වෙළඳසේවා ක්‍රිකට් ශූරයින් ලෙස ටීජේ ලංකා සමාගම කිරුළු පලඳියි!

1512

ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවාර තරගාවලි අතුරින් ප්‍රධාන තැනක් උසුලන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ 25 වැනි දිගහැරුම අද (29) නිමාව දුටුවේ, ටීජේ ලංකා සමාගමට ශූරතාවය හිමිකර දෙමිනි.

එහි අවසන් මහා තරගයේ දී ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව ඔවුන් හමුවේ ලකුණු 82කින් පරාජයට පත්වූයේ LB ෆිනෑන්ස් කණ්ඩායමයි. අද අවසන් මහා තරගයේ දී සචිත්‍ර සේනානායක, ශාලික කරුණානායක සහ ලසිත් මාලිංග දැක්වූ සුපිරි දස්කම් හොඳින් කැපී පෙනුණි.

වෙළඳසේවා කඩුලු සංග්‍රාමයේ රණ ශූරයෝ කවුරුන් ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් බිමේ පෙරළිකාරයන් සහ කෝඩුකාරයන් තම බලය හා ජවය එකට එක්කොට සටන් වදින වෙළඳසේවා A කාණ්ඩයේ ක්‍රිකට් …

රාත්‍රී කාලය මුළුල්ලේ ඇද වැටුණු වර්ෂාව නිසා අද තරගය පමාවී ආරම්භ කිරීමට සංවිධායකයින්ට සිදුවුණු අතර එක් ඉනිමක් පන්දුවාර 42කට සීමා කිරීමට ද තරග තීරකවරයා පියවර ගත්තේය. එහි දී කාසියේ වාසිය දිනාගත් LB ෆිනෑන්ස් නායක ලක්ෂාන් රොද්‍රිගෝ තීරණය කළේ ප්‍රතිවාදීන්ට මුලින් පන්දුවට පහර දීමට ඉඩ සැලසීම වඩාත් වාසි සහගත වනු ඇති බවයි. එම සිතුවිල්ල නිවැරදි බවට සාක්ෂි සපයමින් ටීජේ ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 6ම බිඳ වැටුණේ ලකුණු 116ක් පමණක් ලකුණු පුවරුවට එකතු වෙද්දීයි.

තම කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු මෙන්ම වෙළඳසේවා කුසලානය ද අභියෝගයකට ලක්වුණු මෙම අවස්ථාවේ දී පිටියේ එක්වුනේ ශාලික කරුණානායක සහ සචිත්‍ර සේනානායකයි. ඔවුන් දෙදෙනා සත්වැනි කඩුල්ල වෙනුවෙන් එක්කළ ලකුණු 101ක සුපිරි සබඳතාවය මෙම තරගය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්විය. එය වචනයේ පරිසමාප්ත අරුතින්ම සුපිරි සබඳතාවයක් බවට පත්වූයේ සියලු අපේක්ෂාවන් බිඳ වැටී තිබුණු මොහොතක ඔවුන් දෙදෙනා ගොඩ නැගුවේ වේගවත්, ධනාත්මක සබඳතාවයක් වන බැවිනි.

සිංහ පෝතකයින් කොදෙව් බිමේ ජය කෙහෙලි නංවයි

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා …

ඒ වෙනුවෙන් ආරම්භය ගෙන දුන් ශාලික කරුණානායක පන්දු 40කට පමණක් මුහුණ දෙමින් ලකුණු 68ක් රැස්කර ගත්තේ LB ෆිනෑන්ස් කණ්ඩායමේ ජයග්‍රාහී රිද්මය සම්පූර්ණයෙන්ම බිඳ දමමිනි. පිටියට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් මෙන්ම ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව තරගය නැරඹූ ප්‍රේක්ෂකයින් ද අමන්දානන්දයට පත්කළ මෙම විශිෂ්ට ප්‍රහාරය හයේ පහර 8කින් සහ එක් හතරේ පහරකින් හැඩවිය. කණ්ඩායමේ බර ඔහුට පමණක් තනිව ඉසිලීමට ඉඩ නොදුන් සචිත්‍ර සේනානායක ද පන්දු 45කින් ලකුණු 67ක් රැස්කර ගත්තේ පන්දුව මෙන්ම ක්‍රිකට් පිත්ත ද තමන්ට එක සේ හුරු බව පෙන්වා දෙමිනි.

ඒ අනුව ලකුණු 200කටත් අඩුවෙන් දැවී යන්නට තිබූ ටීජේ ලංකා සමාගමට පන්දුවාර 38යි පන්දු 4කදී ලකුණු 266ක් කරා යාමට අවස්ථාව උදාවිය. එහි දී LB ෆිනෑන්ස් කණ්ඩායම අතිරේක ලකුණු 21ක් ලබා දීම ද ටීජේ ලංකා සමාගමට අමතර වාසියක් විය.

පන්දු යැවීමේ දී, අවසන් පූර්ව තරගයේ දී සුපිරි පන්දුවාරය යවමින් ප්‍රබල MAS යුනිචෙලා කණ්ඩායම ලකුණු 2කට සීමා කළ සහන් ආරච්චිගේ, අද කඩුලු 3ක් බිඳ දැමීමට සමත් විය. මීට අමතරව චරිත් සුදාරක ලකුණු 39කට කඩුලු 2ක් බිඳ දැමුවේ අවසන් තරගය දක්වාම තම දායකත්වය LB ෆිනෑන්ස් කණ්ඩායමට ලබා දෙමිනි.

ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 42කදී ලකුණු 267ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය LB ෆිනෑන්ස් පිතිකරුවන්ට පෙළහර පෑමට ටීජේ ලංකා පන්දු යවන්නන්ගෙන් ඉඩක් ලැබුණේ නැත. ඒ අනුව LB ෆිනෑන්ස් කණ්ඩායමේ කඩුලු ඔවුන් එකින් එක දවා ගත්තේ ජයග්‍රහණය සඳහා වූ පිය ගැටපෙළේ පියවරෙන් පියවර ඉදිරියට ඇදෙමිනි. මුල් කඩුලු 2 ලකුණු 15කට බිඳ වැටුණු මොහොතේ දී කුසල් මෙන්ඩිස් (24) සහ සහන් ආරච්චිගේ (26) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවක් ගොඩ නැගුවද අවශ්‍ය ලකුණු වේගය පවත්වා ගැනීම සඳහා විශාල පහරවල් කරා යොමු වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනාටම පිටිය හැර යන්නට සිදු විය.

LB ෆිනෑන්ස් ඉනිමේ පන්දුවාර 25ක් නිමා වෙද්දී වෙළඳසේවා ක්‍රීඩාංගණයට සතර දෙසින් අඳුර ගලා ආ බැවින් තරගය නතර කිරීමට තරග තීරකවරයාට සිදු විය. ඒ වන විට LB ෆිනෑන්ස් සමාගම ලබා සිටියේ කඩුලු 7ක් දැවී ලකුණු 125ක් පමණි. ඒ අනුව ඩක්වර්ත්-ලුවිස් න්‍යාය මගින් ටීජේ ලංකා කණ්ඩායමට ලකුණු 82ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි විය. පන්දු යැවීමේ දී අර්ධ ශතකයක් වාර්තා කළ පිත්ත බිම තබා, පන්දුව අතට ගත් සචිත්‍ර සේනානායක සහ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කඩුලු 3 බැගින් දඩයම් කළහ.

පාකිස්තානයේ දී ශ්‍රී ලංකා පිළේ ආරක්ෂාවට විසි දහසක්!

අද (29) ලාහෝර් නුවර දී පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන තෙවැනි විස්සයි විස්ස තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ නිලධාරීන්ට …

ඒ අනුව මෙවර වෙළඳසේවා ක්‍රිකට් තරගාවලිය නිමාව දුටුවේ ඇඟලුම් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ නාමයක් වන ටීජේ ලංකා සමාගමට ශූරතා කුසලානය හිමිකර දෙමිනි. ඔවුන් මෙවර වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියට A කාණ්ඩය යටතේ පිවිසුණු එකම පිට පළාත් කණ්ඩායමයි. 2006 වසරේ දී වෙළඳසේවා තරගාවලිය හා සම්බන්ධ වූ ඔවුන්ට විවිධ බාධක මැද මහත් කැපවීමකින් සහ අධිෂ්ඨානයකින් යුතුව තරග වදිමින් ලබාගත් විශිෂ්ට ප්‍රතිඵලය භුක්ති විඳින්නට අද අවස්ථාව උදා විය.

ටීජේ ලංකා සමාගම – සියල්ලන්ම දැවී ලකුණු 266 (පන්දුවාර 38.4): ශාලික කරුණානායක 68, සචිත්‍ර සේනානායක 67, ඩිලාන් ජයලත් 51, සිතාර ගිම්හාන් 17, චලන ද සිල්වා 16, සහන් ආරච්චිගේ 3/53, චරිත් සුදාරක 2/39, රජීව වීරසිංහ 1/27.

LB ෆිනෑන්ස් සමාගම – කඩුලු 7ක් දැවී ලකුණු 125 (පන්දුවාර 25): සහන් ආරච්චිගේ 26, කුසල් මෙන්ඩිස් 24, ප්‍රියමාල් පෙරේරා 24*, අනුෂ්ක පෙරේරා 16, ලසිත් මාලිංග 3/22, සචිත්‍ර සේනානායක 3/35.

  • තරගයේ වීරයා – ශාලික කරුණානායක
  • තරගාවලියේ වීරයා – ටී.එම්. ඩිල්ශාන්
  • හොඳම පිතිකරු – සචිත්‍ර සේරසිංහ
  • හොඳම පන්දු යවන්නා – දුවිඳු තිලකරත්න

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න