කොටස්වලට කැඩී ඔලිම්පික් වර්ධනය වුන හැටි

ඔලිම්පික් උළෙලේ ගමන් මග 04

225

පුරාණ ඔලිම්පික් ගමන අවසන් වීමෙන් පසු තැනින් තැන කිසිදු සැලසුමකින් තොරව පැවැත්වූ ඔලිම්පික් උළෙලවලට තිත තබමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සංවිධානය යටතේ පළමු ඔලිම්පික් උළෙල 1896 වසරේ දී ග්‍රීසියේ ඇතෑන්ස් නුවර දී පැවැත්වුනා.

එම ඔලිම්පික් උළෙල අතිසාර්ථකව පැවැත්වීමට ඔවුන්ට හැකි වූ අතර සෑම ඔලිම්පික් උළෙලක්ම ග්‍රීසියේ පවත්වන ලෙස සිදු කළ ඉල්ලීම් ඉවත දමමින් මීළඟ ඔලිම්පික් උළෙල 1900 ප්‍රංශයේ දී පැවැත්වීමට ඔලිම්පික් කමිටුව තීරණය කළා.

ඒ අනුව 1900 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර වෙළඳ ප්‍රදර්ශනයකට සමගාමීව පැවති මෙම ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩාගාරයක් භාවිතා නොවූ අතර මෙහි දී පළමු වරට ඔලිම්පික් උළෙලක් සඳහා කාන්තාවන් සහභාගි වී සිටීම කැපී පෙනුණා.

එම ඔලිම්පික් උළෙලෙන් පසු තෙවැනි නූතන ඔලිම්පික් උළෙල 1904 වසරේ දී ඇමරිකාවේ St. Louis හිදී පැවැත්වීමට කටයුතු කළ අතර එය සඳහා සහභාගී වූ ක්‍රීඩකයන් 650 අතරින් 580ක්ම ඇමරිකානුවන් වුනා.

පළමු ඔලිම්පික් උළෙල සාර්ථකව පැවැත්වීමට හැකි වූවත් ඒකාකාරී ලෙසම අනෙත් උළෙලන් ද්විත්වයම පැවැත්වීම නිසා එම උළෙලවල් එතරම් සාර්ථකව වුනේ නැහැ. එම නිසාවෙන් 1906 වසරේ දී නැවතත් ග්‍රීසියේ ඇතෑන්ස් නුවර දී අතරමැදි ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට ඔලිම්පික් කමිටුව තීරණය කළා.

ඔලිම්පික් කාලපරාසය තුළ (වසර 4ක් තුළ) පැවති දෙවැනි ඔලිම්පික් උළෙල මෙය වන නිසා එය අතරමැදි ඔලිම්පික් උළෙලක් ලෙස හැඳින්වූ අතර මෙතෙක් පවත්වා ඇති එකම අතරමැදි ඔලිම්පික් උළෙල ද මෙයයි.

පෙර තරගාවලි ද්විත්වයේ පැවති අඩුපාඩු මගහරවා ගනිමින් එම අතරමැදි ඔලිම්පික් උළෙල Panathinaiko ක්‍රීඩාගාරයේ පැවති මෙම ඔලිම්පික් උළෙල සඳහා ජාත්‍යන්තර සහභාගිත්වයක් මෙන්ම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ද හිමි වුනා.

කෙසේ නමුත් මෙම ඔලිම්පික් උළෙල නිල ඔලිම්පික් උළෙලක් ලෙස ඔලිම්පික් කමිටුව පිළිනොගත් නමුත් ඒකාකාරීව තිබූ ඔලිම්පික් උළෙල නැවතත් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය හිමිකර ගනිමින් ඉදිරියට ගෙන යාමට මෙම ඔලිම්පික් උළෙලෙන් මග පෑදුණා.

එම ඔලිම්පික් උළෙලෙන් පසු ඔලිම්පික් ගමන දිනෙන් දින ලොව පුරා ආකර්ෂණය දිනා ගනිමින් ඉදිරියට ගෙන යාමට හැකි වූ නමුත් එහි ඒකාකාරී බව දුරස් කිරීමට විවිධාංග එක් කිරීමට ඔලිම්පික් සංවිධායකයන්ට සිදු වුනා.

එමෙන්ම විවිධ ක්‍රීඩාවන් සහ විවිධ කාණ්ඩවලට ඔලිම්පික් උළෙල බෙදා වෙන් කිරීමට ද පසුකාලීනව ඔලිම්පික් කමිටුව කටයුතු කළා.

ශීත ඔලිම්පික් උළෙල 

ගිම්හාන ඔලිම්පික් උළෙලවල දී හිම මත සහ අයිස් මත සිදු කරන ක්‍රීඩා පැවැත්වීම අපහසු වූ නමුත් හිම මත ලිස්සා යාම (1908 සහ 1920) සහ අයිස් හොකී (1920) වැනි ඉසව් ගිම්හාන ඔලිම්පික් උළෙලවල දී පැවැත්වීමට කටයුතු කර තිබුණා.

නමුත් එම ක්‍රීඩා දිගින් දිගටම පැවැත්වීම අපහසු වීම නිසා ශීත සෘතු ක්‍රීඩා පැවැත්වීම සඳහා වෙනම ක්‍රීඩා උළෙලක් සංවිධානය කිරීමට 1921 වසරේ පැවති අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සැසිවාරයේ දී යෝජනා වී තිබුණා.

එම යෝජනාවේ ප්‍රතිඵලයක් ලෙස 1924 ප්‍රංශ ඔලිම්පික් උළෙලෙන් තෙමසකට පසු ප්‍රංශයේ Chamonix හිදී දින එකොළහක ශීත සෘතු ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට ඔලිම්පික් කමිටුව කටයුතු කළා.

පළමු ශීත ඔලිම්පික් උළෙල අතරතුර දී

ශීත ඔලිම්පික් උළෙල ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වෙන රටේ දී ම පැවැත්වීමට තීරණය කර තිබූ නමුත් විවිධ හේතූන් නිසාවෙන් එය අතහැර දැමීමට සිදු වුනා.

එනමුත් පසුව ශීත ඔලිම්පික් උළෙල ද සෑම වසර හතරකට වරක් ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වෙන වසරේම පැවැත්වීමට තීරණය කළ අතර 1992 වසර දක්වා එම සම්මතය පැවතුණා.

1992 Albertville ඔලිම්පික් උළෙලෙන් පසු ශීත ඔලිම්පික් උළෙල ගිම්හාන ඔලිම්පික් උළෙල පවත්වා වසර දෙකකින් උදා වෙන ශීත සෘතුවේ දී පැවැත්වීමට තීරණය කළා.

පැරාලිම්පික් උළෙල 

දෙවැනි ලෝක යුද්ධය නිමා වීමෙන් අනතුරුව එයට සහභාගී වූ සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ශ්‍රීමත් Ludwig Guttmann විසින් ක්‍රීඩාව යොදා ගැනීමට කටයුතු කළා.

ඒ අනුව ලෝක යුද්ධයේ දී ආබාධවලට ලක් වූ සොල්දාදුවන් යොදා ගනිමින් රෝහල් කිහිපයක් අතර ක්‍රීඩා උළෙලක් 1948 ඔලිම්පික් උළෙලට සමගාමීව පැවැත්වීමට ඔහු කටයුතු කළා. එම ක්‍රීඩා උළෙලෙන් පසු එය “Stoke Mandeville Games” ලෙස නම් කර වාර්ෂිකව පැවැත්වීමට ද ඔහු කටයුතු කළා.

Ludwig Guttmann

වසර දොළහක් නොකඩවා පැවති මෙම තරගාවලිය සොල්දාදුවන් සුව කිරීමේ ක්‍රමයක් ලෙසට ද ප්‍රචලිත වූ අතර 1960 වසරේ දී එම තරගාවලිය රෝමයේ ඔලිම්පික් උළෙලට සමගාමීව පැවැත්වීමේ අරමුණින් ක්‍රීඩකයන් 400ක් රැගෙන රෝමයට පැමිණීමට Ludwig Guttmann කටයුතු කළා.

එහි දී මෙම තරගාවලියේ නාමය වෙනස් කර “Parallel Olympics” (පැරාලිම්පික්) ලෙස හැඳින්වීමට ද කටයුතු කළ අතර මෙතෙක් වාර්ෂිකව පැවැත්වූ එම තරගාවලිය ද වසර 4කට වරක් ඔලිම්පික් උළෙලට සමගාමීව පැවැත්වීමට තීරණය කරන ලදි.

