නිමාලිගේ මීටර් 800 වාර්තාව නීත්‍යානුකූලයි : ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය

555
Nimali’s 800m record is legit

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පසුගියදා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. ඒ මෙම දින වල මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් පිලිබඳ ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහායි.

පසුගිය ලිපි: යුධ හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලිය අදින් ඇරඹේ

පසුගිය දින වලදී ඇතැම් මාධ්‍ය ආයතන, හිටපු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ඇතැම් තාක්ෂණික නිලධාරීන්ද ඇතැම් ස්ථාන වලදී පල කල මතයක් විය. එනම් යාපනයේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේදී නිමාලි ලියනාරච්චි විසින් කාන්තා මීටර් 800 ඉසව්ව මිනිත්තු 2 යි තත්පර 3.5ක කාලයක් වාර්තා කරමින් පිහිටවූ නව ශ්‍රී ලංකා වාර්තාව එලෙස නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස පිළිගැනීම නීත්‍යානුකූල නොවන බවයි. ඔවුන් එලෙස පවසන්නේ මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට ඉලෙක්ට්‍රොනික කාල ගණන පද්ධතිය (තවමත් අලුත්වැඩියා කෙරෙමින් පැවතීම හේතුවෙන්) යොදා ගැනීමට නොහැකි වීම නිසා අදාළ කාල ගණනය පැරණි ක්‍රමයට (Hand Timing) සිදු කිරීම පදනම් කරගෙනයි.

මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කරමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා පැවසුවේ මෙලෙසින්,

”යාපනයේදී පැවැත්වුණු 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේදී අලුත් කෙරුණු කාන්තා මීටර් 800 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සම්බන්ධයෙන් අපිට විශේෂ ප්‍රකාශයක් කිරීමට තිබෙනවා. එම වාර්තාව පිලිබඳ විවිධ පාර්ශව වල විවිධ මත පල වෙනවා. කෙසේ වෙතත් අපි (ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය) අදාළ දක්ෂතාවය නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස පිළිගෙන තිබුනත් ඇතැම් පාර්ශව සඳහන් කරන්නේ එය වාර්තාවක් ලෙස පිළිගත නොහැකි බවයි. ඔවුන් විසින් ක්‍රීඩාවට ආදරය කරන ජනතාව වැරදි තොරතුරු සපයමින් නොමග යැවීමේ උත්සාහයක් ගන්නවා. එම නිසා අපි විශ්වාස කරනවා එම දුර්මත නිවැරදි කිරීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වගකීමක් කියලා.”

අනතුරුව සභාපතිවරයා ජාතික මහා ක්‍රීඩා උළෙලේ තාක්ෂණික අධ්‍යක්ෂ ලෙස කටයුතු කල P H D වෛද්‍යතිලක මහතාට ආරාධනා කළේ අදාළ දක්ෂතාව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස පිළිගැනීමට හේතුවූ කරුණු පැහැදිලි කරන ලෙසටයි.

—- P H D වෛද්‍යතිලක මහතා 1995 වසරේ සිට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ (IAAF) පිළිගත් කථිකාචාර්ය වරයෙක් ලෙස කටයුතු කරයි. 2007 වසරේදී ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය වරයෙකු ලෙස පත් කෙරුණු වෛද්‍යතිලක මහතා එම ගෞරවයට පාත්‍රවූ ලොව විද්වතුන් 9 දෙනාගෙන් එක් අයෙක් ලෙස ඉතිහාසගත වෙයි. 2008 බෙයිජිං ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලි දෙකේම ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරී වරයෙක් ලෙසද කටයුතු කර ඇති ඔහු ඔලිම්පික්, පැරාලිම්පික් සහ ප්‍රවීනයන්ගේ ක්‍රීඩා උළෙල යන ඉසව් තුනේම ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරී වරයෙක් ලෙස කටයුතු කර ඇති ලොව එකම පුද්ගලයාද වෙයි.—–

රැස්ව සිටි පිරිස අමතමින් වෛද්‍යතිලක මහතා මෙසේ පැවසීය. ”මෙම සිදුවීම විවේචනය කරන බොහෝ පාර්ශව වලට අනුව නිමාලිගේ කාලය නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස පිළිගැනීමේ සිද්ධියේ ප්‍රධාන චෝදනා ලාභියා මමයි. ඉතින් මම විශ්වාස කරනවා ඒ පිලිබඳ කාටහරි සැකයක් තියෙනවානම් එම සැකය දුරු කිරීම මගේ වගකීමක් කියලා.”

”ඇත්ත වශයෙන්ම මෙම තරගාවලිය ආරම්භ කිරීම‍ට පෙර සිටම හැමෝම දැනගෙන හිටියා යාපනය දුරයප්පා ක්‍රීඩාංගනයේ ඉලෙක්ට්‍රොනික කාල ගණන පද්ධතියක් නොමැති බව. නිමාලි කාන්තා මීටර් 800 ඉසව්ව මිනිත්තු 2 යි තත්පර 3.5කින් අවසන් කලාම යම් විවාදාත්මක තත්ත්වයක් ඇතිවුනා මෙය ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස පිළිගන්නවාද නැද්ද යන්න පිළිබඳව. ප්‍රධාන තාක්ෂණික අධ්‍යක්ෂ වරයා ලෙස ඒ පිලිබඳ තීරණයක් ගැනීමේ සම්පූර්ණ වගකීම තිබුනේ මටයි.”

” මම මෙම අවස්ථාවට අදාළ නීතිය හොඳින්ම දන්නවා. දින කිහිපයකට පෙර එක්තරා රූපවාහිනී වැඩසටහනකට ආපු තාක්ෂණික නිලධාරියෙක් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ 2016/17 නීති මාලාව පෙන්වලා කිවුවා එකේ 261 වන නීතියට අනුව මීටර් 100 සිට 800 දක්වා තරග මෙන්ම 4X100, 4X200 සහ 4X400 සහාය ඉසව් වල දක්ෂතා වාර්තා ලෙස පිළිගැනීමට නම් ඉලෙක්ට්‍රොනික කාල ගණනය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි කියලා”

—— 261 වන නීතිය ————111

22222

——— පහත දැක්වෙන ඉසවු ලෝක වාර්තා ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා :

සම්පූර්ණ ස්වයංක්‍රීය කාල ගණන පද්ධතියක් (F.A.T) භාවිත කල යුතු වෙයි. ; මීටර් 100, මීටර් 200, මීටර් 400, මීටර් 800, මීටර් 100 කඩුලු, මීටර් 400 කඩුලු, මීටර් 100 X 4 සහාය, මීටර් 200 X 4 සහය, මීටර් 400 X 4 සහය, සප්ත ප්‍රයාම, දස ප්‍රයාම.

F.A.T – Fully Automatically Timed performances  ——————

වෛද්‍යතිලක මහතා එම චෝදනාවට පිළිතුරු දුන්නේ මෙලෙසින්. ” මේ නීති පොත පෙන්වපු මහත්මයාට දැක ගන්නට ලැබිලා නෑ මෙම නීතිය අදාළ වෙන්නේ ලෝක වාර්තා සඳහා පමණක් බව. එම නීතිය සහ ජාතික වාර්තා අතර කිසිදු සම්බන්ධයක් නැහැ. ජාතික වාර්තාවක් සම්බන්ධයෙන් ඊට අදාළ නීති රාමුව තුල සහ පවතින සම්පත් උපයෝගී කරගෙන රටක අදාළ ක්‍රීඩා සංගමයකට තීරණයක් ගත හැකියි.”

”නීති පොතේම තියනවා අතින් කාලය මැනීමේදී ක්‍රියා කල යුතු ආකාරයත්. මීටර් 100, මීටර් 200, මීටර් 100 කඩුලු සහ මීටර් 110 කඩුලු ඉසව් සඳහා අතින් කාලය ගණනය කරනවා නම් අදාළ කාල ගණක යන්ත්‍රයේ සටහන් වන කාලයට තත්පර 0.24ක කාලයක් එකතු කල යුතුයි. මීටර් 400 ඉසව්වකදී නම් ඉලෙක්ට්‍රොනික කාල ගණනය සමඟ සමාන වීම සඳහා අතින් සිදු කරන කාල ගණනයේ අගයට තත්පර 0.14ක කාලයක් එකතු කල යුතු වනවා. නමුත් මීටර් 800 ඉසව්වක ඉලෙක්ට්‍රොනික සහ හස්ත කාල ගණනයන් සමාන බවයි ඉන් අදහස් කෙරෙන්නේ.”

”අපි මෙහිදී සලකා බැලූ තවත් කාරණයක් තමයි ක්‍රීඩාංගනයේ තිබූ පරිසරය. මෙම තරගය පැවැත්වුනේ තණකොළ සහිත ධාවන පථයකයි. තණකොළ මත ධාවනයේ යෙදීම කෘත්‍රිම ධාවන පථයක තරග වදිනවාට වඩා ඉතාමත් අපහසුයි. මෙම ක්‍රීඩාංගනයට ඉතා තද සුලඟක බලපෑම තිබුනා. ඇතැම් අය මතු කල කාරණයක් තමයි නිමාලිට සුළඟ නිසා වාසියක් අත්වුණා කියන එක. නමුත් සාමාන්‍ය දැනීම තියන ඕනෙම කෙනෙකුට වැටහෙනවා මීටර් 400 ට වඩා වැඩි තරග සඳහා සුළං මගින් සහයක් නොලැබෙන බව. ධාවන පථයේ එක අන්තයකදී සුළඟින් සහයක් ලැබුනහොත් ඕවලාකාර ධාවන පථයක අනෙක් අන්තයේදී එම සුළඟට විරුද්ධව ධාවනයේ යෙදෙන්නට සිදු වනවා. මලල ක්‍රීඩාව ගැන සුළු දැනුමක් හේ තියන කෙනෙක් දන්නවා ධාවන තරග වලදී වාර්තාවක් නිර්ණය කිරීම සඳහා සුළං මාපකය අවශ්‍ය වන්නේ මීටර් 100, මීටර් 200, මීටර් 100 සහ 110 කඩුලු යන ඉසව් සඳහා පමණක් බව.”

”මෙය ශ්‍රී ලංකා වාර්තාවක් බවට අපිට කිසිදු සැකයක් තිබුනේ නැහැ. මම ඒ වෙලාවේ සාකච්ඡා කළා තරගාවලි අධ්‍යක්ෂ කුලරත්න මහතා සහ තේරීම් කමිටු සභාපති මෙන්ම පරිනත සංඛ්‍යාලේඛන නිලධාරියෙකු වන සමන් කුමාර මහතා සමගින්. ඒ අනුව තමයි අපි මෙය නව ශ්‍රී ලංකා වාර්තාවක් බවට තීරණය කරලා එයට අත්සන් තැබුවේ.”

කෙසේ වෙතත් නිමාලිගේ දක්ෂතාව නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස පිළිගැනීම නීතියානුකූල නොවන බවට රූපවාහිනී වැඩසටහන් හරහා චෝදනා කරන පිරිස අතර හිටපු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සිටියි. නමුත් වෛද්‍යතිලක මහතා පවසන්නේ නියමිත නීති රාමුව තුල දක්වා ඇති ප්‍රතිපාදන සියල්ල ආරක්ෂා කරමින් මෙම තීරණය ගෙන ඇති බැවින් නෛතික පදනමකින් තොර විවේචන හමුවේ තමන් නොසැලෙන බවයි.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද පවසන්නේ තමන් හට ද නීති පොත දක්නට ලැබුණු අතර ඊට අනුකූලව මෙම වාර්තාව පිලි නොගත යුතුයි යන්න තමන්ගේද ස්ථාවරය බවයි. ඒ පිලිබඳ අදහස් දැක්වූ වෛද්‍යතිලක මහතා ”මම කිසිවෙකුගේ පෞද්ගලික මත පිලිබඳ කරදර වෙන්නේ නැහැ. නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා කියනවානම් මෙම තීරණය වැරදියි කියලා අපි ඒ පිලිබඳ තවදුරටත් හොයා බැලිය යුතුයි, මොකද අපේ වගකීම තමයි සාධාරනය ඉටු කිරීම. ඉතින් මම කෙලින්ම සම්බන්ධ කර ගත්තා මෙවන් තාක්ෂණික කරුණු පිලිබඳ ලොව සිටින ඉහලම නිලධාරියාව. ඒ තමයි ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ (IAAF) තාක්ෂණික කමිටු ප්‍රධානී ජෝර්ජ් සැල්සිදෝ මහතා. මම විද්‍යුත් තැපැල් (E – Mail) පණිවුඩයක් මගින් ඔහුගෙන් කල විමසීමකදී ඔහු තහවුරු කළා මෙය ජාතික වාර්තාවක් බවට ගෙන ඇති තීරණය නිවැරදි බව. සැල්සිදෝ මහතා වැඩිදුරටත් පැවසුවේ ඔහුගේ මව් රට වන පෘතුගාලයේ පවා ජාතික වාර්තා සඳහා ඔවුන්ගේ රටේ පවතින නීති රාමුව තුල හස්ත කාල ගණනය පිළිගන්නා බවයි.”

මෙරට මලල ක්‍රීඩා සංගමය සතුව මෙවන් අවස්තාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිලිබඳ පිළිගත් නීති හෝ රීති මාලාවක් පවතීද යන්න පිළිබඳව ThePapare.com නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් වෛද්‍යතිලක මහතා පැවසුවේ අනෙකුත් බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුලත් එවන් නීති රීති මාලාවක් නොමැති බවයි. එමෙන්ම වෛද්‍යතිලක මහතා මෙහිදී තමන් එංගලන්ත සහ නවසීලන්ත ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරීන් සමඟ මේ ගැටලුව පිලිබඳ කළ සාකච්ඡා වලදී ඔවුන්ද මෙම ජාතික වාර්තාව පිළිගැනීම නිවැරදි බව තහවුරු කරමින් එවූ ඊ මේල් පණිවුඩ වල පිටපත් ද මාධ්‍යව්දීන් හට ලබා දීමට කටයුතු කරන ලදී.

නිමාලි ලියනාරච්චි යනු හම්බන්තොට ප්‍රදේශයෙන් බිහිවූ අනන්ත දුක් ගැහැට මැද හරි හමන් ක්‍රීඩාංගනයක් හෝ නොමැතිව පුහුණුවීම් කරමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ගෞරවය පවා හිමි කරදුන් ක්‍රීඩිකාවකි. එබැවින් වසර 24ක් පැරණි වාර්තාවක් බිඳ දමමින් නිමාලි දැක්වූ දක්ෂතාව අගය කිරීම පසෙක තබා ඇතැම් මාධ්‍ය ආයතන හුදු ජනප්‍රියත්වය ලබා ගැනීමේ අරමුණ ඇතිව එවන් දිරිය දියණියකගේ උත්සාහය විවේචනය කිරීම කෙතරම් සදාචාර සම්පන්නදැයි ක්‍රීඩා ලෝලී ජනතාව නැවත සිතා බැලිය යුතු කරුණකි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

ThePapare.com වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දුන් සුගත් තිලකරත්න.