තරගාවලියේ ආරම්භක සමයේ දී සිදු වූ අඩුපාඩු මග හරවා ගනිමින් 2016-17 තරග වාරයේ ඩයලොග් ලීග් රග්බි ශූරයන් ලෙස අභිෂේක ලබන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. අවසන් සති අන්තයේදී CH & FC කණ්ඩායම ලකුණු 59 – 03 ක් ලෙස පරාජය කරමින් ඔවුන් මේ ශූරතාව තමන් සතු බව තහවුරු කර ගත්තේ නොකඩවා 3 වන වරටයි.

පසුගිය ලිපි: පාසල් රග්බි කැලැන්ඩරයේ කිසිදු වෙනසක් නොමැත

CH & FC කණ්ඩායම පළමු වටයේදී පරාජය කරමින් මෙවර තරග වාරය ආරම්භ කල මහනුවර ක්‍රීඩා සමාජය CH කණ්ඩායම ම පරාජය කරමින් ලීග් ශූරතාව අවසන් කිරීම විශේෂත්වයකි.

මහනුවර ක්‍රීඩකයින් ශූරතාවට හිමිකම් කියූවද මෙම තරගය තුල ඔවුන්ගේ දස්කම් කැපී පෙනෙන ලෙස අඩුවීමක් දක්නට ලැබුණි. තරගය ආරම්භයේ සිටම දුර්වල ලෙස ක්‍රීඩා කල ඔවුන්ගේ අඩුපාඩු තම වාසියට හරවා ගැනීමට CH & FC කණ්ඩායම අසමත් වීම මහනුවර කණ්ඩායමේ වාසනාවක් විය. කෙසේ වෙතත් මහනුවර ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීම ආරම්භ කලේ 14 වන මිනිත්තුවේ දී ෂෙහාන් පතිරණ වාර්තා කල උත්සාහක දිනුම සහ අර්ශාඩ් ජමාල්ඩීන්ගේ සාර්ථක ප්‍රවර්තනයත් සමඟයි. (මහනුවර 07 – 00 CH & FC)

තරගය නැවත ආරම්භ වීමත් සමඟ යලිත් ක්‍රියාත්මක වූ මහනුවර කණ්ඩායම වෙනුවෙන් මෙවර ලකුණු ලබා ගත්තේ ලවංග පෙරේරායි. (මහනුවර 12 – 00 CH & FC)

අනතුරුව දිනයේ විශිෂ්ටතම උත්සාහක දිනුම වාර්තා කලේ ධනුෂ් දයාන් විසින්, CH & FC කණ්ඩායම මහනුවර ගෝල සීමාව අසල සිටියදී පන්දුව නැවත ලබා ගත් දයාන් තම පාදයේ ශක්තිය සහ වේගය ප්‍රදර්ශනය කරමින් තනිව පිටිය හරහා දිවගොස් වාර්තා කල මෙම උත්සාහක දිනුම ජමාල්ඩීන් විසින් පහසුවෙන් ප්‍රවර්තනය කරන ලදි. (මහනුවර 19 – 00 CH & FC)

CH & FC කණ්ඩායම 26 වන මිනිත්තුවේ දී තම ප්‍රථම සහ එකම ලකුණු ලබා ගැනීමේ අවස්ථාව සටහන් කලේ ශම්රි බූරා සාර්ථකව එල්ල කල දඬුවම් පහරක් මගිනුයි. CH කණ්ඩායම වෙනුවෙන් අගනා වැඩ කොටසක් ඉටු කරමින් සිටි බූරා ට පිටියෙන් ඉවත්වීමට සිදුවුනේ ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ ඇඟේ හැපීම නිසා ඇතිවූ කම්පන තත්ත්වයක් හේතුවෙනුයි. පළමු අර්ධය අවසන් වීමට මත්තෙන් මහනුවර කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට ශ්‍රීනාත් සූරියබණ්ඩාර සමත් විය.

පළමු අර්ධය: මහනුවර 26 – 03 CH & FC

දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟම මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කරමින් එය සාර්ථකව ප්‍රවර්තනය කරන්නට ද අර්ශඩ් ජමාල්ඩීන් සමත් විය. (මහනුවර 33 – CH & FC 03)

ඊළඟ මිනිත්තු 10 තුල තරගයේ ග්‍රහණය සම්පූර්ණයෙන්ම තමන් සතු කරගන්නට මහනුවර කණ්ඩායම සමත් වුනේ උත්සාහක දනුම් දෙකක් සහ සාර්ථක ප්‍රවර්තන දෙකක්ද සමඟයි. අනුරුද්ධ විල්වර පළමු උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර දෙවන උත්සාහක දිනුමේ මෙන්ම ප්‍රවර්තන ද්විත්වයේද හිමිකරු වුනේ අර්ශාඩ් ජමාල්ඩීන්ය. (මහනුවර 47 – CH & FC 3)

ශ්‍රීනාත් සූරියබණ්ඩාර යලිත් ක්‍රියාත්මක වෙමින් පිටියේ මධ්‍ය රේඛාවේ සිට ඉදිරියට ගෙන ගිය පන්දුව අවසන් ආරක්ෂක ක්‍රීඩකයාට ඉහලින් යොමු කර නැවතත් පන්දුවට පනිමින් උත්සාහක දිනුමක් වාර්තා කළේ මහනුවර කණ්ඩායමේ ශක්තිය මෙන්ම තම හැකියාව ද ප්‍රදර්ශනය කරමිනුයි. බාධක සහිත වුවත් අති සාර්ථක තරගාවලියක අවසානය වර්ණවත් කරමින් 76 වන මිනිත්තුවේදී ලවංග පෙරේරා තරගයේ අවසන් උත්සාහක දිනුම වාර්තා කලේ මහනුවර කණ්ඩායමට යලිත් අති විශාල ලකුණු පරතරයක් සහිත ජයග්‍රහණයක් හිමි කර දෙමිනුයි.

අවසන් ලකුණු තත්ත්වය: මහනුවර ක්‍රී. ස.  59 – CH & FC 03

ThePapare.com තරගයේ වීරයා: අර්ශාඩ් ජමාල්ඩීන් (මහනුවර ක්‍රී. ස.)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් 

මහනුවර ක්‍රී. ස.

උත්සාහක දිනුම්: ලවංග පෙරේරා (2), අර්ශාඩ් ජමාල්ඩීන් (2), ධනූෂ් දයාන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර (2), අනුරුද්ධ විල්වර, ෂෙහාන් පතිරණ.

ප්‍රවර්තන: අර්ශාඩ් ජමාල්ඩීන් (6)

CH & FC ක්‍රී. ස.

දඬුවම් පහර: ශම්රි බූරා.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට