Moors සහ Panaduraත් Major Clubs T20 අවසන් පූර්ව වටයට

Major Clubs T20 Tournament 2025

16
Major Clubs T20 Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ 3 වැනි සහ 4 වැනි තරග අද (12) අවසන් වූවා. ඒ අනුව පැවැති 3 වැනි අර්ධ අවසන් පූර්ව තරගයේ දී Bloomfield C & AC කණ්ඩායමට පරාජයට පත් කළ Moors SC කණ්ඩායම ද සහ 4 වැනි අර්ධ අවසන් පූර්ව තරගයේ දී Colts SC කණ්ඩායම පරාජයට පත් කළ Panadura SC කණ්ඩායම ද අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

Moors SC සහ Bloomfield C & AC කණ්ඩායම් අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

o කාසියේ වාසිය – Bloomfield C & AC

කාසියේ වාසිය දිනාගත් Bloomfield C & AC නායකයාගේ තීරණය වූයේ පළමුවෙන් පන්දු රැකීමයි. ඒ අනුව ඔහු ප්‍රතිවාදී නායකයාට පළමුවෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළා. ඒ අනුව ආරම්භ වූ ඔවුන්ගේ ඉනිම සෙමින් එහෙත් ස්ථාවරව ගෙවී ගියා.

පළමු පන්දු 90 දී කඩුලු 5ක් දැවී ලකුණු 102ක් ලබා ගන්නා ඔවුන් ඊට පසුව යැවුණ පන්දු 30දී කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමින් ලකුණු 54ක් ලබා ගන්නවා.

Moors SC ඉනිම ඒ ලෙසින් ගොඩ ගැනීමේ දී ඔමේෂ් මෙන්ඩිස් පන්දු 19කට මුහුණ දෙමින් හතරේපහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා ද, ලසිත් අබේරත්න පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද සහ සදීර සමරවික්‍රම පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ද ලබා ගත්තා.

ඔවුන්ගේ දැවී යැම්වලින් අනතුරු ව පසු පෙළින් පිටියට එක් වූ නායක රමේෂ් මෙන්ඩිස් සහ ෂෙහාන් ප්‍රනාන්දු 6 වැනි කඩුල්ලට පන්දු 21කදී ලකුණු 40ක සබඳතාවක් ගොඩ නගනවා.

එහිදී ෂෙහාන් ප්‍රනාන්දු පන්දු 13කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද සහ රමේෂ් මෙන්ඩිස් ඉනිම අවසන් වන විට පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 20කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වුණා. ඊට අමතර ව ඒශාන් මාලිංග කඩුලු 2ක් ද, ලහිරු මදුසංක සහ කවීෂ පියුමාල් කඩුල්ල බැගින් ද දවා ගත්තා

ලකුණු 157ක හඹා යෑමේ ඉනිමක් වෙනුවෙන් පිටියට පිවිසි Bloomfield C & AC ක්‍රීඩකයෝ ඉනිම ආරම්භයේ දී ප්‍රවේගවත් ප්‍රවේශ‍යකට පිවිසිය ද මැද පෙළ වන විට Moors SC පන්දු යවන්නෝ තරගයේ පාලනය සියතට ගත්තා.

Bloomfield C & AC කණ්ඩායමේ සාර්ථක වූ එක ම පිතිකරු බවට පත් වූයේ රොන් චන්ද්‍රගුප්ත පමණයි. ඔහු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තා.

අනෙක් පිතිකරුවන් අතුරින් නායක නිපුන් කරුණානායක පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා ගත් අතර වෙනත් කිසිඳු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු අතරට පිවිසීමට Moors SC පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

ප්‍රතිවාදී ක්‍රීඩකයන් ඒ ලෙසින් පාලනය කරද්දී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත් අතර රමේෂ් මෙන්ඩිස් සහ ශිරාන් ප්‍රනාන්දු කඩුලු ද්විත්වය බැගින් ද මල්ෂ තරුපති කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Moors SC – කඩුලු 7ක් දැවී 156 (20.0) ඔමේෂ් මෙන්ඩිස් 18, ලසිත් අබේවික්‍රම 26, සදීර සමරවික්‍රම 24, රමේෂ් මෙන්ඩිස් නොදැවී 26, ෂෙහාන් ප්‍රනාන්දු 26, ඒශාන් මාලිංග 2/38, ජෙෆ්රි වැන්ඩර්සේ 3/20
  • Bloomfield C & AC – සියලුම දෙනා දැවී 115 (17.3) රොන් චන්ද්‍රගුප්ත 74, ශිරාන් ප්‍රනාන්දු 2/25, රමේෂ් මෙන්ඩිස් 2/14, ප්‍රවීන් ජයවික්‍රම 3/21

Moors SC කණ්ඩායමට ලකුණු 41ක දී ජයක්.

Colts CC සහ Panadura SC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී

o කාසියේ වාසිය – Panadura SC

කාසියේ වාසිය දිනා ගත් Panadura SC කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 8ක් දැවී ලකුණු 133ක් ලබා ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නිමේෂි විමුක්ති. ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා ගන්නවා.

ඊට අමතර ව නිසල තාරක පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 10කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව මුදිත ලක්ෂාන් ලකුණු 19කට කඩුලු 2ක් ද, ඩිල්ශාන් මදුශංක සහ කවිශ්ක අංජුල කඩුල්ල බැගින් ද ලබා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Colts CC කණ්ඩායමේ සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 99ක් පමණයි. එම ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 88ක් ලබා ගත්ත ද අවසන් කඩුලු 5 ලකුණු 11ක් තුළ දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වුණා.

Colts CC ඉනිම ඒ ලෙසින් අසරණ කිරිමේ දී 20 හැවිරිදි වියේ පසු වෙන පා දඟ පන්දු යවන විශේන් හැළඹගේ පන්දුවාර 3ක් පමණක් යවමින් ලකුණු 13කට කඩුලු 4ක් දවා ගන්නවා. ඊට අමතර ව සහන් මිහිර ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත් අතර නිමේෂ් විමුක්තිට ද කඩුල්ලක් හිමි වූවා.

Colts CC කණ්ඩාම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වූයේ ආරම්භක පිතිකරු සංගීත් කුරේ පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා. ඊට අමතර ව හිරුන ගාල්ලගේ පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Panadura SC– කඩුලු 8ක් දැවී 133 (20.0)නිසල තාරක 23, නිමේෂ් විමුක්ති 29, දිනිත් වෙල්ලාලගේ 3/10, මුදිත ලක්ෂාන් 2/19
  • Colts CC– සියලුම දෙනා දැවී 99 (16.4)සංගීත් කුරේ 32, හිරුණ ගාල්ලගේ 20, සහන් මිහිර 4/23, විශේන් හැළඹගේ 4/13

Panadura SC කණ්ඩායමට ලකුණු 34ක ජයක්.

හෙට (13) තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ වන අතර ඒ අනුව පැවැත්වෙන 1 වැනි අවසන් පූර්ව තරගය Panadura SC සහ NCC කණ්ඩායම් අතර දිවා කාලයේ දී ද සහ 2 වැනි අවසන් පූර්ව තරගය Moors SC සහ CCC අතර තරගය රාත්‍රී කාලයේ දී කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<