ජාතික දැල්පන්දු ශූරතාවයට දින තීන්දුයි

Dialog ජාතික දැල්පන්දු ශූරතාවය - 2021 - ජ්‍යෙෂ්ඨ

236

කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබී කල් දැමුණු ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවය මෙම මාසයේ දී පවත්වා අවසන් කිරීමට ජාතික දැල්පන්දු සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම තරගාවලිය ජනවාරි 22 සහ 23 යන දෙදින මහනුවර දිගන පිහිටි දිගන ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලිය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට තිබුනත් කොරෝනා වසංගතය නිසාවෙන් එය නිසි පරිදි පැවැත්වීමට නොහැකි වූවත් රංජනී ජයකොඩි මහත්මිය ප්‍රමුඛ ජාතික දැල්පන්දු සම්මේලනය විසින් 2021 ක්‍රීඩා කැලැන්ඩරය සම්පූර්ණ කිරීම සඳහා මෙම තරගාවලිය නැවත සැලසුම් කිරීමට සමත්ව ඇති අතර ඒ සඳහා දිවයිනම ආවරණය කරමින් කණ්ඩායම් 30ක් සහභාගි වීමට නියමිතයි.

මෙම තරගාවලිය මගින් නවක දස්කම් හඳුනා ගැනීමට විශාල අවස්ථාවක් හිමිවන අතර මෙහි දස්කම් දක්වන ක්‍රීඩිකාවන් හට 2022 සැප්තැම්බර් 3 සිට 10 දක්වා පැවැත්වීමට නියමිත ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා වන ජාතික සංචිතයට ඇතුළත් වීමට විශාල අවස්ථාවක් හිමිවනවා.

2020 ආසියානු දැල්පන්දු ශූරතාවය කොරෝනා වසංගතය නිසාවෙන් අවලංගු කිරීමට සිදු වූ අතර 2018 වසරේ පැවති තරගාවලියේ ශූරතාවය දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් එහි වත්මන් ශූරියන් වනවා.

2022 ආසියානු ශූරතාවය ඉලක්ක කර ගනිමින් දැල්පන්දු කණ්ඩායම නව පුහුණුකාරිණිය වන හයිසින්ත් විජේසිංහ සමඟ පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති අතර දැල්පන්දු පුහුණුකාරිණී තනතුර සඳහා විජේසිංහට අමතරව හිටපු පුහුණුකාරිණියක් වන තිලකා ජිනදාස මහත්මිය ද ඉල්ලුම් කර තිබුණා.

මෙම පුහුණුකාරිණියන් දෙදෙනාම ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරතාවයන් කරා මෙහෙයවා ඇති අතර විජේසිංහ මහත්මියගේ පුහුණුකාරිත්වය යටතේ 2001 වසරේ දී සහ තිලකා ජිනදාස මහත්මියගේ පුහුණුකාරිත්වය යටතේ 2009 සහ 2018 වසරවල දී ආසියානු ශූරතා දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අවසන් වරට 2019 ලෝක දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ අතර එහි දී ඔවුන් 15 වැන්නා ලෙස තරගාවලිය අවසන් කළා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<