පැරාලිම්පික් ගමනේ විශේෂ සංධිස්ථානයක් සටහන් කරමින් 1988 වසරේ දකුණු කොරියාවේ සියොල් හිදී පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලෙන් පසු පැරාලිම්පික් උළෙලේ ද සියොල් සත්කාරකත්වය යටතේ පැවැත්වුනා.

ඉන්පසුව පැරාලිම්පික් උළෙල ද ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය දක්වන නගරයේම පැවැත්වීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව 2001 වසරේ දී ගිවිසුමකට එළඹුණා.

එම තීරණය පැරාලිම්පික් උළෙල සඳහා ජනතා ආකර්ෂණය දිනා ගැනීමට මහත් පිටිවහලක් වූ අතර පැරාලිම්පික් පිළිබඳව අදහස් දක්වමින් වරක් ලෝක මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී සෙබස්තියන් කෝ ප්‍රකාශ කර සිටියේ,

“ඔලිම්පික් සහ පැරාලිම්පික් යනු දෙකක් නොව එකක් බව ජනතාවට ඒත්තු ගැන්වීමට අපට අවශ්‍යයි. ආබාධිතයන් සම්බන්ධව ජනතාවගේ ඇති ආකල්ප වෙනස් කළ යුතුයි. පැරාලිම්පික් ක්‍රීඩාවේ විශිෂ්ටත්වය ද ඔලිම්පික් මෙන්ම ඔවුන් විසින් සැමරිය යුතුයි.” යනුවෙනුයි.

යොවුන් ඔලිම්පික් උළෙල 

ඔලිම්පික් උළෙල සහ ක්‍රීඩාව ලෝක මට්ටමින් ශීඝ්‍රයෙන් දියුණු වීමත් සමඟ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා ළාබාල වියේ දී ම ජාත්‍යන්තර මට්ටමේ දස්කම් අතරට පැමිණීම බොහෝ දෙනාගේ අවධානයට ලක් වුනා.

එම නිසාවෙන් ඔවුන්ට සිය දස්කම් පෙන්වීමට අවස්ථාවක් සලසා දීමක් ලෙස අවුරුදු 14 සහ 18 අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වෙන්වූ ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට හිටපු ඔලිම්පික් කමිටු සභාපතිවරයෙකු වන Jacques Rogge විසින් 2001 වසරේ දී පළමු වරට යෝජනාවක් ඉදිරිපත් කර එය ඔලිම්පික් කමිටුවේ 199 වැනි සැසිවාරයේ දී සම්මත කරගැනීමට කටයුතු කළා.

Jacques Rogge

ඒ අනුව පළමු ගිම්හාන යොවුන් ඔලිම්පික් උළෙල 2010 වසරේ අගෝස්තු මාසයේ  සිංගප්පූරුවේ දී පැවැත්වූ අතර එයට වසර දෙකකට පසු එනම් 2012 වසරේ දී පළමු ශීත යෞවන ඔලිම්පික් උළෙල පැවැත්වුවා.

මෙම යොවුන් ඔලිම්පික් උළෙලවල් සාමාන්‍ය ඔලිම්පික් උළෙලවල් වලට වඩා කෙටි වන අතර ගිම්හාන යොවුන් ඔලිම්පික් උළෙල දින 12ක් සහ ශීත සෘතු යොවුන් ඔලිම්පික් උළෙල දින 9ක් පැවැත්වේ.

එමෙන්ම ගිම්හාන යොවුන් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩකයන් 3500ක් සහ නිලධාරීන් 875ක් සහභාගී කර වීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අවසර ලබා දී ඇති අතර ශීත සෘතු යොවුන් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 970ක් සහ නිලධාරීන් 580කට අවසර ලබා දී ඇත.

යොවුන් ඔලිම්පික් උළෙල සඳහා ඇතුළත් වන ක්‍රීඩා බොහෝ දුරට සාමාන්‍ය ඔලිම්පික් උළෙලේ ක්‍රීඩාවලට සමාන වන නමුත් සාමාන්‍ය ඔලිම්පික් උළෙලට ඇතුළත් වන සියලූම ක්‍රීඩා සහ පුහුණුවීම් මෙයට ඇතුළත් නොවේ.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟින්.

මූලාශ්‍ර: Wikipedia

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<