දෙවසරකට පසුව ලේටන් කුසලානය යළිත්

Boxing

160
Layton

80 වැනි වරටත් පැවැත්වෙන ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය මාර්තු 02, 03, 04 සහ 05 යන දිනවල රාජකීය MAS බොක්සිං අංගනයේ දී පැවැත්වීමට නියමිතයි. අදාළ දිනයන් තුළ දී දහවල් 2.00 සිට තරග පැවැත්වෙන බව ශ්‍රී ලංකා බොක්සිං සංගමය පවසනවා.

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 2019 වර්ෂයෙන් පසුවයි. රට තුළ පැවති කොවිඩ් අවදානම නිසා සටන් ක්‍රීඩා තරගාවලි පැවැත්වීමට නීති රෙගුලාසි පනවා තිබුණා. ඒ ක්‍රීඩකයන් මුහුණට මුහුණ සටන් වැදිය යුතු නිසයි.

2019 තරගාවලියේ දී යුධ හමුදා ක්‍රීඩා සමාජයේ සංජීව නුවන් ලේටන් කුසලාන හිමිකරගත්තා. ලේටන් කුසලාන හිමිකරගත් ක්‍රීඩිකාව වුනේ MAS යුනිචෙලා කණ්ඩායමේ කේ. හංසිකා.

ක්‍රීඩා සමාජ 14ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනකුට වඩා මෙවර තරගාවලියට එක්වෙතැයි බලාපොරොත්තු වනවා. මෙය 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය බොක්සිං තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ දෙවැනි වටය ලෙසත් සැලකෙන බව සඳහන්.

ජාත්‍යන්තර බොක්සිං සමුළුව විසින් නියම කරන ලද නව බරපන්ති මෙවර තරගාවලියට ඇතුළත් කොට තිබෙනවා. පිරිමි අංශයෙන් බර පන්ති 13ක් යටතේ තරග පැවැත්වෙන අතර කාන්තා අංශයේ බර පන්ති 12ක් යටතේ තරග පැවැත්වෙනවා. ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා අවසන් තරග පැවැත්වෙන දා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වනු ඇති.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<