Dialog සමඟ බලගැන්වෙන මෙවර LPL හි ඇතුලාන්තය ගැන විග්‍රහයක්

1682
Panel discussion on LPL 2021

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර එළඹෙන දෙසැම්බර් මස 05 වැනිදා ආරම්භ වීමට නියමිත අතර මෙවර තරගාවලියේ නිල සන්නිවේදන සහකරු ලෙසින් තරගාවලිය බලගැන්වීමට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC ඇත්වැල් බැඳගෙන සිටිනවා.

තරගාවලියේ නිල තේමා ගීතය එළිදැක්වීම පසුගිය දා සිදු කෙරුණු අතර මෙම උත්සවය අතරතුර තරගාවලිය පිළිබඳව අදහස් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් සහ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක IPG සමූහ ව්‍යාපාරයේ ප්‍රධානී අනිල් මොහාන් යන මහත්වරුන් එක්ව සිටියා.

එම සාකච්ඡාව මෙහෙය වනු ලැබුවේ ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com හි ක්‍රිකට් ප්‍රධානී දමිත් වීරසිංහ මහතා විසිනි.

මෙරට පවතින තත්වය පිළිබඳව සැලකීමේ දී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වැනි තරගාවලියක් සංවිධානය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. මේ පිළිබඳව IPG සමූහ ව්‍යාපාරයේ ප්‍රධානී අනිල් මොහාන් මහතා මෙලෙස අදහස් දක්වා සිටියා.

ඇත්තෙන්ම මේක අමාරු කාලයක්. ඒත් අපිට හැමෝගෙන්ම සහයෝගය ලැබුණා. ඒ සහයෝගය එක්ක අපිට පුළුවන් වුනා මේ අමාරු අභියෝගය සාර්ථකව ඉස්සරහට අරන් යන්න. මේ තරගාවලිය සැලසුම් කරන ආකාරයට ම පවත්වන්න අපි අපේ උපරිම උත්සාහය ගන්නවා. විශේෂයෙන් අපිට සෞඛ්‍ය අමාත්‍යංශයේ, ක්‍රීඩා අමාත්‍යංශයේ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ මගේ කණ්ඩායම වෙන IPG කණ්ඩායමේ ලොකු සහයෝගයක් ලැබුණා.”

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මහත් වෙහෙසක් දරමින් සිටිනවා. මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට දෙස් විදෙස් හි ප්‍රබල ක්‍රීඩකයන් සමඟින් ක්‍රීඩා කිරීමට ලැබීම සහ ඔවුන්ට ජාත්‍යන්තර වේදිකාවක ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීම මඟින් මෙරට ක්‍රීඩාවට ලැබෙන අත්වන දෑ පිළිබඳව ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා සිය අදහස් දක්වා සිටියා.

මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා ක්‍රීඩා අමාත්‍යවරයාට සහ රජයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සෑම අවස්ථාවකම ඔවුන්ගේ උපරිම සහයෝගය සහ අනුග්‍රහය ලබා දීම ගැන. අපි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියරේ දී ඉතාමත් සාර්ථක වුනා. නවක ක්‍රීඩකයන් 12ක් වගේ ප්‍රමාණයකට විදෙස් ලීග් තරගාවලිවලට එක්වෙන්න අවස්ථාවක් ලැබුණා. මම ඒක ගැන ආඩම්බරයෙන් කියනවා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය, පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලිය සහ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉන් විශේෂයි.

ඒ වගේම අබුඩාබි T10 තරගාවලියටත් අපේ ක්‍රීඩකයන් රැසකට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණා. අපිට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වුනේ ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ක්‍රීඩා අමාත්‍යවරයා නිසා. ඔහු පසුගිය වසරේ දීත් අපිත් එක්ක සමීපව කටයුතු කළා. මේ වසරේ දීත් එහෙමයි. මම හිතන්නේ අපිට පුළුවන් වුනා අපේ ක්‍රීඩකයන්ට ලෝක මට්ටමේ තරගාවලියකට සහභාගී වෙලා සාර්ථක වෙන්න පුළුවන් වේදිකාවක් නිර්මාණය කරන්න.”

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වැනි තරගාවලියකට සහභාගී වීම මඟින් ශ්‍රී ලංකාවේ තරුණ සහ නවක ක්‍රීඩකයන්ට ලැබෙන අවස්ථා පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා මෙහි දී අදහස් දක්වා සිටියා.

මම හිතන්නේ ශ්‍රී ලංකාවේ තරුණයන්ට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රීඩා අමාත්‍යංශය විශාල වැඩපිළිවෙළක් කරගෙන යන පසුබිමක තමයි අපි මේ ලංකා ප්‍රිමියර් ලීග් දෙවන අදියර සංවිධානය කරන්නේ. අපේ රටට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයක්. ඒ දේ හදන්න පුළුවන් හොඳම දේ ක්‍රීඩාව. ඒකේ හොඳම ඉසව්වක් ක්‍රිකට් කියන්නේ. ජාති භේද, ආගම් භේද, වත් පොහොසත්කම් මේ කිසිවක් ක්‍රීඩාවේ නැහැ.

