Home Sinhala ඩක්වර්ත් ලුවිස් න්‍යායයෙන් දඹුල්ලට තියුණු ජයක්

ඩක්වර්ත් ලුවිස් න්‍යායයෙන් දඹුල්ලට තියුණු ජයක්

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

349

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් අද (28) සවස හම්බන්තොට දී පැවති Dambulla Viiking සහ Kandy Tuskers අතර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Dambulla Viiking කණ්ඩායම සමත් විය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුලු ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවි ලකුණු 195ක් ලබා ගත් අතර වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහනුවර ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 3ක් දැවි ලකුණු 84ක් පමණි. ඒ වෙද්දී තරගයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට නම් ඔවුන් මුහුණ දුන් පන්දුවාර 9ත්, පන්දු 4 දී ලකුණු 88ක් ලබා ගත යුතුව තිබුණි. 

මහනුවර කණ්ඩායම අද තරගයට පිටියට පිවිසියේ වෙනස්කම් දෙකක් සමඟ ය. ඒ පෙර තරගයට ක්‍රීඩා කළ ලසිත් ඇඹුල්‍දෙණිය සහ ඉන්දියාවේ Irfan Pathan වෙනුවට ඩිල්රුවන් පෙරේරා සහ ප්‍රියමාල් පෙරේරා කැඳවමිනි. මෙම තරගය දඹුල්ල කණ්ඩායමේ පළමු තරගය විය. 

කාසියේ වාසිය දිනා ගත් Kandy Tuskers නායක කුසල් පෙරේරා Dambulla Viiking නායක දසුන් ශානකට පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙසින් ආරාධනා කළේය. ඒ අනුව ඔවුන්ගේ ඉනිම ආරම්භ කළේ නිරෝෂන් දික්වැල්ල සහ ඕෂද ප්‍රනාන්දු ය. ඔවුන් දෙදෙනා අතර සබඳතාව ලකුණු 27ක් වෙද්දී තම දෙවැනි ලකුණු ලබා ගැනීමට පළමු ලකුණ ඉක්මනින් අවසන් කිරීමට ගිය ඕෂද ආබාධයකට ලක් විය. ඒ හේතුවෙන් ඔහු ඉනිම හැර යන විට පන්දු 8කට මුහුණ දී ලකුණු 10ක් ලබා සිටියේ ය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

අනතුරුව පිටියට පිවිසියේ උපුල් තරංග ය. දික්වැල්ල සහ තරංග අතර සබඳතාව ලකුණු 26ක් වෙද්දී දික්වැල්ල ක්‍රීඩාගාරයට හරවා යැවීමට අසේල ගුණරත්න සමත් විය. ඒ වෙද්දී දඹුල්ල ඉනිම ලකුණු 53ක් වූ අතර දික්වැල්ලට ලකුණු 25ක් අයිතිව තිබුණි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 18කට මුහුණ දී තිබූ අතර හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඒ ඉනිමේ විය. 

උපුල් තරංගට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට හැකි වූයේ නැත. අසේල ගුණරත්නගේ පන්දුවකට ලෝන් ඕන් කලාපයට ඉහළින් එල්ල කිරීමට උත්සාහ කළ පහර සීමාව ආසන්නයේ දී රැක ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත් විය. තරංගගේ ඉනිම අවසන් වන විට පන්දු 18කට ලකුණු 18ක් වූ අතර ඊට හතරේ පහර 2ක් ද ඇතුලත්ව තිබුණ අතර දඹුලු ලකුණු පුවරුව 64 නැවතී තිබුණි. 

දඹුලු ඉනිමේ ලකුණු පුවරුව හැල්මේ දුවන්නට ගත්තේ එංගලන්තයේ 35 හැවිරිදි Samit Patelට නායක දසුන් ශානක එකතු වීමත් සමඟ ය. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 58ක දී ලකුණු 128ක සබඳතාවක් එක් කළ හ.  

ඔවුන්ගේ මේ ලකුණු සබඳතාවේ එක් අවස්ථාවක දී ප්‍රධාන විනිසුරු හේමන්ත බොතේජු විසින් දසුන් ශානක දැවි ගිය ක්‍රීඩකයෙක් ලෙසින් නම් කළේය. ඒ කවිශ්ක අංජුලගේ පන්දුවක් පා ආවරණයේ වැදීමෙන් අනතුරුව ය. දසුන් එසැණකින් එම තීරණය අභියෝගයට ලක් කිරීමේ නීතියේ පිහිට පැතුවේ ය. තෙවැනි විනිසුරු රුචිර පල්ලියගුරුගේ තීරණය වූයේ දසුන් දැවී නොගිය ක්‍රීඩකයෙක් ලෙස ය.

ලද අවසරයෙන් එතැන් සිට තවත් ආරක්ෂාකාරී හා ප්‍රවේගවත් වූ දසුන් තම අර්ධ ශතකය හයේ පහරකින් ලබා ගත්තේ පන්දු 28ක් පමණක් වැය කරමිනි. 37 වැනි පන්දුවේ දී තම ඉනිම නිමා වන විට දසුන් ලකුණු 73ක් ලබා සිටියේ හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි. Naveen-ul-haq විසින් යැවුණ එම පන්දු වාරයේ දී ම Samit Patel ද දවා ගැනීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ වෙද්දී ඔහු පන්දු38කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 58ක් ලබා සිටියේ ය. 

දඹුලු ඉනිම අවසන් වන විට ලහිරු මධුශංක සහ රමේෂ් මෙන්ඩිස් කිසිදු ලකුණක් නොලබා නොදැවී රැඳී සිටියේ ය.

දඹුලු ඉනිමේ පළමු පන්දුවාර 10 ලකුණු 70කට සීමා කිරීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූව ද අවසන් පන්දුවාර 10 දී ලකුණු 125ක් ලබා ගැනීමට ඔවුන් සමත් වීම කැපී පෙණුනි. එහි දී වඩාත් ම ප්‍රහාරයට ලක් වූයේ වේගපන්දු යවන්නෝ ය. 

ඉනිම අවසන් වන විට නුවන් ප්‍රදීප්, Naveen-ul-haq සහ කවිශ්ක අංජුල එක්ව යවනු ලැබූ පන්දුවාර 11 දී ලකුණු 133ක් ලබා ගැනීමට දඹුලු ක්‍රීඩකයෝ සමත් වූහ. කෙසේ වෙතත් දඹුලු ඉනිමට එරෙහිව කඩුලු 2 බැගින් දවා ගැනීමට Naveen-ul-haq සහ අසේල ගුණරත්න සමත් වූහ. 

ලකුණු 196ක හඹායන මහනුවර ඉනිම ආරම්භ කළේ Rahmanulla Gurbaz සහ කුසල් පෙරේරා ය. පෙර තරගයේ අර්ධ ශතකලාභීන් වූ ඔවුන් දෙදෙනාට මෙවර සාර්ථක වීමට මහනුවර ක්‍රීඩකයෝ ඉඩ තැබුවේ නැත. ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් කුසල් ලකුණු 4ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වූයේ Anwar Aliගේ පන්දුවකට රමේෂ් මෙන්ඩිස් රැක ගත් උඩ පන්දුවක් හේතුවෙනි. 

අනතුරුව දෙවැනි කඩුල්ල ලෙසින් අනෙක් ආරම්භක පිතිකරු Rahmanulla Gurbaz දැවී ගියේ මාලින්ද පුෂ්පකුමාරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනි. ඒ වෙද්දී ඔහු පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියේ ය.

LPL තතුවිත්ති:

එතැන් සිට මෙන්ඩිස්ලා දෙදෙනෙක් වූ කුසල් සහ කමිඳු දඹුලු ඉනිමේ හිට ගත්ත ද ඔවුන්ට ද බලාපොරොත්තු සහගත ඉනිමක් ක්‍රීඩා කිරීමට මහනුවර ක්‍රීඩකයෝ ඉඩ දුන්නේ නැත. එම ගමනේ දී රමේෂ් මෙන්ඩිස් යැවූ තමන්ගේ පළමු පන්දුවේ දී ම කමිඳු මෙන්ඩිස් කඩුල්ල මුවා කළේ යැයි පවසමින් විනිසුරු හේමන්ත බොතේජු දුන් තීරණය ද අභියෝගයට ලක් විය. එහි දී ද තෙවැනි විනිසුරුගේ තීරණය පිතිකරුගේ වාසියට විය. 

නමුත් කමිඳුට එහි වාසිය වැඩි වෙලාවක් රඳවා ගැනීමට නොහැකි විය. ඔහු ලකුණු 6කට දැවී ගියේ පන්දු 10කට පමණක් මුහුණ දෙමිනි. එම දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසියේ අසේල ගුණරත්න ය. ඔවුන් දෙදෙනාට පන්දු 6කට පමණක් මුහුණ දෙද්දී තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන ලදි. ඒ වෙද්දී දඹුලු ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවි ලකුණු 84ක් ලබා සිටිය හ. 

එතැන් සිට තරගය ඉදිරියට ගෙන යෑමක් නොවුණ අතර ඒ වෙද්දී කුසල් මෙන්ඩිස් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ද සහ අසේල ගුණරත්න නොදැවී ලකුණු 3ක් ද ලබා සිටිය හ. 

කඩුලු ලබා ගැනීමේ දී මාලින්ද පුෂ්පකුමාර, Anwar Ali සහ මාලින්ද පුෂ්පකුමාර කඩුල්ල බැගින් දවා ගත් හ. 

අද තරගයේ දී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරමින් Samit Patel (එංගලන්තය) Anwar Ali (පාකිස්තානය) සහ Sudeep Tyagi (ඉන්දියාව) සහභාගී වූ අතර මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඇෆ්ගනිස්තානය නියෝජනය කරන  Rahmanulla Gurbaz සහ Naveen-ul-haq  සහභාගී වූහ. 

Result


Kandy Falcons
84/3 (9.4)

Dambulla Aura
195/4 (20)

Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c Rahmanullah Gurbaz b Asela Gunarathne 25 18 2 1 138.89
Upul Tharanga c Kamindu Mendis b Asela Gunarathne 18 18 2 0 100.00
Samit Patel c Asela Gunarathne b Naveen ul Haq 57 38 5 2 150.00
Dasun Shanaka c Seekkuge Prasanna b Naveen ul Haq 74 38 8 4 194.74
Lahiru Madushanka not out 0 1 0 0 0.00
Ramesh Mendis not out 0 0 0 0 0.00


Extras 11 (b 0 , lb 4 , nb 0, w 7, pen 0)
Total 195/4 (20 Overs, RR: 9.75)
Did not bat Oshada Fernando, Lahiru Kumara, Anwar Ali, Malinda Pushpakumara, Sudeep Tyagi,

Bowling O M R W Econ
Nuwan Pradeep 4 0 46 0 11.50
Naveen ul Haq 4 0 42 2 10.50
Kavishka Anjula 3 0 45 0 15.00
Dilruwan Perera 3 0 18 0 6.00
Asela Gunarathne 3 0 20 2 6.67
Seekkuge Prasanna 3 0 20 0 6.67


Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz b Malinda Pushpakumara 30 18 4 1 166.67
Kusal Janith c Ramesh Mendis b Anwar Ali 4 2 1 0 200.00
Kusal Mendis not out 34 26 2 3 130.77
Kamindu Mendis c Pulina Tharanga b Lahiru Madushanka 6 10 0 0 60.00
Asela Gunarathne not out 3 3 0 0 100.00


Extras 7 (b 1 , lb 2 , nb 1, w 3, pen 0)
Total 84/3 (9.4 Overs, RR: 8.69)
Did not bat Nuwan Pradeep, Naveen ul Haq, Seekkuge Prasanna, Dilruwan Perera, Priyamal Perera, Kavishka Anjula,

Bowling O M R W Econ
Lahiru Kumara 2 0 21 0 10.50
Anwar Ali 2 0 13 1 6.50
Samit Patel 2.4 0 27 0 11.25
Malinda Pushpakumara 1 0 10 1 10.00
Ramesh Mendis 1 0 6 0 6.00
Lahiru Madushanka 1 0 4 1 4.00



හෙට (29) තරගාවලියේ විවේක දිනයක් වන අතර නොවැම්බර් 30 Jaffna Stallion සහ Dambulla Viiking අතර තරගය සවස 3.30ට ද, Kandy Tuskers සහ Galle Gladiators අතර තරගය රාත්‍රී 8.00ට ද පැවැත්වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<