2020 ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වේ කාණ්ඩ දෙකකින් පදක්කම් දෙකක් දිනා ගැනීමට මෙරට ක්‍රීඩකයෝ සමත් වුනා. එය මෙරට පැරා ඉතිහාසයේ සුවිශේෂි පරිච්ඡේදයක්.
කණ්ඩායමේ නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් රන් පදක්කමක් ද, සමිත දුලාන් ලෝකඩ පදක්කමක් ද දිනා ගන්නේ පිළිවෙළින් F46 සහ F64 කාණ්ඩයෙන්.
දිනේෂ් දිනා ගත් රන් පදක්කමේ දක්ෂතාව නව ලෝක වාර්තාවක් සේ වර්ණ ගැන්වීම හේතුවෙන් ඊට තවත් වටිනාකමක් මෙරට ට එක් වුනා. එය මෙරට ඉතිහාසයේ මලල ක්‍රීඩාවෙන් ලද ඉහළ ම පදක්කම බවට ද පරිවර්තනය වුනා.

එමෙන් ම මෙවර සමිත දුලාන් දිනා ගත් ලෝකඩ පදක්කම ද මේ වර්ණ ගැන්වීම තවත් හැඩ කළා. ඒ අනුව පැරාලිම්පික් ඉතිහාසයේ එකම උළෙලක පදක්කම් දෙකක් දිනා ගත් පළමු අවස්ථාව ද මෙවර වාර්තා වුනා. එමෙන් ම මෙරට පැරාලිම්පික් ඉතිහාසය ලියැවෙන විට එහි පදක්කම් සටහනේ වැඩිම පදක්කම් ලැබූ ක්‍රීඩාව ලෙසින් සටහන් වෙන්නේ ද හෙල්ල විසි කිරීමේ ඉසව්වයි. ඉන් ලැබූ පදක්කම් ප්‍රමාණය 3ක්.
16 වැනි වරට පැවති ගිම්හාන පැරාලිම්පික් උළෙලේ මෙරට නියෝජනය නිමා වෙන්නේ එම දක්ෂතා ද සමඟින් සහභාගී වූ රටවල් අතරින් 37 වැනි තැන දිනා ගනිමින්. දශක 7ක පැරාලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් අප සහභාගී වී ඇත්තේ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල 7කට පමණයි. ඉන් පැරාලිම්පික් උළෙල 5ක ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම සවිබල ගන්වනු ලැබුවේ මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගමයි.
- දිනේෂ් ලෝක වාර්තා සමඟ රන් දිනද්දී සමිතගෙන් ලෝකඩ පදක්කමක්
- කුමුදු හොඳම දස්කමට යද්දී මධුරංගට කෙස් ගහෙන් අවසන් වටය ගිලිහෙයි
- පාලිත ජයකොඩිගෙන් හොඳ තරගයක්
- කුමුදු ප්‍රියංකා 100m මූලික වටය අවසන් කරයි
- මහේෂ් ජයකොඩි B Final වටය අවසන් කරයි
මීට පෙර පැවති 2000 Sydney, 2004 Athens, 2008 Beijing සහ 2012 London පැරාලිම්පික් උළෙල සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ සාඩම්බර අනුග්‍රාහකයා වූ Dialog Axiata PLC සමාගම මෙවර 2020 ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලේ ද සාඩම්බර අනුග්‍රාහකයා වූවා.
මේ පැරා ක්‍රීඩකයන් කළ මෙහෙය වෙනුවෙන් ThePapare.com තබන අකුරු තුටු පඬුරක්.
මෙරට පැරාලිම්පික් පදක්කම් ලැයිස්තුව
| පැරාලිම්පික් උළෙල | රන් | රිදී | ලෝකඩ | එකතුව |
| 1996 Atlanta | – | – | – | – |
| 2000 Sydney | – | – | – | – |
| 2004 Athens | – | – | – | – |
| 2008 Beijing | – | – | – | – |
| 2012 London | – | – | 1 | 1 |
| 2016 Rio de Janeiro | – | – | 1 | 1 |
| 2020 Tokyo | 1 | – | 1 | 2 |
| එකතුව | 1 | – | 3 | 4 |
F46 කාණ්ඩයෙන් තරග බිමට පිවිසි දිනේෂ්, ලැබූ පළමු උත්සාහයේ දී ම මීටර් 62.58ක දුරක් වාර්තා කරමින් සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින් තම විශ්වාසය තහවුරු කළා. අනතුරුව එකී උද්යෝගයත් සමග තම දෙවැනි උත්සාහයට පිවිසි ඔහු වාර්තා කරන්නේ මීටර් 62.19ක දුරක්. පළමු උත්සාහයේ දී දැක්වූවාට වඩා අඩු දක්ෂතාවක් දෙවැනි උත්සාහයේ දී දැක්වූවත් දිනේෂ් තම තෙවැනි උත්සාහයේ දී සිය ඉහළ ම දක්ෂතාව දැක්වීමට සමත් වුනා.

Devendra Jhajharia ඊට පෙර 2004 Athens ගිම්හාන පැරාලිම්පික් උළෙලේ දී ද රන් පදක්කම දිනා ගන්නා අතර නිමා වූ ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලේ දී ඔහු දිනේෂ්ට දෙවැනි වෙමින් මීටර් 64.35ක දක්ෂතාව දක්වමින් රිදී පදක්කම දිනා ගත්තා.

F64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ සමිත දුලාන් ද මෙවර පැරාලිම්පික් උළෙලේ දී තම මව්බිම පදක්කමකින් සැරසීමට සමත් වුනා.
තමන්ගේ මංගල පැරාලිම්පික් පිවිසුමේ මංගල උත්සාහයේ දී ම සමිත මීටර් 62.11ක විසිකිරීමේ දක්ෂතාවක් දක්වනවා. එය සමිතගේ එතෙක් වාර්තා වූ පෞද්ගලික ඉහළ ම දක්ෂතාව වුනා. නමුත් ලද දෙවැනි අවස්ථාවේ දී සමිත මදක් පසු බැස්සා. ඔහුගේ එවර උත්සාහය මීටර් 59.81ක විසිකිරීමක් වුනා.

එය මෙවර පැරාලිම්පික් උළෙලේ අපේ ලද දෙවැනි පදක්කම වන අතර එතෙක් මෙතෙක් තරග ඉතිහාසය තුළ දෙවැනි පදක්කමකින් පිදුම් ලැබූ අවස්ථාව ලෙසින් ද එය ඉතිහාස ගත වුනා.
F64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව වෙනුවෙන් සමිත දුලාන්ට අමතර ව සම්පත් හෙට්ටිආරච්චි ද තරග මෙරට නියෝජනය කරමින් තරග බිමට පිවිසියා.
සම්පත් තම පළමු උත්සාහයේ දී මීටර් 49.94ක දක්ෂතාවක් දැක්වීමට සමත් වුනා. නමුත් සහභාගී වූ දෙවැනි උත්සාහයේ දී ඔහුට වාර්තා කිරීමට හැකි වෙන්නේ මීටර් 48.34ක විසිකිරීමක්. තෙවැනි උත්සාහක අවස්ථාවේ දී ඔහුගේ දක්ෂතාව වන්නේ මීටර් 49.21ක විසි කිරීමක්.

මෙවර පැරාලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කළ එකම ක්‍රීඩිකාව, හමුදාමය නොවන සාමාජිකාව සහ කණ්ඩායමේ ඉසව් දෙකක් නියෝජනය කළ එකම තැනැත්තිය ද වූ කුමුදු ප්‍රියංකා T47 කාණ්ඩයේ කාන්තා දුර පැනීම සහ කාන්තා මීටර් 200 ඉසව් නියෝජනය කළා.
ඇය පළමුවෙන් ම සහභාගී වූයේ දුර පැනීමේ ඉසව්වටයි. තම මංගල පැරාලිම්පික් ගමනේ ඇයගේ මංගල උත්සාහය මීටර් 4.92ක්. එය ඇයගේ එම ඉසව්වේ ඉහළ ම දක්ෂතාව වුනා.

කාන්තා මීටර් 100 ඉසව්වේ පළමු මූලික තරගයට සහභාගී වූ කුමුදුට එම ඉසව්වේ හිමි වෙන්නේ 8 වැනි ස්ථානය. ඇයට මෙහි දී තරග කිරීමට සිදු වෙන්නේ මෙවර පැරාලිම්පික් උළෙලේ රන් පදක්කම මෙන් ම ලෝකඩ පදක්කම ද දිනා ගත් ක්‍රීඩිකාවන් ද සමඟින්. කෙසේ වෙතත් ඇය තම ඉසව්ව තත්පර 13.31ක කාලයක් වාර්තා කරන්න සමත්වෙනවා. 
T47 කාණ්ඩයේ පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කළ සමන් සුබසිංහට තමන් සහභාගී වූ මූලික වටයෙන් පමණක් සෑහීමට පත් වීමට සිදු වූයේ තියුණු අවසානයකින් අනතුරුවයි.
ඔහු සහභාගී වූ මූලික වටයේ දෙවැනි තරගයේ දී ඔහුට හිමි වූයේ සිව්වැනි ස්ථානයයි. තරගය අවසන් කිරීමට ඔහු තත්පර 51.08ක කාලයක් වැය කරද්දී තෙවැනියාට වඩා ඔහු පසු පසින් සිටියේ තත්පර 0.14ක කාලයකින්. එම සුළු පරතරය ඔහුගේ ඉදිරි වටයන් වැළකුවා.
එම ඉසව්වේ අවසන් තරගයේ දී සමන්ට ඉදිරියෙන් සිටි ක්‍රීඩකයා 5 වැනි ස්ථානය වාර්තා කරන අතර එම වටයේ පළමුවැනියා අවසන් තරගයේ දී රිදී පදක්කම හිමිකර ගන්නවා.

දුන්නෙන් විදීමේ පිරිමි ඒකල Recurve ඉසව්ව නියෝජනය කළ සම්පත් බණ්ඩාරට එහි පළමු වටයෙන් ම ඉවත් වීමට සිදු වුනා.
තරගකරුවන් 32කගේ සහභාගීත්වයෙන් යුත් ඉසව්වේ සම්පත් සහභාගී වූයේ යටි පෙළ 16 දෙනාගේ කාණ්ඩයෙන්. තරගයේ පළමු වටයේ දී ප්‍රතිවාදී ඉන්දීය ක්‍රීඩකයා ජයග්‍රහණය කළේ 25-22ක් ලෙසින්. දෙවැනි වටයේ දී තියුණු තරගයකට අවතීර්ණ වූ සම්පත් 25-24ක් ලෙසින් එම වටය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගය අවසන් වෙද්දී සම්පත් තමන් සහභාගී වූ ඉසව්වේ දී ලකුණු 589ක් වාර්තා කරමින් 23 වැනි ස්ථානයට ලැයිස්තු ගත වුනා.
F63 පිරිමි යගුලිය ඉසව්ව නියෝජනය කළ පාලිත බණ්ඩාර එම ඉසව්වේ 5 වැනි ස්ථානය කිරීමට සමත් වෙනවා. ලෝක ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ පසුවෙමින් පැරාලිම්පික් උළෙල නියෝජනය කළ සම්පත් මෙවර තම ඉසව්වේ හොඳම දක්ෂතාව ලෙසින් වාර්තා කරන්නේ සිව්වැනි උත්සාහයේ දී විසි කරන ලද මීටර් 13.40ක දක්ෂතාවයි.
පළමු උත්සාහයේ දී ඔහු මීටර් 12.67ක්ද, දෙවැනි උත්සාහයේ දී ඔහු තම දක්ෂතාව තවත් වර්ධනය කර ගනිමින් මීටර් 13.08ක් ද සහ නැවත වරක් ඉහළට පිවිසෙමින් මීටර් 13.30ක් ද ලෙසින් වාර්තා කරනවා. නමුත් 5 වැනි උත්සාහයේ දී ඔහු නැවත මීටර් 13.30ක් ලෙසින් ද සහ අවසන් උත්සාහයේ දී මීටර් 12.26ක් ද ලෙසින් අඩු දක්ෂතා ප්‍රදර්ශනය කරනවා.
ඔරු පැදීමේ ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට පැරාලිම්පික් උළෙලක් නියෝජනය කළ මහේෂ් ජයකොඩි හා හා පුරා කියා සහභාගී වූයේ සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයටයි. එහි දී ඔහුට හිමි වූයේ හය වැනි ස්ථානයයි. විනාඩි 12:16.80ක කාලයක් ඒ වෙනුවෙන් මහේෂ්ට ගත වුන අතර එම දක්ෂතාව සෘජුව ම අවසන් වටය දක්වා සුදුසුකම් ලබා ගැනීමට ප්‍රමාණවත් වූයේ නැහැ.
එම ප්‍රතිඵල සමඟින් නැවත මහේෂ්ගේ දක්ෂතා උරගා බැලීමට අවස්ථාවක් උදා වෙනවා. ඒ Repechage වටයෙන්. එම වටය තීරණය කර ඇත්තේ නැවත වතාවක් සුදුසුකම් ලබා ගැනීමේ තරගයක් ලෙසයි. එහි දෙවැනි තරගයට සහභාගී වෙන මහේෂ් තරගය නිමා කරන්නේ පෙර තරග නිමා කළ කාලයට වඩා දක්ෂතා දක්වමින් විනාඩි 11:21.31කින්. නමුත් ඔහුට එහි දී හිමි වෙන්නේ 5 වැනි ස්ථානය.

F44 රෝද පුටු ටෙනිස් ඉසව්ව නියෝජනය කළ සුරේෂ් රංජන් තමන් සහභාගී වූ පළමු වටයේ පළමු තරගයෙන් ම තරගාවලියෙන් ඉවතට යෑමට සිදු වුවත් ප්‍රතිවාදි චිලී ජනරජ ක්‍රීඩකයාට එරෙහිව තියුණු තරගයක නියැලීමට සමත් වීම කැපී පෙනුණා.
ඔහු පළමු වටයේ දී 3-6ක් ලෙසත්, දෙවැනි වටයේ දී 4-6ක් ලෙසත් තරගය නිමා කළා. ඒ අනුව තරගය අවසන් වූයේ තරග වට 2-0ක පරාජයක් සුරේෂ්ට හිමි වෙමින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<


සම්පත් හෙට්ටිආරච්චි
මහේෂ් ජයකොඩි



















