ලෝක ශූර ප්‍රංශය මෙවර යුරෝපා ශූරතාවයටත් මාන බලයි

255

වත්මන් ලෝක පාපන්දු ශූර ප්‍රංශය ඉතා ප්‍රබල සංචිතයක් සමඟින් මෙවර Euro තරගාවලියට පිවිසෙන්නේ යුරෝපය තුළ ද සිය ආධිපත්‍යය ස්ථාපිත කරගැනීමේ සූදානම සහිතව යි. 

යුරෝපා පාපන්දු ශූරතාවලි ඉතිහාසය 

ප්‍රංශය පළමු වරට යුරෝපා පාපන්දු ශූරතාවලියක ශූරතාවය දිනා ගනු ලබන්නේ 1984 වසරේ දීය. ඒ එරට තුළ ම පැවති තරගාවලියේ දී ස්පාඤ්ඤය හමුවේ අවසන් මහා තරගෙයන් ගෝල 2-0ක ජයග්‍රහණයක් හිමිකර ගනිමිනි. 

අනතුරුව 2000 වසරේ දී දෙවැනි වරටත් ඔවුන් එහි ශූරතාවය දිනා ගන්නට සමත් විය. ඉතාලියට එරෙහිව පැවති එහි අවසන් මහා තරගයේ දී ඉතා විශිෂ්ට හඹායාමක් සම්පූර්ණ කරගනිමින් අවසානයේ ගෝල 2-1ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින් ඔවුන් එම ශූරතාවය හිමිකරගනු ලැබීය.

www.thesefootballtimes.co

තවදුරටත් අවසන් වරට පැවති 2016 Euro තරගාවලියේ දී ද ඔවුන් අවසන් මහා තරගය දක්වා ඉදිරියට එන්නට සමත් වුනත් එහි දී පෘතුගාලය හමුවේ ගෝල 0-1ක තියුණු පරාජයක් අත්විඳීමත් සමඟ ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය. 

මේ දක්වා ගමන්මග 

එම 2016 Euro අනුශූරතාවයෙන් පසුව මේ වන විට ප්‍රංශය වත්මන් පාපන්දු ක්‍රීඩාව තුළ ප්‍රබලත ම කණ්ඩායම ලෙස සිය ස්ථානය ස්ථාපිත කරගෙන ඇති බව හඳුනාගත හැක. ඒ අනුව ඔවුන් එතරම් දැඩි අභියෝගයකින් තොරව 2018 FIFA පාපන්දු ලෝක කුසලානය ද ජයග්‍රහණය කරන්නට සමත් විය. 

James Hill / The New York Times

Euro සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ‘H’ කාණ්ඩයෙන් තරග කළ ප්‍රංශය එහි දී ඔවුන් සහභාගී වූ තරග 10න් 8ක් ම ජයග්‍රහණය කරමින් එම කාණ්ඩයේ පෙරමුණ ගනිමින් සිය සුදුසුකම තහවුරු කරගනු ලැබීය.

එහි දී ඔවුන් පරාජයට පත්වූයේ එක් තරගයක් පමණක් වන අතර එය තුර්කිය හමුවේ ගෝල 0-2ක් ලෙස වාර්තා වන්නට විය. එම තරගාවලය තුළ ඔවුන් සමස්ත ගෝල 25ක් වාර්තා කරගනිද්දී අනෙක් පසින් ප්‍රතිවාදීන් හට ඔවුන් ලබා දෙනු ලැබුවේ ගෝල 6ක් පමණි. අයිස්ලන්තයට සහ ඇන්ඩෝරා වට එරෙහිව ගෝල 4-0 බැගින් ප්‍රංශය වාර්තා කර ගත් ප්‍රබල ජයග්‍රහණ එහි දී විශේෂයෙන් කැපී පෙනෙන්නට විය. 

