ඇතුගල්පුර සටනේ පළමු දිනයේ වැඩි වාසිය සාන්ත ආනාවන්ට

233
Maliyadewa v St. Anne's

කුරුණෑගල මලියදේව විදුහල සහ කුරුණෑගල සාන්ත ආනා විදුහල අතර 34 වන වරටත් පවත්වනු ලබන ඇතුගල්පුර සටනේ පළමු දිනය නිමාව දකින විට මලියදේව විදුහල සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 48ක් ලබා සිටියි. කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වේ.

ඇතුගල්පුර සටනට කුරුණෑගල සුදානම්

“ඇතුගල්පුර සටන” හෙවත් වයඹ පළාතේ ප්‍රධානතම මහා ක්‍රිකට් ගැටුම ආරම්භ වීමට හරියටම ඇත්තේ තවත් දිනක් පමණි. මෙම මහා ක්‍රිකට් තරගයෙන් රටට දායාද කල විශිෂ්ටතමයා “රංගන හේරත්” ය.

අද (17) උදෑසන කාසියේ වාසිය දිනා ගත් මලියදේව නායක දමිත් සිල්වා පළමුව පන්දුවට පහර දීමේ වාරය ප්‍රතිවාදී සාන්ත ආනාවන්ට භාර කළේය. ඒ අනුව ලකුණු රැස්කිරීමට පිටියට පැමිණි සාන්ත ආනා ආරම්භක පිතිකරු යුගලයේ විමුක්ති බණ්ඩාර ආබාධයකට ලක්වීමෙන් යලි ක්‍රීඩාගාරයට යන විට සාන්ත ආනාවන් ලකුණු 22ක් ලබා තිබුණි. ඉන් අනතුරුව පිටියට පිවිසි දිනෙත් චන්දිමාල්ට ද එක ලකුණකට වඩා ලබා ගැනීමට මානේල්ක ධර්මදාස ඉඩ ලබා දුන්නේ නැත. සාන්ත ආනා දෙවන කඩුල්ල ලෙස නායක වනිත වන්නිනායක බ්‍රයන් කරුණානායකගේ පන්දුවකට දැවී යන විට ඔහු ලබා සිටියේ ලකුණු 11ක් පමණයි. අනතුරුව  පුබුදු ගනේගම ලකුණු 34කට දැවී ගියේ කවීන් බණ්ඩාරගේ පන්දුවක් හමුවේය. ඉන්පසු ආරම්භක පිතිකරු විමුක්ති යලි පිටියට පිවිස රන්දීර් රණසිංහ සමඟ ගොඩනැගූ සාර්ථක සබඳතාවය නිමා වූයේ දිවා භෝජනයෙන් අනතුරුව සිව්වන කඩුල්ල ලෙස විමුක්ති බණ්ඩාර ලකුණු 27කට දැවී යාමෙන් අනතුරුවය.

මුළු ලකුණු 176 දී සචිත ජයසේකර ලකුණු 4කට සිය ඉනිම නිමා කලේ දමිත් සිල්වාගේ දඩයමට හසුවීමෙනි. සාන්ත ආනා කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා ශතකයට ලකුණු දෙකක් ඉතිරිව තිබිය දී ඉතා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ දමිත් සිල්වාගේ දක්ෂ පන්දු රැකීම හමුවේය. ඒ මොහොත වන විට මලියදේව කණ්ඩායමේ සියලුම පන්දු යවන්නන්ට ඔහු දිගට හරහට පහර දුන්නේ කිසිදු අනුකම්පාවකින් තොරවය. එම දර්ශනීය ඉනිම 4 පහර 13කින් වර්ණවත් කිරීමට ඔහුට හැකිවිය. ඉන් අනතුරුව 7 වන කඩුල්ල ලෙස කවිඳු රණසිංහ දැවී යන විට ඔහු ලකුණු 56ක් රැස්කර තිබුණි. ඒ සමඟම සාන්ත ආනා නායක වනිත වන්නිනායක ඔවුන්ගේ ඉනිම අත්හිටවූ අතර ඒ වන විට කඩුල්ලේ රැඳී සිටි තරින්ද විජේසිංහ ද නොදැවී ලකුණු 56ක් රැස් කර තිබුණි.

පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි මලියදේව ආරම්භක සබඳතාවයට එතරම් ආයුෂ නොතිබුණි. ලකුණු 23 දී ප්‍රථම කඩුල්ල ලෙස දිනන්ජය ප්‍රේමරත්න ලකුණු 11කට දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. ඉන් අනතුරුව දෙවන කඩුල්ල ලකුණු 44ක දී බිඳ වැටුණේ දිල්ශාන් කොල්ලුරේගේ ඉනිම ලකුණු 11කට අවසන් වීමෙනි. ඒ කවිඳු රණසිංහගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙනි. දිනය නිමා වන විට මලියදේව විදුහල සිය ප්‍රථම ඉනිමට කඩුලු දෙකක් බිඳවැටී ලකුණු 48ක් රැස් කර තිබුණි.

හෙට (18) තරගයේ දෙවන දිනයයි.

සාන්ත ආනා විදුහල පළමු ඉනිම කඩුලු 7 කට ලකුණු 307 ( පන්දුවාර 73.5): රන්දීර රණසිංහ 98, තරින්ද විජේසිංහ 56*, කවිඳු රණසිංහ 56, පුබුදු ගනේගම 34, කවීන් බණ්ඩාර 2/45 සහ දමිත් සිල්වා 2/97

මලියදේව විදුහල පළමු ඉනිම කඩුලු 2 කට 48 (පන්දුවාර 17.4): දිනන්ජය ප්‍රේමරත්න 11, දිල්ශාන් කොල්ලුරේ 11

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට