බයිලා නොගැසූ එම්. එස්

205

එම්.එස් යන නාමය ප්‍රසිද්ධ බයිලා වලටය. නමුත් මේ ලිපියෙන් විමසා බැලෙන්නේ බයිලා නොගැසූ එම්. එස් කෙනෙකු පිළිබඳවයි. 

ඔහු පිත්තත් රැගෙන පිටියට පිවිසෙන විට තිගැස්මක් ඇති නොවූ පන්දු යවන්නෙකු ක්‍රිකට් ලෝකයේ සිටියේ නැත. අනෙක් අන්තයෙන් කෙතරම් කඩුලු ප්‍රමාණයක් දැවී තිබුණ ද, ඔහු කඩුල්ලේ රැඳී සිටිනතෙක් ප්‍රතිවාදීන්ගේ මුහුණුවල සිනහවක් තිබුනේ නැත. 

ලොව කිසිම පිටියක් ඔහුට විශාල වැඩි නොවුනි. ඒ නිසාම රිසි අවස්ථාවල දී හයේ පහරවල් එල්ල කිරීම ඔහුට එතරම් දෙයක් නොවුනි. ඔහුගේ හයේ පහරවල් හතරේ සීමාව ආසන්නයේ පතිත වූ ඒවා නොවේ. බොහෝ විට එම පහරවල් නතරවූයේ හතරේ සීමාවෙන් යාර 20ක් 30ක් පිටතින් වූ ප්‍රේක්ෂකාගාර මතය. නැතිනම් ප්‍රේක්ෂකාගාරවල්වල වහල මතය. ඇතැම් අවස්ථාවල පිටියෙන් ඉවත වූ මාර්ග හෝ ගොඩනැගිලි මතය.

එම්. එස් දෝනි. 

එසේ නැතිනම් මහේන්ද්‍ර සිං දෝනි.

ලොව එදා මෙදාතුර පහළවූ විශිෂ්ටතම නායකයකු ලෙසත්, ලොව විශිෂ්ටතම තරග අවසන් කරන්නා ලෙසත් ඔහුව හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ පවතින මට්ටමට ඔසවා තැබීමේ පුරෝගාමියා දෝනි ය. එහි ගෞරවය ඔහුට නිතැතින්ම හිමි විය යුතුය. මේ දෝනිගේ ගමන් මග දෙස යන්තමින් හැරී බැලීමකි.

1999 වසරේ දී එවකට දහඅට හැවිරිදි වියේ පසුවූ මහේන්ද්‍ර සිං දෝනි 1999-2000 තරග වාරය වෙනුවෙන් බිහාර් ප්‍රාන්ත කණ්ඩායම (වත්මන් ජාර්කන්ඩ් කණ්ඩායම) නියෝජනය කරමින් රංජි කුසලාන තරගාවලියට සහභාගී විය. තම පළමු පෙළ තරග දිවිය ආරම්භ කරමින් සහභාගී වූ තරගයේ දී ඇසෑම් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 68ක් වාර්තා කිරීම නිසා තම පළමු තරඟයේ දී ම අවධානය දිනා ගැනීමට දෝනි සමත් වූ අතර 2000/2001 තරග සමයේ දී තම මංගල පළමු පෙළ ශතකය බෙංගාල කණ්ඩායමට එරෙහිව ලබා ගත් නමුත් එවකට සිටි තේරීම් කමිටුවේ සිත් ඇදගැනීමට එය ප්‍රමාණවත් නොවීය. 

කෙසේ නමුත් 2003 දී ජාර්කන්ඩ් ප්‍රාන්තය වෙනුවෙන් දෝනි දැක්වූ දස්කම් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කුසලතා සම්පත් සංවර්ධන අංශයේ නිළධාරී පී. සී. පොඩාර් මහතාගේ අවධානයට යොමු වීමත් සමඟ ඉන්දීය ජාතික කණ්ඩායමේ පළමු දොරටුව දෝනි වෙත විවෘත විය. 

