නැමීබියාව නෙදර්ලන්ත බලාපොරොත්තු සුන් කරයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

226

2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (20) නෙදර්ලන්තය සහ නැමීබියාව අතර අබුඩාබි නුවර Sheikh Zayed ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

තරගාවලියේ රැඳී සිටීමට නම් කණ්ඩායම් දෙකට ම ඉතා වැදගත් තරගයක් වූ මෙම තරගයෙන් නෙදර්ලන්තය පරදවා කඩුලු 6ක ජයක් ලබා ගැනීමට නැමීබියානුවන්ට හැකි වුනා.

කාසිය වාසිය දිනා ගත් නැමීබියානු නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා නෙදර්ලන්ත ක්‍රීඩකයන්ට ආරාධනා කළා.

  • නැමීබියාව – Stephan Baard, Zane Green (wk), Craig Williams, Gerhard Erasmus (c), David Wiese, JJ Smit, Michael van Lingen, Jan Frylinck, Jan Nicol Loftie-Eaton, Ruben Trumpelmann, Bernard Scholtz
  • නෙදර්ලන්තය – Tony Ura, Lega Siaka, Assad Vala (capt), Charles Amini, Sese Bau, Norman Vanua, Simon Atai, Kiplin Doriga (wk), Chad Soper, Kabua Morea, Nosaina Pokana

එම ආරාධනය පිළිගනිමින් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Max ODowd සහ Stephan Myburgh පළමු කඩුල්ල සඳහා ලකුණු 42ක සම්බන්ධතාවයක් පිහිටුවමින් සිය කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන්නා.

Jan Frylinckගේ පන්දුවක් හමුවේ Myburgh පළමු කඩුල්ල ලෙස දැවී යන විට ඔහු පන්දු 16ක් තුළ ලකුණු 17ක් රැස්කරගෙන සිටියා. ඔහුගේ දැවී යාමෙන් පසු Roelof van der Merwe පිටියට එක්වුනා.

ඔහුට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ නොදී ලකුණු 6කට දවා ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩක David Wiese සමත් වන විට, නෙදර්ලන්ත මුළු ලකුණු පුවරුව දිස්වුනේ ලකුණු 55කට කඩුලු දෙකක් ලෙසයි.

නමුත් පෙර තරගයේ ලබා ගත් රිද්මය මෙම තරගයේ ද පවත්වා ගත් නෙදර්ලන්ත ආරම්භ පිතිකරු Max O’Dowd පන්දු 56ක් තුළ 4 පහර හයක් සහ 6 පහරක් සමඟ ලකුණු 76ක් රැස්කළේ තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය රැස්කර ගනිමිනුයි.

ඔහුගේ ඉනිමට අගනා සහයක් ලබා දෙමින් Colin Ackermann ලකුණු 35ක් සහ Scott Edwards පන්දු 11ක දී වේගවත් ලකුණු 21ක් රැස්කරමින් නෙදර්ලන්ත ලකුණු පුවරුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 164ක් බවට පත්කළා.

පන්දු යැවීමේ දී Jan Frylinck කඩුලු දෙකක් සහ David Wiese එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව තරගාවලියේ තවදුරටත් රැඳී සිටීම සඳහා ලකුණු 165ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නැමීබියානු ඉනිම ආරම්භ කළේ Stephan Baard සහ Zane Green විසිනුයි.

සිය කණ්ඩායමට තරමක හොඳ ආරම්භයක් ලබා දෙමින් ලකුණු 34ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඔවුන් සමත් වුනත්, ලකුණු 15ක් රැස්කරගෙන සිටි Zane Green දවා ගැනීමට Jan Frylinckට හැකි වුනා.

ඉන්පසු පිටියට පිවිසි Craig Williams හට සාර්ථකව වීමට අවස්ථාවක් ලබා නොදෙමින් ලකුණු 11කට පිටියෙන් ඉවත් කිරීමට Colin Ackermannට හැකි වුනේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දමිනුයි.

එම කඩුල්ල දවා ගැනීමෙන් කෙටි වෙලාවකට පසු මුළු ලකුණු සංඛ්‍යාව 55 දී ආරම්භ පිතිකරු Stephan Baard පිටියෙන් ඉවත් කරමින් තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට ගෙන ඒමට නෙදර්ලන්ත නායක Pieter Seelaarට හැකි වුනා.

නමුත් තරගය සම්පූර්ණයෙන් වෙනතකට හරවමින් නෙදර්ලන්ත පන්දු රකින්නන්ට වේගවත් ප්‍රහාරයක් එල්ල කරමින් සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 44ක් තුළ වේගවත් ලකුණු 83ක සම්බන්ධතාවක් ගොඩනැගීමට Gerhard Erasmus සහ David Wiese සමත් වුනා.

Timm van der Gugtenගේ පන්දුවක් හමුවේ Gerhard Erasmus දැවී යන විට පන්දු 22ක් තුළ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 32 රැස්කිරීමට ඔහු සමත්ව තිබුණා.

තරගය පුරාවටම වේගවත් ඉනිමක් දියත් කරමින් නෙදර්ලන්ත ක්‍රීඩකයන්ට හිසරදයක් වූ David Wiese පන්දු 40ක දී ලකුණු 66ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ කඩුලු 6ක් ඉතිරිව තිබිය දීයි.

පන්දු යැවීමේ දී නෙදර්ලන්තය වෙනුවෙන් Pieter Seelaar, Timm van der Gugten, Fred Klaassen සහ Colin Ackermann අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මෙම ජයග්‍රහණයත් සමඟ විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ජයග්‍රහණය ලබා ගනිමින් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නැමීබියානු කණ්ඩායමට හැකි වූ අතර නෙදර්ලන්ත ක්‍රීඩකයන්ට තරගාවලියේ මීළඟ වටයට සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව ඇහිරී ගියා.

  • නෙදර්ලන්තය: 164/4 (20) – Max O’Dowd 76, Colin Ackermann 35, Scott Edwards 22, Jan Frylinck 2/36, David Wiese 1/32
  • නැමීබියාව: 166/4 (20) – David Wiese 66, Gerhard Erasmus 32, Fred Klaassen 1/14, Pieter Seelaar 1/8

අද පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙන අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<

>> Click here to view Full Scorecard