ගාලු ක්‍රීඩකයෝ NSL ශූරතාව දිනා ගනී

National Super League 4 day Tournament 2025

4
National Super League 4 day Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 2025 වසරේ ශූරයන් බවට පත් වීමට රමේෂ් මෙන්ඩිස් ගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම අද (30) සමත් වුනා.

ගාල්ල කණ්ඩායම මෙම ශුරතාවය දිනා ගන්නේ පිට පිට දෙවැනි වතාවටයි.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැති මෙව අවසන් මහා තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 370ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දඹුලු කණ්ඩායමට තම පළමු ඉනිමට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 313ක් පමණයි.

ඉන් අනතුරු ව ලකුණු 57ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තරගය අවසන් සහ සිව් වැනි දිනයට අවසන් වෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 246ක් ලබා සිටියා.  .

තරගයේ සිව් වැනි දිනය වූ අද දවස ආරම්භ වෙන්නේ තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 139ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී දිනේෂ් චන්දිමාල් පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ද සහ දුනිත් වෙල්ලාලගේ පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද ලබා සිටියා.

අද දවසේ ඉනිමේ දැවී ගිය එක ම පිතිකරු වූයේ දිනේෂ් චන්දිමාල්. ඔහු ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 64ක් ලබා සිටියා.

අනතුරුව පිටියට පිවිසි රමේෂ් මෙනිඩිස්, දුනිත් වෙල්ලාලගේ සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ලට නොදැවුණු ලකුණු 74ක සබඳතාවක් එක් කරනවා. තරගය නතර කරන විට දුනිත් වෙල්ලාලගේ පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා සිටි අතර නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී මොහොමඩ් ශිරාස් කඩුලු ද්විත්වයක් දවා ගත් අතර චමිඳු විකුමසිංහ, ඉනුක කරන්ගොඩ සහ විශ්ව ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගෙන ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 370 (96.2)ඔෂද ප්‍රනාන්දු 120, දිනේෂ් චන්දිමාල් 80, අවිශ්ක පෙරේරා 26, දුනිත් වෙල්ලාලගේ 34, රමේෂ් මෙන්ඩිස් 31, සංතුශ් ගුණතිලක 39, මොහොමඩ් ශිරාස් 4/92, අකිල ධනංජය 2/92
  • දඹුල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 313 (84.2)රොන් චන්ද්‍රගුප්ත 65, සම්මු අශාන් 35, විශාද් රන්දික 124, චමිඳු විජේසිංහ 28, නිම්සර අතරගල්ල 5/101, විජයකාන්ත් වියස්කාන්ත් 2/28
  • ගාල්ල– දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 246 (83.0)දිනේෂ් චන්දිමාල් 64, නිපුන් ධනංජය 22, දුනිත් වෙල්ලාලගේ නොදැවී 59, රමේෂ් මෙන්ඩිස් නොදැවී 50, මොහොමඩ් ශිරාස් 2/35

තරගයේ විසඳුමක් නෑ.

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<