ප්‍රංශ ක්‍රීඩකයින්ගේ සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය පසුගිය දා අවසන් වූ ජාත්‍යන්තර සුහද තරගවල දී ද ඒ ආකාරයට ම ක්‍රියාත්මක වන්නට වූයේ එහි දී වේල්සය සහ බල්ගේරියාව හමුවේ ඔවුන් ගෝල 3-0 බැගින් පහසු ජයග්‍රහණ වාර්තා කරගැනීමත් සමඟයි.  

පුහුණුකරු සහ ක්‍රීඩා ශෛලිය

AS Monaco, Juventus සහ Marseille පාපන්දු සමාජ සමඟ පුහුණුකරුවෙකු ලෙස ඉහළ දක්‍ෂතා දැක්වීමෙන් අනතුරුව Didier Deschamps 2012 වසරේ දී ප්‍රංශයේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා පත්කෙරිණ. 

ආරම්භයේ දී එතරම් සාර්ථක ප්‍රතිඵල ළඟාකර ගන්නට ඔහුට නොහැකි වුවත් කෙමෙන් කෙමෙන් ඔහු කණ්ඩායම ලෝක පාපන්දුවේ ප්‍රබලයින් බවට පරිවර්තනය කරන්නට සමත් විය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම 2018 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමයි. 

ඒත් සමඟම පාපන්දු ලෝක කුසලානයක් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු ලෙස ද ජයග්‍රහණය කළ සිව්වැනි පුද්ගලයා ලෙස Deschamps ඉතිහාසයට එක්වන්නට විය.  

Getty Images

ඔහු වැඩි වශයෙන් යොදාගනු ලබන්නේ තම කණ්ඩායම සතුව පන්දුව වැඩි වේලාවක් තබා ගනිමින් ක්‍රීඩා කරන ක්‍රීඩා ශෛලියකි. එය ක්‍රියාත්මක කිරීමේ දී සාමාන්‍යයෙන් ඔහු 4-3-3 පද්ධතියක් යොදාගනු ලැබුවත් ප්‍රතිවාදීන් සතුව සැලකිය යුතු කාලයක් පන්දුව රැඳෙන අවස්ථාවන් වලදී බොහෝ විට ඔහු එය 4-4-2 පද්ධතියක් බවට පරිවර්තනය කරනු ලබයි. 

තවදුරත් ඔහු අවස්ථාව සහ ප්‍රතිවාදියා පිළිබඳව සලකමින් 4-2-3-1 පද්ධතිය යොදාගනු ලැබූ අවස්ථා ද අපට හඳුනාගත හැක. කෙසේ නමුත් සමස්තයක් ලෙස Deschamps ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරනු ලැබුවත් වෙනත් ප්‍රබල කණ්ඩායම් හමුවේ ගෝලයක් වාර්තා කරගෙන ප්‍රංශය ඉදිරියට පැමිණි අවස්ථාවන් වලදී එය ආරක්ෂා කරගැනීමට දැඩි ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශයක් අනුගමනය කිරීමට සිය ක්‍රීඩකයින් යොමුකර වන්නට ද ඔහු කිසිඳු පැකිලීමක් දක්වන්නේ නැත. 

මේ දක්වා ප්‍රංශයේ පුහුණුකාරීත්වය දරා ඇති තරග 115 තුළ ඔහු ජයග්‍රහණ 76ක් වාර්තා කරගෙන ඇත්තේ අනෙක් පසින් තරග 18ක් පමණක් පරාජයට පත්වෙමිනි. 2000 වසරේ Euro ශූරතාවය ජයග්‍රහණය කළ ප්‍රංශ කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුවේ ද Deschamps වන අතර ඒ අනුව එළඹෙන තරගාවලියේ දී පුහුණුකරුවෙකු ලෙස ද එම ජයග්‍රහණය අත්පත් කරගැනීමට ඔහු බලාපොරොත්තුවෙන් පසුවනු ඇත. 

එහි දී ඔහු ප්‍රංශය යුරෝපා පාපන්දු ශූරතාවයක් කරා මෙහෙයවන්නට සමත් වුවහොත් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු ලෙස ද එවන් දක්‍ෂතාවයක් දැක්වූ දෙවැනි පුද්ගලයා ලෙස ඔහු ඉතිහාසයට එක්වනු ඇති අතර තවදුරටත් ලෝක කුසලාන සහ Euro තරගාවලි ද්විත්වයේ දීම එවන් දක්‍ෂතාවයක් දැක්වූ පළමු සහ එකම පුද්ගලයා ලෙසද ඔහු ඉතිහාස ගතවනු ඇත. 

ප්‍රබලතාවයන් සහ දුර්වලතාවයන්

මෙවර Euro තරගාවලිය සඳහා නම්කර ඇති ප්‍රංශ සංචිතය තරගාවලියට එක්වන ශක්තිමත් ම සංචිතය යැයි පැවසීමේ කිසිඳු වරදක් නොමැත. ඒ අනුව දැඩි ආක්‍රමණශීලී ඉදිරිපෙළක්, ඕනෑම ප්‍රතිවාදියෙක් සිය පාලනයට නතුකර ගත හැකි මැදපෙළක් සහ ශක්තිමත් පසුපෙළක් යන සෑම අංශයකින් ම ඔවුන් සවිමත්ව සිටී. 

Reuters

එමෙන්ම ඔවුන්ගේ සංචිත ගැඹුරට සම කළ හැකි වෙනත් කිසිදු කණ්ඩායමක් මෙවර තරගාවලිය තුළ අපට හඳුනාගත නොහැක. අවස්ථාවක් තිබුණා නම් ඔවුන්ට මෙම තරගාවලියට ‘B’ කණ්ඩායමක් පවා යොමුකිරීමේ හැකියාව පවතින අතර එම කණ්ඩායම ද තරගාවලියට එක්වන බොහෝ කණ්ඩායම්වලට වඩා ඉදිරියෙන් සිටින තරමට ම ඔවුන් ප්‍රබල ක්‍රීඩකයින් රැසකගෙන් ශක්තිමත්ව සිටී. 

මේ හරහා Deschamps හට කණ්ඩායමේ ප්‍රමිතියේ කිසිඳු අඩුවීමකින් තොරව ක්‍රීඩකයින් විවේක ගැන්වීමටත්, තරග අතරතුර තීරණාත්මක ආදේශනයන් සිදුකිරීමටත් හැකියාව ලැබී ඇත. 

විශේෂයෙන් ඔවුන්ගේ ඉදිරිපෙළ කණ්ඩායමේ ඉතා ප්‍රබල පැතිකඩක් වන අතර ගෝල රැස්කිරීමේ හැකියාව, වේගය සහ නිර්මාණශීලීත්වය මෙන්ම භයානක ඉදිරිපෙළක තිබිය යුතු සෑම ගුණාංගයකින් ම ඔවුන් සවිමත්ව සිටී. 

ඒ අනුව මෙම ප්‍රංශ සංචිතය තුළ කිසිදු දුර්වලතාවයක් හඳුනාගත නොහැකි තරම් වුවත් ඔවුන්ගේ ගෝල රැකීමේ අංශය පිළිබඳව ඔවුන් තරමක් සැලකිලිමත් වනු ඇති බව අනුමාන කළ හැක. Deschamps නිරන්තරයෙන් යොදාගන්නා ගෝල රකින ක්‍රීඩකයා වන්නේ ඔවුන්ගේ නායක Hugo Lloris වුවත් ඔහු පසුගිය තරග වාරය තුළ එතරම් දක්‍ෂතා දැක්වීමට සමත් වූයේ නැත. 

කෙසේ නමුත් ඔවුන්ගේ සංචිතය තුළ ම සිටින Mike Maignan මේ වන විට සිය උපරිම දක්‍ෂතා අතර සිටින අතර Lloris වෙනුවට ඔහු කණ්ඩායමේ ප්‍රධාන ගෝල රකින ක්‍රීඩකයා දක්වා උසස් කෙරෙන්නේ නම් එම දුර්වලතාවය ද ඔවුන්ට මඟහරවා ගත හැක. 