කවර් ඩ්‍රයිව් පහරේ සන්නාමය – කුමාර් සංගක්කාර

ක්‍රිකට් ප්‍රේක්ෂකයන් උන්මාදයට පත් කරවන සචින් තෙන්දුල්කාර්ගේ ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරවල් ඔබ…

එහි ප්‍රතිඵලයක් ලෙස 2003-04 තරග වාරයේ දී ඉන්දීය “A” කණ්ඩායමේ සිම්බාබ්වේ සහ කෙන්යා සංචාරයන් සඳහා දෝනිව තෝරා ගැනුන අතර එහි දී පැවති තුන්කොන් තරගාවලිය අතරතුර ඉන්දියාවේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වන පාකිස්තානය පරාජය කිරීම සඳහා කණ්ඩායමට විශාල දායකත්වයක් සැපයීමට දෝනිට හැකි විය. එම තරගාවලිය තුළ ඔහු තරග 7ක දී ලකුණු 362ක් රැස් කළ අතර එම දස්කම්වලින් ඔහුට එවකට ඉන්දීය කණ්ඩායමේ නායක සෞරව් ගංගුලිගේ අවධානය දිනා ගැනීමට හැකියාව ලැබුණි. 

මේ නිසාම 2004-05 තරග වාරය තුළ දී බංගලාදේශ කණ්ඩායමට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරග වරම් දිනා ගැනීමට දෝනිට අවස්ථාව හිමි වූ අතර තම පළමු ජාත්‍යන්තර ඉනිමේ දී ම ඉතා අවාසනාවන්ත ලෙසින් කිසිදු ලකුණක් නොලබා දුවද්දී දැවී යාමට දෝනිට සිදු විය.

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු තරගාවලියේ එතරම් සාර්ථක නොවූවද සිය දෙවන තරගාවලියේ දී පාකිස්තානයට එරෙහිව පන්දු 123ක දී ලකුණු 148ක් රැස් කරන්නට දෝනි සමත් වූ අතර එය ඉන්දීය කඩුලු රකින්නකු එක්දින පිටියේ රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය. මෙම ඉනිමෙන් පසුව ලොව පුරා ආකර්ෂණය තමා වෙත දිනා ගැනීමට දෝනි සමත් විය.

ඉන්පසුව ශ්‍රී ලංකාවට එරෙහිව පැවති එක්දින තරගාවලියේ දී ලකුණු 183ක් රැස් කරමින් එම වාර්තාව අලුත් කරන්නට සමත් වූ දෝනි ඉන්පසුව ශ්‍රී ලංකාවට එරෙහිව  පැවති ටෙස්ට් තරගාවලියේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් විය. එම තරගාවලියේ දෙවන තරගයේ දී අර්ධ ශතකයක් රැස් කරමින් කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගත් දෝනි ඉන්පසුව එළඹි පාකිස්තානු සංචාරයේ දී තම මංගල ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය. 

ඉන් අනතුරුව ඉන්දීය ජාතික කණ්ඩායමේ එක්දින හා ටෙස්ට් තරග රටා දෙකෙ හිම නිත්‍ය කඩුලු රකින්නාගේ ස්ථානය තහවුරු කර ගැනීමට දෝනිට හැකියාව ලැබුණි.

කෙසේ නමුත් 2007 වසරේ බටහිර ඉන්දීය කොදෙව් හි පැවති පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේ දී සව්රව් ගංගුලිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම දෙවන වටයට හෝ සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූ අතර මෙය ඉන්දීය ප්‍රේක්ෂකයන් කම්පනයට පත් කිරීමට සමත් වූ සිදුවීමක් විය. එම නිසාම ඔවුන් කණ්ඩායමේ වෙනසක් වෙනුවෙන් හඬ නැගූ අතර එවකට සිටි ඉන්දීය තේරීම් කමිටුව ආන්දෝලනාත්මක තීන්දුවක් ගනිමින් 2007 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයට සහභාගී වන ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දෝනි වෙත පිරිනැමීමට තීරණය කරන ලදී.

තෙන්දුල්කාර්, ද්‍රාවිඩ්, ගංගුලි වැනි ප්‍රබල ක්‍රීඩකයන් කිසිවෙකුත් කණ්ඩායමේ නොමැති නිසා කිසිවෙකු ඉන්දියාවට තරගාවලිය ජය ගැනීමට අවස්ථාවක් ලබා දුන්නේ නැත. බොහෝ විචාරකයන් එහි දී පැවසූවේ එම ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත් වන්නේ ඉන්දියාව නියෝජනය කළ යුතු ක්‍රීඩකයන් සංඛ්‍යාව තරගාවලියට එකතු කිරීම සඳහා පමණක් බවයි. 

නමුත් එම තීරණය දෝනිගේ ජීවිතයේ මෙන්ම ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ ද නව පරිච්ඡේදයක් ආරම්භ කළ එකක් වූයේ ඔහු කැපී පෙනෙන අයුරින් කණ්ඩායමට නායකත්වය දෙමින් කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ නිසාය. 

නායකයා ලෙස තමාගේ පළමු තරගාවලියේ දී දෝනි පෙන්නුම් කළේ ක්‍රීඩකයන්ගේ කීර්තිනාමය ඔහුට එතරම් වැදගත් නොවන බවත් පීඩන අවස්ථාවන්හිදී දැඩි තීරණ ලබා ගැනීමට ඔහු සූදානම් බවත්ය. එම තරගාවලියේ දී තරුණ ක්‍රීඩකයන් පිරිසක් සාර්ථක ලෙසින් මෙහෙයවූ දෝනිගේ නිර්භීත හා නව්‍යකරණයෙන් යුක්ත වූ තීරණ තරගාවලිය පුරාවටම ප්‍රේක්ෂකයන්ගේ හා විචාරකයන්ගේ පැසසුමට ලක් වූ අතර අවසන් පූර්ව තරගයේ දී ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව සහ අවසාන මහා තරගයේ දී තම දැවැන්තම ප්‍රතිවාදීන් වන පාකිස්තානයට එරෙහිව අවසන් පන්දුවාරය යැවීම සඳහා නවක ක්‍රීඩක ජොගින්දර් ෂර්මාට භාර දීම මේ තීරණ අතරින් වඩාත් කතා බහට ලක් විය. 

එහි දී ඔහු තරගාවලියේ තම හොඳම පන්දු යවන්නා වූ ආර්.පී. සිං අවසන් පන්දුවාරයට පෙර පන්දුවාරය යැවීම සඳහා යොදා ගනිමින් එම පන්දුවාරයට වැඩි ලකුණු ගණනක් ලබා නොදී එමගින් පිතිකරුවන්ට පීඩනය ඇති කර අවසන් පන්දුවාරය ජෝගින්දර්ට ලබා දුන් අතර ඇතිවූ තිබූ පීඩනය නිසාම ජොගින්දර් ඉදිරියේ ලකුණු රැස් කිරීමට පිතිකරුවන්ට එතරම් හැකියාවක් ලැබුණේ නැත. 

අවසන් මහා තරගයේ දී බොහෝ විචාරකයන් විසින් අවසන් පන්දුවාරය යැවීමට හර්බජාන් සිං යොදාගත යුතු බව පැවසුවද දෝනි තීරණය කළේ පන්දුව ජොගින්දර්ට ලබා දීමටය. එහි දී අවසන් පූර්ව තරගයේ ලද අත්දැකීම් ද මනා කොට ප්‍රයෝජනයට ගනිමින් එතෙක් වේලා ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි මිස්බා උල් හක්ව අනවශ්‍ය පහරක් වෙත යොමු කරවා ගැනීමට ජොගින්දර් සමත් වූ අතර ලෝක කුසලානය ඉන්දියාවට හිමි වූයේ දෝනි ගත් තීරණය නිවැරදි බව ලෝකයටම ප්‍රකට කරවමිනි. එය 1985 පන්දුවාර 50 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ඉන්දියාවේ විශාලතම ක්‍රිකට් ජයග්‍රහණයයි.

ඉන්පසු ඔහු 2007 සැප්තැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 7කින් යුත් එක්දින තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය එක්දින නායකයා බවට පත්විය.

2008 නොවැම්බරයේ නාග්පූර් හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තුන්වන ටෙස්ට් තරගයේ දී එවකට කණ්ඩායමේ නායකත්වය දැරූ අනිල් කුම්බ්ලේ තුවාල ලැබීමෙන් පසුව ඔහු ටෙස්ට් දිවියෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟ සිව්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දී දෝනි ඉන්දියාවේ පූර්ණ කාලීන ටෙස්ට් නායකයා බවට පත් විය. නමුත් ඉන් පෙර අවස්ථා දෙකක දී එනම් 2008 සහ 2009 දී පිළිවෙළින් දකුණු අප්‍රිකාවට හා ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔහු ඉන්දියා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරා තිබුණි.

“මහා” නොහොත් දෙවන මැක්ග්‍රාත්

අන්තර්ජාතික ක්‍රිකට් විචාරකයන් ඔහුව හැඳින්වූයේ එලෙසින් ය. ඒ ඔහු ජාත්‍යන්තර පිටියට…

දෝනිගේ නායකත්වය යටතේ ඉන්දීය එක්දින මෙන්ම ටෙස්ට් කණ්ඩායම ද ලෝක ක්‍රිකට් කරළිය තුළ නොනැවතී ඉදිරියට ගමන් කිරීමට සමත් වූහ. 2009 දෙසැම්බරයේ දී අයි. සී. සී. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව අංක 1 ස්ථානයට පත්වූයේ දෝනිගේ නායකත්වය යටතේ ය. 

මේ අතරතුර ආරම්භ වූ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය දෝනිගේ දස්කම් තවදුරටත් ඔසවා තැබීමට ඉවහල් වූ අතර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත් වඩාත්ම මිල අධික ක්‍රීඩකයා වූයේ දෝනි ය. එම මිල දී ගැනීමට උපරිම සාධාරණයක් ඉටු කරමින් 2010 සහ 2011 වර්ෂවල දී චෙන්නායි කණ්ඩායමට තරගාවලි ශූරතාව දිනා ගැනීමට නායකත්වය දෙන්නට දෝනිට හැකි විය. එසේම දෝනිගේ නායකත්වයෙන් යුත් සුපර් කිංග්ස් කණ්ඩායම 2010 චැම්පියන්ස් ලීග් ශූරතාවය ද ජයග්‍රහණය කරන්නට සමත් විය.

දෝනිගේ වෘත්තීය ජීවිතයේ විශාලතම ජයග්‍රහණය ඔහු අත්කර ගත්තේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වීමෙනි.

අර්ධ අවසන් පූර්ව වටයේ දී එවකට ශූරයන් වූ ඕස්ට්‍රේලියාව පරාජය කිරීමෙන් පසු සත්කාරක ඉන්දියාව 2011 ICC ලෝක කුසලානය දිනා ගැනීමේ සටනේ ඉදිරියටම පැමිණීමට සමත් විය. කෙසේ වෙතත්, පාකිස්තානයට එරෙහි අවසන් පූර්ව තරගය ඔවුන්ට තරමක් අභියෝගාත්මක එකක් වූ අතර එහි දී බටහිර ඉන්දීය කොදෙව් හා ඕස්ට්‍රේලියාවට එරෙහිව හොඳින් පන්දු යැවූ රවිචන්ද්‍රන් අශ්වින් විවේක ගන්වා පාකිස්තාන තරගයට අෂිෂ් නේරා යොදාගැනීමට දෝනි තීරණය කරන ලදී.

