී අන්ත අසරණ කෙරූ කොදෙව්වන් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලි ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වූයේ ඇන්ටිගුවා හීදී නිමාව දුටු දෙවන තරගය කඩුලු 10කින් ඉතා පහසුවෙන් ජය ගනිමිනි.

දිනය තුල යැවිය යුතු නියමිත පන්දුවාර සංඛ්‍යාව පිළිබඳ තැකීමකින් තොරව කටයුතු කිරීම නිසාවෙන් නායක ජේසන් හෝල්ඩර් හට තරග මුදලින් 20%ක දඩ මුදලක් ද සමඟින් එක් තරගයක තරග තහනමක් පැනවීමට දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබුණි.

ඒ අනුව ක්‍රේග් බ්‍රොත්වේට් හට නායකත්ව වගකීම පැවරීමට බලධාරීන් ක්‍රියා කළ අතර ඔහු මෙලෙස කොදෙව් පිල ජාත්‍යන්තර තලයේ තරගයක දී මෙහෙයවන පස්වැනි අවස්ථාව ලෙසින් මෙය සටහන් වීමට නියමිතයි.

කීමෝ පෝල් කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග දෙකකට සහභාගී වී තිබේ.

කීමෝ පෝල් කොදෙව් වර්ණයන්ගෙන් සැරසී අවස්ථාවන් දෙකක දී සිය රට නියෝජනය කරමින් ක්‍රීඩාකර තිබෙන අතර එහි දි කඩුලු 3ක් දවා ගනිමින් සිය කණ්ඩායම වෙනුවෙන් අනගි මෙහෙයක් ඉටු කිරීමට ඔහු සමත් වී ඇත. මෙවර දේශීය පළමු පෙළ තරගාවලියේ නිමාව දුටු අවසන් තරග ත්‍රිත්වයේ දී කඩුලු 20ක් දවා ගනිමින් ඉතාමත් හොඳ රිද්මයක් පවත්වා ගෙන ඇති කීමෝ පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට සමත් වී තිබුණේ ට්‍රිනිඩෑඩ් පිලට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 66ක් ද සමඟින් මුළු ලකුණු 142ක් වාර්තා කිරීම නිසාවෙනි.

මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කණ්ඩායමෙහි සිදු වූ මෙම වෙනස්කම් පිළිබඳ කරුණු ගෙන හැර පෑ කොදෙව් කණ්ඩායම් තේරීම් කමිටු සභාපති කර්ට්නි බ්‍රවුන් මෙසේ ඒ පිළිබඳ ප්‍රකාශ කර සිටියේය.

නවක මුහුණු රැසක් සමඟ එළියට ආ ශ්‍රී ලංකා අලුත් සංචිතය

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ලබන 13 වැනිදා ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට්…

“ජේසන් හෝල්ඩර් නැති අඩුව පුරවයි කියන විශ්වාසයෙන් නායකත්ව වගකීම අපි ක්‍රේග් බ්‍රොත්වේට පැවරුවා. ඊට අමතරව කිමෝ පෝල්ව නැවත වරක් සංචිතයට එක්කරගන්න ගොඩක්ම බලපෑවේ මේ දිනවල පළමු පෙළ තරගවල දී ඔහු දිගින් දිගටම පෙන්වපු දක්ෂතා.”

ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් අපි මේක අවස්ථාවක් කරගන්නවා අපේ කණ්ඩායමට සහ කර්‍යමණ්ඩලයට සුබ පැතුම් එක්කරන්න, මොකද ඔවුන් ලබාගත්ත තරගාවලි ජය අතිශය වැදගත් ඉදිරි තරගවල දී හොඳ මානසිකත්වයක් නිර්මාණය කරගන්න. ඉතිරි තරගයත් මේ වගේම ජය ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

තෙවන සහ අවසන් ටෙස්ට් තරගය පෙබරවාරි 9 වැනිදා සාන්ත ලුසියා හීදී ක්‍රියාත්මක වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<