කෙසේ නමුත් පෘතුගාලය සහ ජර්මනිය වැනි ප්‍රබල කණ්ඩායම් සමඟ එකම කාණ්ඩයෙන් තරග කිරීමට සිදුවී තිබීම නිසා නිසා ප්‍රංශයට තරගාවලිය ආරම්භයේ සිටම සිය උපරිම දක්‍ෂතා අතර රැඳීමට සිදුවනු ඇති බව නොඅනුමාන ය. 

තවත් කියවන්න;

වැදගත් සහ නැඟීඑන ක්‍රීඩකයින්

සමස්ත සංචිතයක් ලෙස දක්‍ෂතා දැක්වීම හේතුවෙන් ප්‍රංශයට තරග ජයග්‍රහණය කිරීම සඳහා එක් ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා විලාශය එතරම් තීරණාත්මක වන්නේ නැත. කෙසේ නමුත් මේ වන විට ඉහළ දක්‍ෂතා අතර සිටින ලෝක පාපන්දුවේ දක්‍ෂත ම ක්‍රීඩකයෙකු වන Kylian Mbappeගේ වේගය සහ ඉහළ ගෝල වාර්තා කරගැනීමේ හැකියාව තරගාවලියේ දී ඔවුන්ට තීරණාත්මක වනු ඇත. තවදුරටත් Olivier Giroud ද ඉදිරිපෙළ ක්‍රීඩා කරමින් කණ්ඩායමට ලබාදෙන දායකත්වය ද ඔවුන්ට වැදගත් වේ. 

Reuters

මේ වන විට ලෝකයේ ප්‍රබල ම මැදපෙළ ක්‍රීඩකයින් අතර සිය නාමය ස්ථාපිත කරගෙන සිටින N’Golo Kante පසුගිය තරග වාරයේ දී Chelsea කණ්ඩායම UEFA ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමේ දී ඔවුන්ගේ ඉහළ ම දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයා වන අතර ඒ අනුව ඔහුගේ සමස්ත දායකත්වය සහ Paul Pogbaගේ නිර්මාණශීලීත්වය ද මැදපෙළ ඔවුන්ට තීරණාත්මක වනු ඇත. 

Raphael Varane ඔවුන්ගේ පසුපෙළ නායකත්වය දරනු ඇති අතර Joules Kounde නැඟී එන ක්‍රීඩකයෙකු ලෙස දක්‍ෂතා දක්වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එමෙන්ම වසර පහකට පසුව ප්‍රංශ කණ්ඩායමට ඇතුළත් කර තිබෙන Karim Benzema ද තරගාවලිය පුරාවට ඔවුන්ට වැදගත් වනු ඇත. 

සංචිතය

ගෝල රකින්නන්: Hugo Lloris (Tottenham), Steve Mandanda (Marseille), Mike Maignan (Lille)

පසුපෙළ ක්‍රීඩකයින්: Raphael Varane (Real Madrid), Lucas Digne (Everton), Benjamin Pavard (Bayern Munich), Lucas Hernandez (Bayern Munich), Presnel Kimpembe (PSG), Clement Lenglet (Barcelona), Kurt Zouma (Chelsea), Leo Dubois (Lyon), Jules Kounde (Sevilla)

මැදපෙළ ක්‍රීඩකයින්: Paul Pogba (Man Utd), Moussa Sissoko (Tottenham), N’Golo Kante (Chelsea), Corentin Tolisso (Bayern Munich), Adrien Rabiot (Juventus)

ඉදිරිපෙළ ක්‍රීඩකයින්: Karim Benzema (Real Madrid), Olivier Giroud (Chelsea), Kylian Mbappe (PSG), Marcus Thuram (Borussia Monchengladbach), Kingsley Coman (Bayern Munich), Wissam Ben Yedder (Monaco), Antoine Griezmann (Barcelona), Thomas Lemar (Atletico Madrid), Ousmane Dembele (Barcelona)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<