එහි දී ඉන් පෙර දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේ අසාර්ථක අවසන් පන්දුවාරයක් යැවීම නිසා බොහෝ දෙනෙකුගේ දෝෂාරෝපන එල්ල වී තිබුණ නේරාව අශ්වින් වෙනුවට යොදා ගැනීම විචාරකයන් අනුමත කළේ නැත. විශේෂයෙන්ම ඒ මොහොතේ අශ්වින් හොඳින් පන්දු යවමින් සිටි නිසා මේ වෙනස සුදුසු නොවන බව බොහෝ දෙනා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසා දෝනිට එල්ල වූයේ සුළුපටු පීඩනයක් නොවේ. යම් හෙයකින් එම තරගයෙන් ඉන්දියාව පරාජයට පත් වුවහොත් එහි සම්පූර්ණ වගකීම දෝනි මත පටවන්නට බොහෝ දෙනා බලා සිටි බව නොරහසකි.

නමුත් බොහෝ දෙනෙක් පුදුමයට පත් කරමින් එම තරගයේ දී ලකුණු 33කට කඩුලු 2ක් ලබා ගෙන ඉන්දියාවේ ජයග්‍රහණය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට නේරා  සමත් විය. එහි දී නැවත වාරයක් තමාගේ ක්‍රිකට් දැනුම අනෙක් පුද්ගලයන්ට වඩා ඉහළ මට්ටමක තිබෙන බව දෝනි පෙන්වා දුන්නේය.

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙන විට ඉන්දීය කණ්ඩායමේ හොඳින්ම ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයා වූයේ යුවරාජ් සිං ය. නමුත් ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව ලකුණු 274කට සීමා කරමින් ලකුණු 275ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දීය කණ්ඩායමේ තුන් වැනි කඩුල්ල ලකුණු 114 දී බිඳ වැටීමත් සමඟ ඊළඟට පන්දුවට පහර දීමට නියමිතව තිබූ යුවරාජ් වෙනුවට තමා පිටියට පැමිණිය යුතු බව දෝනි තීරණය කරන ලදී. 

මෙම තීරණයෙන් දෝනි සතු වූ ආත්ම විශ්වාසය ගැන අදහසක් ලබා ගත හැකිය. තරගාවලිය පුරාවටම අසාර්ථක වූ දෝනි අවසන් මහා තරගයක එල්ල වන පීඩනය ද දරාගෙන එක් පසෙකින් කඩුල්ල ආරක්ෂා කරගෙන විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 79ක දී නොදැවී ලකුණු 91ක් ලබාගෙන ලෝක කුසලානය ඉන්දීය කණ්ඩායමට ලබා දීමට සමත් වූ බැවිනි. අවසන් මහා තරගයේ වීරයා සම්මානය ද තමා සතු කර ගනිමිනි. එහි දී තරගය ජයග්‍රහණය කරවීමට ඔහු ලෝන්ග් ඔන් කලාපයට ඉහළින් ඇදී යන සේ එල්ල කළ දැවැන්ත හයේ පහර එම තරගය නැරඹූ කිසිදු ප්‍රේක්ෂකයෙකුට අමතක කළ හැකි පහරක් නොවේ.  

ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ඔහු මෙතෙක් ක්‍රීඩා කළ හොඳම නායකයා වන්නේ දෝනි බව ප්‍රකාශ කිරීමත් සමඟ දෝනි වෙත ගලා ආ පැසසුම් දෙගුණ තෙගුන විය. 

එම ජයග්‍රහණයෙන් නොනැවතුන දෝනි 2013 වසරේ දී තවත් තරුණ කණ්ඩායමක් සමඟින් ICC චැම්පියන්ස් කුසලානය දිනා ගැනීමට සමත් විය. මෙහි විශේෂත්වය වූයේ ඔහු මේ දස්කම සිදු කළේ එංගලන්තයේ දී වීමයි. එම කුසලානය ජය ගැනීමෙන් පසු දෝනි ලෝක විස්සයි 20, පන්දුවාර 50 ලෝක කුසලානය සහ චැම්පියන්ස් කුසලානය යන කුසලාන ත්‍රිත්වයම දිනා ගත් ලොව පළමු සහ එකම නායකයා බවට පත් වීමට සමත් විය.

ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ සෙයින් ආදරය කරන ප්‍රේක්ෂකයන් සිටිනා ඉන්දියාව වැනි රටක ක්‍රිකට් ක්‍රීඩකයින්ව දෙවිවරුන් ලෙස ඇදහීම පවා දැකිය හැකිය. නමුත් එවැනි ප්‍රේක්ෂකයන් තරග පරාජය වන විට ක්‍රීඩකයන්ට සලකන ආකාරය ද අප රූපවාහිනී තිර මතින් දැක තිබේ. 

එම නිසා ඉන්දියාව වැනි රටක ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. මක් නිසාද යත් ඉන්දියාව ක්‍රීඩා කරන තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව අතිමහත් වීම සහ ඒ නිසාම ඇතිවන පීඩනය සුළුපටු නොවන නිසාය.

නමුත් එම පීඩනය ඉදිරියේ සාර්ථක වූ විශිෂ්ටතම ඉන්දීය නායකයා “කැප්ටන්-කූල්” ලෙසින් හඳුන්වන මහේන්ද්‍ර සිං දෝනි ය. 

බිහාර් ප්‍රාන්තයේ රන්චි නම් කුඩා ග්‍රාමයෙහි ජන්ම ලාභය ලැබූ දෝනි වැන්නෙකු ලෝකයක් ආදරය කරනා ක්‍රිකට් තරුවක් බවට පත්වීම සැබැවින්ම යොවුන් ක්‍රීඩකයන් හට මහත් අභිප්‍රේණයක් වන බවට සැකයක් නොමැත. දෝනිගේ ජීවිත කතාව චිත්‍රපටයකට ද නගා ඇති අතර එය නැරඹීමේ දී දෝනි සතුවන අසාමාන්‍ය ආත්ම විශ්වාසය ඔහුව මේ තත්ත්වයට රැගෙනවිත් ඇති බව අවබෝධ කරගත හැක. 

බිහාර් ප්‍රාන්තයේ දුම්රිය ප්‍රවේශ පත්‍ර පරීක්ෂාකරන්නෙකු වූ දෝනි ලෝක කුසලාන දෙකක් සහ අයි.සී.සී චැම්පියන්ස් ශූරතාවයක් දිනා ගත් නායකයෙකු වශයෙන් ඉතිහාසයට එක් වීම දෛවෝපගතය. නමුත් ඒ ගමන් මගේ දෝනි සිදු කළ අප්‍රමාණ කැපකිරීම් නොවන්නට මෙවැනි ජයග්‍රහණ ඔහුට නොලැබී යන්නට බොහෝ සෙයින් ඉඩ තිබුණි.

ඔබත් යොවුන් ක්‍රීඩකයෙක් නම්, පළමුකොට ඔබ ඔබව විශ්වාස කළ යුතුය. ඔබේ හැකියාව පිළිබඳව ඔබට නිවැරදි තක්සේරුවක් හා ඒ පිළිබඳව විශ්වාසයක් තිබිය යුතුය. එම විශ්වාසය ඇතිකරගෙන ඔබට ලැබෙන අවස්ථාවන්වල දී ඔබට ඔබේ 100 %ක උපරිමය ලබාදිය හැකිනම් ඔබටත් තරුවක් වීම සිහිනයක් පමණක් නොවනු ඇත. දෝනිගෙන් අපට ඉගෙනීමට ඇත්තේ එයයි.

Image Credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<