බංග්ලාදේශ පිතිකරණ විශේෂඥයා ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවත් වෙයි

2487
McMillan

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ විශේෂඥ උපදේශක ක්‍රෙග් මැක්මිලන් ශ්‍රී ලංකා සංචාරයට සහභාගී නොවන බව වාර්තා වෙනවා.

හිටපු නවසීලන්ත පිතිකරු මැක්මිලන්, නීල් මැකෙන්සිගෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ විශේෂඥ උපදේශක තනතුර භාරගත්තා. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියේ ඔහුගේ පියාගේ හදිසි වියෝව නිසාවෙන් ඔහු ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට සහභාගී නොවන බවයි.

“ක්‍රෙග් අපිට දැනුම් දුන්නා සිය පියාගේ හදිසි වියෝව ගැන. ඔහු දැනුම් දුන්නා ඔහුට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ විශේෂඥ ලෙස ඉදිරි සංචාරයට සහභාගී වෙන්න නොහැකියි කියලා” බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිසාමුද්දීන් පසුගිය සෙනසුරාදා පවසා සිටියා.

“අපිට හොඳින් තේරෙනවා ඔහුගේ තත්වය. ක්‍රෙග් හා ඔහුගේ පවුලේ අය වෙනුවෙන් අපේ බලවත් ශෝකය අපි ප්‍රකාශ කරනවා” ඔහු පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

මැක්මිලන් හා ඩැනියෙල් විටෝරි හට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකාවට යෑමට පෙර බංගලාදේශයේ ඩකා වෙත පැමිණ කණ්ඩායම හා එක්වන ලෙසයි. මුලදී ඔවුන්ට කෙළින්ම ශ්‍රී ලංකාවටම පැමිණෙන ලෙස දැනුම් දී තිබුනත්, නිරෝධායන කටයුතුවලට බාධාවක් වීම වැළැක්වීම සඳහා ඔවුන්ට මුලින් බංග්ලාදේශය වෙත පැමිණෙන ලෙස පවසා තිබෙනවා. ශ්‍රී ලංකා – බංගලාදේශ තරගාවලිය පැවැත්වෙන තවමත් ස්ථිර වශයෙන්ම තහවුරු කර නැහැ.

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ජූලි – අගෝස්තු කාල සීමාවේ දී පැවැත්වීමට නියමිතව තිබුණු අතර COVID-19 වයිරස ව්‍යාප්තිය නිසා එම තරගාවලිය කල් දැමුණා. තරගාවලිය නැවත පවත්වන්නට තීරණය කළහොත් සැප්තැම්බර් 27 වැනිදා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පිටත්ව යන්නට නියමිත අතර පළමු ටෙස්ට් තරගය ඔක්තෝබර් 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලියට පෙර එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා සිට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් නේවාසික පුහුණු කඳවුරක් ද සංවිධානය කර තිබෙනවා.

CricBuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<