අපිට මතකයි අපේ රටේ යුද්ධයක් තියන අවස්ථාවක අපි ලෝක කුසලානයේ අවසන් තරගයට යනවා. ඒකෙ දී අපි යුද්ධ සියල්ල නතර කරලා කණ්ඩායමට සහයෝගය දුන්නා. රටකට අවශ්‍ය වෙන්නේ මේක. ක්‍රීඩාවෙන් තමයි අපිට හැමදේම ජයග්‍රහණය කරන්න පුළුවන්. අපේ රටේ ක්‍රීඩාව ආර්ථිකයට සහ තරුණයන්ට ලොකු සහයෝගයක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් වෙනදා ලැබුණේ නැති අවස්ථාවක් ලැබෙනවා. විශේෂයෙන් සැලකිය යුතු පිරිසකට තරගාවලිය නරඹන්න අවස්ථාවක් ලැබෙනවා. මේ සෞඛ්‍ය නීති එක්ක තරගාවලිය විනයක් ඇතුව බලන්න පුළුවන් නම් අපිට ක්‍රීඩාව පැත්තෙන් බොහෝ අවස්ථාවන් ලැබේවි මේ හිරවෙලා ඉන්න මානසිකත්වයෙන් මිදෙන්න.”

පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මිලියන 500කට ආසන්න ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ බවට වාර්තා වුනා. මේ පිළිබඳව සහ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඇති ලෝක මට්ටමේ පිළිගැනීම පිළිබඳව අනිල් මොහාන් මහතා අදහස් දක්වා සිටියා.

අපිට ගොඩක් හොඳ ප්‍රතිචාරයක් තියනවා. ලොව පුරා විකාශකයන් රැසක් අපිත් එක්ක එක්වුනා. ඒ වගේම තරගාවලිය ලෝක මට්ටමට ගෙනියන්න අපිට ශ්‍රී ලංකාවෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මට විශ්වාසයි මේ තරගාවලිය අනාගතයේ දී ලොකු තරගාවලියක් බවට පත්වේවි.”

මෙවර තරගාවලිය පසුගිය වසරට වඩා වෙනස් මුහුණුවරක් ගන්නා අතර එයට නව පිළිමළුන් පිටුදැකීමේ තරගයක් ද ඇතුළත් වනවා. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් සහභාගී වුවද තරගාවලිය තරග 25කින් සමන්විත වනවා. මේ පිළිබඳව සහ තරගාවලියේ නව ව්‍යුහය පිළිබඳව රවීන් වික්‍රමරත්න මහතා අදහස් දක්වා සිටියා.

පසුගිය වසරේ දී අපි අවසන් පූර්ව තරග දෙකක් ක්‍රීඩා කළා. අපිට මේ වසරේ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් යෝජනාවක් ආවා තවත් තරගයක් ක්‍රීඩා කරමු කියලා. ඒකට ප්‍රධාන හේතුව වුනේ පසුගිය වසරේ තරගාවලියේ දී කොළඹ කණ්ඩායම තරග රැසක් ක්‍රීඩා කරලා අවසන් පූර්ව තරගය පරාජය වීම නිසා තරගාවලියෙන් ඉවත් වීම. මේ නිසා අපි තවත් තරගයක් එක් කළා. අපි දැක්කා මේ වසරේ දී විදෙස් ක්‍රීඩකයන් රැසක් තරගාවලියට එක්වෙන්න සූදානමින් හිටියා. ඒක සාක්ෂි සපයනවා මේ තරගාවලිය දවසින් දවස විශාල වෙනවා කියන එකට.”

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය තිරය පිටුපස විශාල කාර්‍යභාරයක් ඉටු කරනවා. මේ පිළිබඳව එම අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා අදහස් දක්වා සිටියා.

ක්‍රීඩා අමාත්‍යංශය මේ සඳහා අවශ්‍ය වෙන අත්වැල මේ වෙද්දීත් සපයමින් ඉන්නේ. ක්‍රීඩා අමාත්‍යතුමන්ගේ ඉඳලා අමාත්‍යංශයේ සියලුම දෙපාර්තමේන්තුවලට ලොකු අවබෝධයක් තියනවා ක්‍රිකට් ආයතන එක්ක. අපිට ඕනේ රට තුල ජයග්‍රාහී මානසිකත්වයක් හදන්න. තමන් කරන හැම වැඩක්ම ජයග්‍රහණය කරන්න තරුණයින්ට පුළුවන් වෙන්න ඕනේ. අපිට ඕනේ ක්‍රීඩාවෙන් මේ කාලය තුළ ජාතික ආර්ථිකයට ලබා නොදුන්න දායකත්වයක් ලබා දෙන්න. ක්‍රීඩා අමාත්‍යවරයා සහ අපි ජාතික මට්ටමේ තරගාවලි 32ක් සංවිධානය කරලා තියනවා 2022 වසරේ දී. අපි මේ සඳහා විදෙස් සංචාරකයන් ගෙන්වා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි හැමෝම එකට අත්වැල් බැඳගෙන එක්ව ජය ගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ.”

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ අවසන් තරගය දෙසැම්බර් 23 වැනිදා පැවැත්වෙන අතර තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata ජාතික ක්‍රිකට්, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම් හි නිල අනුග්‍රාහකයා ලෙස ද කටයුතු කරන අතර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලි, රග්බි අන්තර් සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය සඳහා ද සිය දායකත්වය සපයනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තොරතුරු, ඡායාරූප මෙන්ම සවිස්තරාත්මක තරග විස්තර ඔබ වෙත එසැණින් ගෙන ඒමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<