වර්ෂාවට කොදෙව්වන් අභියෝග කරයි

283
SL A vs WI A

රංගිරි දඹුලු ජාත්‍යන්තර පිටියේදී, සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර ඊයේ (24) ආරම්භ වූ පළමු නිල නොවන එක්දින තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා අද (25), එම තරඟය අවසන් වූ තැන සිට ආරම්භ කල අතර එහිදී කොදෙව් කණ්ඩායම දැවැන්ත ලකුණු 165ක ජයක් ලබා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: වර්ෂාව නිසා තරගය හෙටට කල් දමයි

ඊයේ තරඟය නවතා දමන විට, කොදෙව් කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 69 ලබාගෙන සිට අතර එතැන් සිට අද දිනය ආරම්භ කල කොදෙව්වන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එදිරිව සාර්ථක පිතිකරණයක් දියත් කරන ලදි. තෙවන කඩුල්ල සඳහා ලකුණු 48ක සබඳතාවයක් කොදෙව් ලකුණු පුවරුවේ සටහන් කිරීමට ඇන්ඩෲ ෆෙලෙචර් හා කයිල් හෝප් සමත් විය. එම සබඳතාවය අවසන් කරමින් ෆෙලෙචර් ලකුණු 26කට දැවීයන ලදි.  

ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වු හෝප් හා එක්වූ නායක ජේසන් මොහොමඩ් 4වන කඩුල්ල සඳහා ලකුණු 63ක සබඳතාවයක් ගොඩනංවන ලදි. එහි නිමාව සනිටුහන් කරමින් හෝප් 4 පහර 8ක් සමඟින් ලකුණු 81ක් ලබා සිටියදී අමිල අපෝන්සුගේ පන්දුවකට දැවීගිය අතර අනතුරුව පිටියට පැමිණි රොවුමන් පවෙල්, නායක ජේසන්ගේ ඉණිමට සමාන වේගවත්    පිතිකරණයක නිරත වෙමින් 4 හා 6 පහර 3 බැගින් එල්ල කරමින් ලකුණු 55කට දැවීයන ලදි.

නායකත්වයේ ඉණිමක් දියත් කල ජේසන් මොහොමඩ් ලකුණු 58ක් ලබාගැනීමට 4 පහර 5ක් අන්තර්ගත කරම අතර කොදෙව් ලකුණු පුවරුව ස්ථාවර හා ඉහළ මට්ටමකට ඔසවා තබන ලදි.

කොදෙව් A කණ්ඩායම – 267/06 (50) : කයිලේ හෝප් 81, ජේසන් මොහොමඩ් 58, රොවුමන් පවෙල් 55, අමිල අපෝන්සු 2/44

ලකුණු 268ක දැවැන්ත හා අභියෝගාත්මක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පළමු පන්දුවාරයේ සිටම රිසිසේ පිත්ත හැසිරවීමට නොහැකි ලෙස කොදෙව්වන් තම කාර්යය නිසි ලෙස ඉටුකරන ලදි.

ලකුණු 26ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් දැවී තිබීමෙන් ඒ බව ප්‍රේක්ෂකයින්ට මනාව පැහැදිලි විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගෙන් දැක ගත හැකිවූ ඉහලම සබඳතාවය, 5 වන කඩුල්ල සඳහා මිනෝද් භානුක හා චරිත් අසලංක එක්ව ගොඩනංවන ලදී. මිනෝද් 4 පහර 3ක් සමඟ ලකුණු 15ක් ද, අසලංක 4 පහර 2ක් සමඟින් ලකුණු 17කටද පිලිවෙලින් 5 වන හා 6 වන කඩුලු ලෙස ක්‍රීඩාගාරයට හරවා යැවීමට කොදෙව්වන් සමත් විය.

ඡායාරූප ඇල්බමය

මෙම තරගයේ වැඩිම ලකුණු ලාභියා වූ ශෙහාන් ජයසූරිය එක් 4 හා 6 පහරක් සමඟ ලකුණු 24ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබාගන්නා ලදි. අවසන් කඩුලු 5 ලකුණු 53ක් ඇතුළත දවාලූ ජෝන් ජැග්සර් ඇතුළු කොදෙව්වන් කයිල් හෝප්ගේ පිතිකරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරමින්, තරගය ලකුණු 165කින් ජය ගන්නා ලදී. එමෙන්ම තරගාවලිය ද 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුන් සමත් විය.

ශ්‍රී ලංකා A කණ්ඩායම – 102/10 (32.3): ශෙහාන් ජයසූරිය 24, ධනුෂ්ක ගුණතිලක 20, චරිත් අසලංක 17, ජෝන් ජැග්සර් 4/29, රැන්ස්ෆෝඩ් බීටන් 3/26

දෙරට අතර පැවැත්වෙන මීළඟ තරඟය ලබන 27 වැනිදා කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට