රැන්ඩ්ල්ස් හිල් සෙබළුන් ඉදිරියේ ජෝසප් මෙහෙයුම අසාර්ථක වෙයි

159

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් එක් තීරණාත්මක තරගයක් කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී අද (05) දින නිමාව දුටුවේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාල කණ්ඩායමට ලකුණු 24 – 17ක විශිෂ්ට ජයක් අත්පත් කර දෙමිනි. ඔවුන් අතින් පරාජයට පත්වූයේ සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාල කණ්ඩායමයි. 

2020 ලීග් කුසලානයට මාන බලන රග්බි උරුමක්කාරයෝ

ශ්‍රී ලංකාවට රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය 2020 අන්තර් පාසල් ලීග් රග්බි…..

තරමක උණුසුම් කාළගුණ තත්වයක් යටතේ ආරම්භ වූ තරගයේ පළමු මිනිත්තු කිහිපය කණ්ඩායම් දෙකම උපයෝගී කර ගත්තේ තම ස්ථාවරත්වය ගොඩනඟා ගනිමින් ප්‍රතිවාදීන් වෙත පීඩනයක් එල්ල කිරීම සඳහා යි. දෙපිලේම ක්‍රීඩකයින් අතින් නොවිය යුතු ගණයේ සුළු අත්වැරදීම් කිහිපයක්ම සිදුවූ නිසාවෙන් ලකුණු රැස් කිරීමට තිබූ පහසු අවස්ථාවන් රැසක්ම ඔවුන් අතින් ගිලිහී ගියේය. 

කිංග්ස්වුඩ් ගිණුම ආරම්භ කරමින් තරගයේ රිද්මය වෙනත් මානයකට යොමු කළ අපූර්ව විජේසිංහ උත්සාහක දිනුමක් වාර්තා කළේ ජෝසප් ඉදිරිපෙළ ක්‍රීඩකයින් මොහොතකට නිරුත්තර කරමිනි. ප්‍රවර්තනය ද ගෝල කණු අතරින් යොමු කළ ඉෂාර කුරේ තම රාජකාරිය අකුරටම ඉටු කළේය. (ජෝසප් 00 – 07 කිංග්ස්වුඩ්) 

කිංග්ස්වුඩ් ආක්‍රමණ හමුවේ පසු නොබට ජෝසප් ක්‍රීඩකයින් ක්‍රමයෙන් ධවල රේඛාව අසලට පන්දුව රැගෙන ආවේ ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ ජවසම්පන්න ධාවනයන් උපයෝගී කර ගනිමිනි. මීටර් 5 රේඛාව ආසන්නයෙන් හිමි වූ Line Out අවස්ථාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගත් ජෝසප්වරුන් driving maul ආධාරයෙන් උත්සාහක දිනුමක් රැස්කළේ නවීන් මාරසිංහ ආරක්ෂිතව පන්දුව පතිත කිරීමත් සමඟිනි. කෙසේ නමුත් අමතර ලකුණු එක් කිරීමේ කාර්ය භාරය නිසියාකාරව ඉටු කිරීමට රශේන් ගුණවර්ධන අපොහසත් විය. (ජෝසප් 05 – 07 කිංග්ස්වුඩ්) 

කුළුඳුල් ලීග් කුසලානය නෙලාගන්නට වෙර දරණ මරදානේ සාන්තුවරුන්

පාසල් රග්බි පිටිය කලඹමින් ප්‍රබලයින් රැසක් බිම හෙළු පාසල් රග්බි පිටියේ නවමු රග්බි බලවේගය….

තරගයේ 18 වන මිනිත්තුවේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු ඉලක්ක කර ගනිමින් සිදුකළ අනතුරුදායක වැළැක්වීමක් නිසාවෙන් සහ 24 වන මිනිත්තුවේ දී විනිසුරු අවවාද කිරීම් නොසළකා හරිමින් තෙවන වරටත් ruck අවස්ථාවේ දී අනිසි ලෙස පන්දුව තම ග්‍රහණයට ගැනීමට වෙර දැරීම හේතුකොට ගෙන කිංග්ස්වුඩ් විද්‍යාලයේ ඉෂාර කුරේ සහ රජිත හෙට්ටිආරච්චි හට කහ කාඩ්පතකින් දඬුවම් කිරීමට විනිසුරු හසන්ත වෙරංග පියවර ගත්තේය. 

ක්‍රීඩකයින් දෙදෙනකුම පිටියෙන් ඉවත්ව යාමේ වාසිය තමන් දෙසට හරවා ගත් ජෝසප් ක්‍රීඩකයින්, ගොඩ නැඟීමේ වාරයන් කිහිපයක් උපයෝගී කර ගනිමින් කිංග්ස්වුඩ් ආරක්ෂක වළල්ල තැති ගැන්වූයේ ළඟ එන උත්සාහක දිනුමකට මාවත එළිපෙහෙළි කර ගනිමිනි. අලංකාර පාද චලනයන් කිහිපයක් උපයෝගී කර ගනිමින් ප්‍රතිවාදීන් මුලා කළ රශේන් ගුණවර්ධන ලකුණු 5 කින් ජෝසප් ලකුණු තීරුව වර්ණවත් කළේ තම කණ්ඩායම හට තරගයේ වැඩි ගෞරව හිමිකර දෙමිනි. (ජෝසප් 10 – 07 කිංග්ස්වුඩ්) 

කෙසේ නමුත් පළමු අර්ධය නිමා වීමට මත්තෙන් තරගය නැවතත් තමන් දෙසට යොමු කර ගත් රැන්ඩ්ල් හිල්ස් සෙබළුන් ඉදිරිපෙළ ක්‍රීඩක චේතිය බණ්ඩාරගේ සුරතින් තවත් ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කළේ තම ආධාරකරුවන්ගේ නොමඳ දිරිගැන්වීම් මධ්‍යයේය. (ජෝසප් 10 – 14 කිංග්ස්වුඩ්) 

පළමු අර්ධය :සාන්ත ජෝසප් විද්‍යාලය (2T) 10 – 14 (2T, 2C) කිංග්ස්වුඩ් විද්‍යාලය 

විවේක කාලයෙන් අනතුරුව තරගය ආරම්භ වී මිනිත්තු 3ක් ගත වීමටත් මත්තෙන් කිංග්ස්වුඩ් ආධිපත්‍යය නැවතත් හැව්ලොක් පිටිය පුරා පැතිර වීමට ඉරංග සඳරුවන් සමත් විය. රහුමාන් සහ දිනාල්ගේ දක්ෂ පන්දු හැසිරවීමට වටිනාකමක් එක් කරමින් සඳරුවන් එසේ තම කණ්ඩායමේ ලකුණු තත්වය ඉහළ නංවන විට ජෝසප් ක්‍රීඩකයින්ට නැවතත් තරගයට අවතීර්ණ වීමට තිබු පහසු අවස්ථාවන් කිහිපයක් ගිලිහී ගියේ ඔවුන්ගේ නොසැලකිලිමත්කම නිසාවෙනි. (ජෝසප් 10 – 19 කිංග්ස්වුඩ්) 

තරගයේ 56 වන මිනිත්තුවේ දී දිනාල් ඒකනායක සුපිරි ධාවනයක නිරත වෙමින් පන්දුව උත්සාහක දිනුම් රේඛාව අසලටම රැගෙන ඒමට සමත් වූ නමුත් ජෝසප් ක්‍රීඩක රුචිර ඉමන්ත එම ආක්‍රමණය මැඬ පවත්වාලමින් තම කණ්ඩායමට තරමක හෝ සැනසුම්දායක වටපිටාවක් සකසා දීමට සමත් විය. 

ජෝසප් ක්‍රීඩකයින් අත තිබූ පන්දුව තම සුරතට ගත් ඉරංග සඳරුවන් යළි තම එන්ජිම පණ ගැන්වූයේ ප්‍රතිවාදී ආරක්ෂක වැට විදුලි වේගයෙන් පසුකර යාමට අවශ්‍ය පන්නරය ලබා ගනිමිනි. තම අන්තයේ මීටර් 22 රේඛාව අසලින් හිමි වූ පන්දුව උත්සාහක දිනුම් සීමා රේඛාව දක්වා ක්ෂණයකින් රැගෙන ගිය ඉරංග, කිංග්ස්වුඩ් කණ්ඩායමේ ජය තහවුරු කළේ විරාම ඝටිකාවේ තවත් මිනිත්තු 5ක පමණ කාලයක් ඉතිරිව තිබිය දීය. (ජෝසප් 10 – 24 කිංග්ස්වුඩ්) 

ලේක්විව් සිංහයන් අසරණ කරමින් බම්බා බ්‍රිගේඩ් ගිණුම අරඹයි

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් ක්‍රියාත්මක වූ පළමු තරගයෙන්….

ජය පැරදුම සම සිතින් දරා ගනිමින් අවසන් මොහොත දක්වා සටන් වැදුනු ජෝසප් ක්‍රීඩකයින් තරගයේ අවසන් මිනිත්තුවේ දී ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු පරතරය 07 දක්වා අවම කළේ ගෞරවාන්විත පරාජයක් තම කණ්ඩායම වෙත උරුම කර දෙමිනි. රුචිර පෙරේරාගේ නමින් එම උත්සාහක දිනුමේ හිමිකාරිත්වය ලියැවිනි. (ජෝසප් 17 – 24 කිංග්ස්වුඩ්) 

අවසන් ලකුණු තත්වය : සාන්ත ජෝසප් විද්‍යාලය (3T, 1C) 17 – 24 (4T, 2C) කිංග්ස්වුඩ් විද්‍යාලය 

  • ThePapare.com තරගයේ වීරයා – ෂසාන් රහුමාන් (කිංග්ස්වුඩ් විද්‍යාලය) 

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • සාන්ත ජෝසප් විද්‍යාලය – නවීන් මාරසිංහ (1T), රශේන් ගුණවර්ධන (1T, 1C), රුචිත් පෙරේරා (1T). 
  • කිංග්ස්වුඩ් විද්‍යාලය – අපූර්ව විජේසිංහ (1T), චේතිය බණ්ඩාර (1T), ඉරංග සඳරුවන් (2T), ඉෂාර කුරේ (2C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<