පසුබසින කණ්ඩායමේ පිහිටට ක්‍රීඩා ඇමතිගෙන් වචනයක්

1895
Minister Dayasiri Jayasekara

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැනට පත්ව සිටින කණගාටුදායක තත්වය හේතුවෙන් ඔවුන්ට සෑම කෙනෙකුගෙන්ම පාහේ හිමිවන්නේ සතුටු විය හැකි ප්‍රතිචාරයන් නම් නොවේ. එහෙත් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් කණ්ඩායම පහත නොහෙලා අදහස් දක්වන්නට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා වගබලාගත්තේය.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 3-2ක් වශයෙන් එක්දින තරගාවලිය පරාජය වීමෙන් පසු ඉන්දියාවට එරෙහිව 3-0ක් වශයෙන් ටෙස්ට් තරගාවලියක් පරාජය වන්නටද ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ සමඟින් ක්‍රිකට්ලෝලීන්ගේ අප්‍රසාදයට පත්වීමට ක්‍රිකට් කණ්ඩායමට සිදුවී ඇතත් එළඹෙන ඉන්දියා – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගනු ලැබිණි.

ICC නීති රීති වලට අනුව දේශපාලක කාරකාදීන් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීම කළ නොයුත්තක් වූවත් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ ප්‍රශ්න කිරීම නිසා අමාත්‍යවරයාට පසුගිය මාස කිහිපය පුරාවටම නොයෙක් දොස්වලට මුහුණ පෑමට සිදුවිය. එහෙත් ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධවලට ලක්වීම නොනැවතුණු අතර තරගවලින්ද පරාජය වීම සුලබ කරුණක් වන්නට විය.

ඊයේ පැවති මාධ්‍ය හමුවේදී වත්මන් ක්‍රිකට් තත්වය ගැන මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. එහිදී ඔහු පැවසුවේ පසුගිය වසර තුළදී මෙන් අභාග්‍යසම්පන්න පරාජයන්වලට ලක්වීම වළක්වාගැනීම සඳහා මේ වන විටත් ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවයි. එමෙන්ම ක්‍රීඩකයන් සහ කළමනාකරුවන් තෝරාගැනීමේදී අනුගමනය කළ පටිපාටීන් මොනවා දැයි තමන් වාර්තාවක් ඉල්ලා ඇති බවද ඔහු කීය.

නවක ක්‍රීඩකයන් තෝරා ගැනීම පිළිබඳ ඔහු පැවසුවේ ක්‍රීඩකයන්ගේ අඩුපාඩුවක් නැති බවත් ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ගේ දස්කම්වල පහළ බැසීමක් පමණක් සිදුවී ඇති බවත් ය. පසුගියදා අවසන් වූ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඊට වඩා හොඳ කණ්ඩායමක් තෝරාගැනීමට හැකියාවක් නොතිබූ බවත් ඔහු පැවසුවේය.

නමුත් මානසික උපදේශකවරයෙක් පත්කොට ක්‍රීඩකයන්ගේ කඩාවැටුණු මානසිකත්වය වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් දියත් කළ යුතු බවයි ඔහු පැවසුවේ. ඉන්දියාව දැනට සිටින ශක්තිමත් කණ්ඩායමක් වීම හේතුවෙන් අවසන් වූ තරගාවලිය පදනම් කොටගෙන කණ්ඩායම විවේචනය කිරීම නුසුදුසු බවත් ඔහු පැවසුවේය.

කණ්ඩායමේ පුහුණු නිලධාරීන් සම්බන්ධ දුර්වලතාවයක් පවතින බව ඔහු සඳහන් කළේ පසුගිය කාලය පුරාවටම පුහුණුකරුවන් එකිනෙකා වෙනස් වීම ගැන සිහිකරමින්. ඔවුන්ව කණ්ඩායමක් නිර්මාණය කළ හැකි කාලයක් දක්වා සේවයෙහි යෙදවිය යුතු බවද ඔහු පැවසුවේය. සිදුවූ ඉක්මන් වෙනස්කම් වල පදනම පිළිබඳවත් තමාට ලැබෙන වාර්තාවේ සඳහන් වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (16) සඳහන් කළේය.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට