නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

210

ජූලි මස 8 වන දා සිට 16 වන දා දක්වා රටවල් 20ක සහභාගිත්වයෙන් බොට්ස්වානා හි ගැබ්රොන් නුවර දී 8 වන වරටත් පැවැත්වෙන ලෝක ශූරතා යොවුන් දැල්පන්දු තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ අවසන් තරගය අද (12) ගියවර ශූරතාවය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම සමඟින් පැවැත්විය. එම තරගය ලකුණු 125- 15ක් ලෙස පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් පරාජය වෙයි

මෙම දිනවල බොස්ට්වානාහි ගැබොරෝන් නුවර දී පැවැත්වෙන 8 වන දැල්පන්දු යොවුන් ලෝක…

ශ්‍රී ලංකා තරුණ දැල්පන්දු කණ්ඩායම ඊයේ (11) සැමෝවා කණ්ඩායම සමඟින් පැවැත්වූ තරගය ද ලකුණු 73-49ක් ලෙස පරාජයට පත්විය. සැමෝවා කණ්ඩායම 2013 වර්ෂයේ දී  අවසන් වූ තරගාවලියේ 10 වන ස්ථානය ජයග්‍රහණය කළ කණ්ඩායම විය.

 A කාණ්ඩයේ තරගයක් ලෙස අද පැවැත්වූ නවසීලන්ත තරගයට පෙර ශ්‍රී ලංකා තරුණ දැල්පන්දු කණ්ඩායම නවසීලන්ත දැල්පන්දු කණ්ඩායම සමඟින් 2000 වර්ෂයේ දී කාර්ඩිෆ් නුවර පැවැත්වූ සිව්වන යොවුන් දැල්පන්දු තරගාවලියේ දී අවසන් වතාවට මූණ ගැසුණු අතර, එම තරගය ලකුණු 93-21ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිතා ගත නොහැකි තරම් වේගයක් රඳවා ගනිමින් පළමු මිනිත්තු තුන තුල ලකුණු 11ක් රැස්කර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම එක් ලකුණක් හෝ ලබා ගැනීමට පෙරාතුවයි. පසුව ක්‍රියාත්මක වූ මෙලනි විජේසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු ලකුණ එක් කරන ලදි. පසුව නවසීලන්ත ක්‍රීඩිකාවන් තවත් ලකුණු 21ක් ලබා ගන්නා තුරු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 2ක් පමණි. තරගයේ පළමු කාර්තුව අවසන් වන විට ලකුණු 32-03ක් ලෙස නවසීලන්තය පෙරමුණේ පසුවිය.

තරගයේ දෙවන කාර්තුව තුල දී ද පළමු කාර්තුව මෙන්ම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් අනුගමනය කිරීමට නවසීලන්ත ක්‍රීඩිකාවන්ට පසුබට වූයේ නැත. එම කාර්තුව තුල නවසීලන්තය ලකුණු 25ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම කාර්තුව තුල ලකුණු 6ක් රැස්කර ගන්නා ලදි.

පළමු අර්ධය අවසානයේ – නවසීලන්ත 57 – 09 ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ඇතුළු නිලධාරීන් කණ්ඩායම විසින් දෙවන අර්ධයේ දී මල්ශා රත්නායක හා පූර්නි ලක්ෂානි යන ක්‍රීඩිකාවන් ආදේශ කරමින් කවීනා රාජපක්ෂ විවේක ගැන්විය. කවීනා මෙම තරගාවලිය තුල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම දස්කම් ප්‍රමාණයක් දැක්වූ ක්‍රීඩිකාවන් අතුරෙන් එක් ක්‍රීඩිකාවකි.

තරගයේ තෙවන කාර්තුව තුල දී ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතික්‍රමණය කරන්නට ලකුණු 33ක් ලබාගත් නවසීලන්තය සමත් වූයේ, ශ්‍රී ලංකා කණ්ඩායමට එම කාර්තුව තුල ලකුණු 3ක් පමණක් උරුමකර දෙමිනි. එය අවසන් වූයේ ලකුණු 90-12ක් ලෙසයි.

තරගයේ අවසන් හා සිව්වන කාර්තුව තුල දී නවසීලන්ත ක්‍රීඩිකාවන් ලකුණු 35ක් ලබාගෙන තරගය පහසුවෙන්ම ජයග්‍රහණය කරන ලදි.

තරගයේ සම්පූර්ණ කාලය අවසානයේ – නවසීලන්තය 125-15 ශ්‍රී ලංකාව

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩය යටතේ තරග වැදුණු තරග 5න් 5ම පරාජයට පත්වීම නිසා මෙම තරගාවලියේ ඉදිරියට යාමට නොහැකි අතර, ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට 17-20 දක්වා වූ ස්ථානයක් ජයග්‍රහණය කිරීම සඳහා හෙට (13)  සිංගප්පූරු කණ්ඩායම සමඟින් හෝ බාර්බඩෝස් කණ්ඩායම සමඟින් තරග වැදීමට සිදු වනු ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට