ලොකු කුසල්ට ආබාධයක්; තෙවැනි එක්දින තරගයට අවිනිශ්චිතයි

1662

මහනුවර පල්ලකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙස අනිද්දා (17) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – එංගලන්ත තෙවන එක්දින ක්‍රිකට් තරගයට, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන කුසල් ජනිත් පෙරේරාගේ සහභාගිත්වය  අවිනිශ්චිත වී ඇති බව වාර්තා වේ. ඒ ඔහුගේ කලව ආශ්‍රිතව ආබාධයක් මතුව ඇති නිසාවෙනි.

2020 දිනන දක්ෂයින් සොයා යෑම මේ තරගාවලියේ අරමුණක් – හෂාන්

සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් හා තරුණ එක්දින ක්‍රිකට් තරග පහක් ඇතුළත් බංග්ලාදේශ…

“පසුගිය දා නිමා වූ දෙවන එක්දින ක්‍රිකට් තරගය අතරතුර ඔහුගේ කලව ආශ්‍රිතව පොඩි ඇදීමක් වෙලා තියෙනවා. ඔහු හෙට (16) MRI පරීක්ෂණයක් වෙත යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. එහි ප්‍රතිඵලය මත තමා තෙවැනි තරගයට කුසල් ජනිත් ක්‍රීඩා කරනවා ද, නැද්ද කියලා තීරණය කරන්නේ.” ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු චරිත සේනානායක මහතා ThePapare.com වෙත අද (15) පැවසීය.

අද (15) පැවැත්වූ පුහුණු සැසියට ද කුසල් ජනිත් සහභාගී වී නොමැති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞතික චිකිත්සක අජන්ත වත්තේගම මහතා සමඟ සිය ආබාධය සුව කරගැනීම පිණිස යම් යම් ක්‍රියාකාරකම් කිහිපයකම නිරත වී වූ බව ද සේනානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ThePapare.com වෙත පවසන ලදි.

දඹුල්ලේ දී පැවැත්වූ දෙවන එක්දින තරගයේ දී තිසර පෙරේරා හා ධනංජය ද සිල්වා එක්ව 6 වන කඩුල්ල වෙනුවෙන් සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් සිටිය දී තරගයට අනපේක්ෂිත ලෙස වර්ෂාවෙන් බාධා එල්ල විය. එහි දී නොදැවී ක්‍රීඩා කරමින් සිටි තිසර පන්දු 30ක දී ලකුණු 37ක් ලබාගෙන සිටියේය.

කුසල් ජනිත් පෙරේරා යම් ආකාරයකින් තෙවන එක්දින තරගයට ක්‍රීඩා නොකළහොත් ඒ වෙනුවට 23 හැවිරිදි දකුණතින් පිත්ත හසුරුවන ක්‍රීඩක සධීර සමරවික්‍රම කණ්ඩායමට ඇතුළත් කරනු ඇත. එසේම එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ලියාම් ඩෝසන් ද කොන්ද ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධ තත්වයක් නිසා තෙවන එක්දින තරගය වෙනුවෙන් ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට ජෝයි ඩෙන්ලි එංගලන්ත කණ්ඩායම සමඟ එක්වෙනු ඇත.

දෙරට අතර පැවති පළමු එක්දින තරගයට ද වර්ෂාවෙන් එල්ල වූ  බාධා නිසා අත්හැර දැමූ අතර දෙවන තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 31කින් ජය ගත් නිසා තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ සංචාරක එංගලන්ත කණ්ඩායමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<