චන්දිමාල් සහ රවිඳු ශතක රැස් කරයි

National Super League 4 day Tournament 2025

41

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි සතියේ පළමු දිනයේ දී (20) දිනේෂ් චන්දිමාල් සහ රවිඳු රසාන්ත ශතක ලබා ගැනීමට සමත් වුනා.  

  • ගාල්ල සහ කොළඹ අතර තරගය කොළඹ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

ගාල්ල කණ්ඩායම 

රමේෂ් මෙන්ඩිස් (නායක), ඕෂද ප්‍රනාන්දු, තුලින ඩිල්ශාන්, දිනේෂ් චන්දිමාල්, නිපුන් ධනංජය, අවිශ්ක පෙරේරා (කඩුලු රකින්නා), දුනිත් වෙල්ලාලගේ, සංතුශ් ගුණතිලක, නිසල තාරක, දිලුම් සුදීර සහ නිම්සර අතරගල්ල.  

 

කොළඹ කණ්ඩායම 

චරිත් අසලංක (නායක), අවිශ්ක ප්‍රනාන්දු, අසිත වන්නිනායක, ධනංජය ලක්ෂාන්, කවින් බණ්ඩාර, සනෝජ් දර්ශික, රනේෂ් පෙරේරා (කඩුලු රකින්නා), ප්‍රමෝද් මදුශාන්, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස් සහ අක්මාල් ෆස්ලි.  

කාසියේ වාසිය දිනා ගත් කොළඹ කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරද්දී කඩුලු 7ක් දැවී ලකුණු 265ක් ලබා සිටියා.  

එම ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් පන්දු 195කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 132ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 35 වැනි ශතකයයි.  

කඩුලු 5ක් දැවී ලකුණු 102ක් ව තිබූ ගාලු ඉනිමට 6 වැනි කඩුල්ලට පන්දු 217ක දී ලකුණු 119ක් එක් කිරීමට දිනේෂ් චන්දිමාල් සහ නායක රමේෂ් මෙන්ඩිස් සමත් වුනා. තම 100 වැනි පළමුපෙළ තරගයට සහභාගී වෙන රමේෂ් මෙන්ඩිස් තරගයේ පළමු දිනය අවසන් වන විට පන්දු 158කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා සිටියා.  

ඔවුන්ට අමතර ව දුනිත් වෙල්ලාලගේ පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී ධනංජය ලක්ෂාන් ලකුණු 51කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව සනෝජ් දර්ශික, ප්‍රමෝද් මදුශාන්, අක්මාල් ෆස්ලි සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ගාල්ල – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 265 (83.2) දිනේෂ් චන්දිමාල් 132, දුනිත් වෙල්ලාලගේ 21, රමේෂ් මෙන්ඩිස් නොදැවී 56, ධනංජය ලක්ෂාන් 3/51

මෙම තරගය අද (21) 2 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.   

දඹුල්ල සහ යාපනය අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

දඹුල්ල කණ්ඩායම 

ධනංජය ද සිල්වා (නායක), නිශාන් මදුශ්ක, රොන් චන්ද්‍රගුප්ත, දිනුර කළුපහන, සහන් කෝසල, සම්මු අශාන්, විශාද් රන්දික (කඩුලු රකින්නා), චමිඳු විජේසිංහ, ඉනුක කරන්නාගොඩ, අකිල ධනංජය සහ දුලාජ් සමුදිත.  

 

යාපනය කණ්ඩායම  

ජනිත් ලියනගේ (නායක), රවිඳු රසාන්ත, ‍ශෙවෝන් ඩැනියෙල්, තනුක දාබරේ, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), චාමික කරුණාරත්න, ඉසිත විජේසුන්දර, ජෙෆ්රි වැන්ඩර්සේ, නිමේෂ් විමුක්ති සහ අසංක මනෝජ්.  

කාසියේ වාසිය දිනූ යාපනය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කරගනිමින් පිටියට පිවිසියා. ඒ අනුව දිනය අවසන් වන විට ඔවුන්ගේ ඉනිම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 206ක් බවට පත් ව තිබුණා.  

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු රවිඳු රසාන්ත පන්දු 196කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා. එය ඔහු මෙවර තරගාවලියේ ලබා ගත් 3 වැනි ශතකයයි.  

ඔහු ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ල සඳහා පන්දු 248ක දී නොදැවුණ ලකුණු 131ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වුනා. ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 63ක් ලබා සිටිනවා.  

එම ඉනිම වෙනුවෙන් තනුක දාබරේ පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී දිනුර කළුපහන සහ දුලාජ් සමුදිත කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව  

  • යාපනය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 206 (62.0) රවිඳු රසාන්ත නොදැවී 100, තනුක දාබරේ 33, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 63

මෙම තරගය අද (21) 2 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.   

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<