වෙළඳසේවා ‘Futsal’ ශූරතාව අමානා බැංකුවට

110

3 වැනි වරට පවත්වනු ලැබූ වෙළඳසේවා ‘Futsal’ තරගාවලිය පසුගිය සෙනසුරාදා (29) කොළඹ CR&FC ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූයේ අමානා බැංකු කණ්ඩායම එහි ශූරතා කුසලානය ජයග්‍රහණය කරමිනි.

ශ්‍රී ලංකා වෙළඳසේවා පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය 5 සාමාජික තරගාවලියක් ලෙස පැවති අතර ඒ සඳහා කණ්ඩායම් 24ක් කාණ්ඩ 8ක් යටතේ එක්වූහ. 

ශූරතා කුසලානය 

අවසන් මහා තරගයේ දී Expolanka ‘A’ කණ්ඩායම දෙවන අර්ධයේ දී දියත් කළ පෙරළිකාර ක්‍රීඩා රටාව මැඩලමින් දඬුවම් පහර 5-4ක් ලෙස මෙම තරගය ජයග්‍රහණය කළ අමානා බැංකු කණ්ඩායම තරගාවලියේ ශූරතා කුසලානය දිනා ගන්නට සමත් විය. 

අමානා බැංකු ක්‍රීඩකයින් තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පළමු අර්ධයේ දී ගෝල 3ක් වාර්තා කරගන්නට සමත් වූ අතර ඊට ප්‍රතිචාර ලෙස Expolanka ‘A’ ක්‍රීඩකයින් එහි දී වාර්තා කරගැනීමට සමත් වූයේ එක් ගෝලයක් පමණි. 

කෙසේ නමුත් Expolanka ‘A’ ක්‍රීඩකයින් දෙවන අර්ධයේ දී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝල 2ක් වාර්තා කරගනිද්දී ප්‍රතිවාදී අමානා බැංකු ක්‍රීඩකයින් එහි දී කිසිඳු ගෝලයක් වාර්තා කරගැනීමට සමත් නොවීමත් සමඟ තරගයේ නියමිත කාලය අවසානයේ කණ්ඩායම් දෙකම ගෝල 3 බැගින් ලබා සිටින්නට විය. 

ඒ අනුව තරගයේ තීරණය දඬුවම් පහර වටය වෙත යොමු වූ අතර එහි දී එය දඬුවම් පහර 5-4ක් ලෙස ජයග්‍රහණය කළ අමානා බැංකු ක්‍රීඩකයින් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගනිමින් තරගාවලියේ ශූරතා කුසලානය දිනා ගන්නට සමත් විය. 

මොහොමඩ් ශමීල්, මොහොමඩ් සාජිඩ් සහ එස්. ඒ. රහුමාන් අමානා බැංකු කණ්ඩායම වෙනුවෙන් එහි දී ගෝල වාර්තා කරගත් අතර Expolanka ‘A’ කණ්ඩායම වෙනුවෙන් සර්වාන් ජොහාර් ගෝල 2කුත්, නිරාන් කණිෂ්ක එක් ගෝලයකුත් වාර්තා කරගන්නට සමත් වූහ. 

සර්වාන් එහි දී තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලබද්දී තරගාවලියේ දක්‍ෂතම ගෝල රකින්නාට හිමි සම්මානය අමානා බැංකු කණ්ඩායමේ මොහොමඩ් සිදීක් විසින් දිනා ගනු ලැබීය. 

අමානා බැංකු ක්‍රීඩකයින් අර්ධ අවසන් පූර්ව වටයේ දී Expolanka ‘B’ කණ්ඩායම ගෝල 1-0ක් ලෙසත්, අවසන් පූර්ව වටයේ දී WNS Golbal කණ්ඩායම ගෝල 2-0ක් ලෙසත් පරාජයට පත්කරමින් අවසන් මහා තරගයේ ස්ථානය වෙන්කර ගන්නට සමත් වූ අතර Expolanka ‘A’ ක්‍රීඩකයින් ඒ සඳහා සුදුසුකම් ලබාගත්තේ පිළිවෙළින් Dialog Axiata කණ්ඩායම ගෝල 1-0ක් ලෙසත් John Keells කණ්ඩායම ගෝල 2-1ක් ලෙසත් පරාජයට පත්කරමිනි. 

පළඟ ශූරතාවය

John Keells සහ WNS Global අතර පැවති මෙහි අවසන් මහා තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ජයග්‍රහණය කළ John Keells ක්‍රීඩකයින් තරගාවලියේ පළඟ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. 

මෙම අංශයේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ John Keells කණ්ඩායමේ චලන චමීර අවසන් මහා තරගයේ දී ගෝල 2කුත්, ඉන්දීවර උදාර සහ උදාර ධනංජය විසින් එක් ගෝලය බැගිනුත් වාර්තා කරගනිද්දී WNS Global වෙනුවෙන් අජේ ලක්‍ෂමන්, මොහොමඩ් සියාන් සහ බ්‍රයන් රිකාඩෝ ගෝලය බැගින් වාර්තා කරගනු ලැබූහ. 

එහි හොඳම ගෝල රකින්නාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ WNS Global ක්‍රීඩක අජේ ලක්‍ෂමන් විසිනි. 

බඳුන ශූරතාවය

මෙහි අවසන් මහා තරගයේ දී MAS Holdings කණ්ඩායම ගෝල 0-5ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කළ London Stock Exchange Group (LSEG) ‘Tech’ කණ්ඩායම තරගාවලියේ බඳුන ශූරතාවය දිනා ගන්නට සමත් විය. 

එම අංශයේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත් LSEG ‘Tech’ නායක එහි දී ගෝල ත්‍රිත්වයක් ද වාර්තා කරගන්නට සමත් වූ අතර එම කණ්ඩායමේම දෙව්මාල් ඇන්සිටස් එහි දක්‍ෂතම ගෝල රකින්නාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<