දිමුත් කරුණාරත්නට උසස් වීමක්

7254

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර හත්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට හැකිව තිබෙනවා.

වර්තමාන ටෙස්ට් පිටියේ ඉහළ රිද්මයක සිටින දිමුත් බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ආරම්භයට පෙර 11 වැනි ස්ථානයේ පසු වූ අතර කොදෙව් සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ ලබා ගත් ශතකය සහ අර්ධ ශතකය නිසාවෙන් ස්ථාන හතරක් ඉදිරියට ඒමට සමත්ව තිබුණේ මුළු ප්‍රසාද ලකුණු 772ක් ලබාගෙනයි.

ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ ලකුණු 903ක් ලබා ගනිමින් පළමු ස්ථානයට පැමිණීමට Joe Root සමත්ව ඇති අතර ලකුණු 891ක් ලබා ගත් Steve Smith දෙවැනි තැනත්, ලකුණු 888ක් ලබා ගත් Kane Williamson තෙවැනි ස්ථානයෙත් පසුවනව‍ා.

බංග්ලාදේශ තරගාවලියේ දැක්වූ දස්කම් නිසාවෙන් වේගපන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලකුණු 810ක් ලබා ගනිමින් පස්වැනි ස්ථානයට පැමිණීමට Shaheen Afridiට හැකිව ඇති අතර එහි පළමු තැන Pat Cummins (ලකුණු 908) හටත්, Ravichandran Ashwin (ලකුණු 840) හට දෙවැනි තැනත් හිමි ව තිබෙනවා.

නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරගයේ දැක්වූ තුන් ඉරියව් දස්කම් නිසාවෙන් ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලකුණු 353ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පැමිණීමට Ravindra Jadeja සමත්ව ඇති අතර ලකුණු 412ක් ලබාගෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Jason Holder පළමු තැන රැඳී සිටිනවා.

ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලකුණු 126ක් ලබා ගනිමින් පළමු ස්ථානය තහවුරු කරගැනීමට නවසීලන්ත කණ්ඩායමට සමත් වෙද්දී, ලකුණු 119ක් ලබා ගත් ඉන්දීය කණ්ඩායමට දෙවැනි තැනත් ලකුණු 107ක් ලබාගත් එංගලන්ත කණ්ඩායමට තෙවැනි තැනත් හිමිව තිබෙනවා.

එමෙන්ම බංග්ලාදේශය සහ පාකිස්තානය සමඟ පැවති තරගාවලියේ දැක්වූ දස්කම් නිසාවෙන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 27ක් ඉදිරියට පැමිණ 20 වැනි තැන දක්වා ඉහළට පැමිණීමට පාකිස්තාන ක්‍රීඩක Abid Aliට හැකිව තිබූ අතර බංග්ලාදේශ ක්‍රීඩක Taijul Islam පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 23ක් ඉහළට පැමිණීමට සමත්ව තිබෙනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<