මහනුවර ක්‍රීඩා සමාජය විසින් 3 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ මහනුවර “රග්බි ඇකඩමි තරගාවලිය” 9 හා 10 යන දෙදින පුරා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.
හොංකොං ක්‍රීඩකයින් යොවුන් ඇතුන්ගේ දළ සිඳියි
ද්විපාර්ශවීය සටනේ ශ්‍රී ලාංකේය ජයග්‍රහණ ඉඩෝරය තව දුරටත් දිගු කරවමින්…
මහනුවර දිස්ත්‍රික්කය තුල රග්බි ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙම තරගාවලියට දිවයිනේ නන් දෙසින් ක්‍රීඩා සමාජ ගණනාවක් සහභාගී විය. මෙම තරග වයස් කාණ්ඩ 8ක් යටතේ පැවති අතර මෙහි දී පිරිමි කණ්ඩායම් 64ක් මෙන්ම කාන්තා අංශය නියෝජනය කරමින් කණ්ඩායම් 2ක් ද තරග වැදුණි. රග්බි ක්‍රීඩාවට ඇලුම් කරන වයස අවුරුදු 8ට අඩු ක්‍රීඩකයන් පවා තරගාවලිය නියෝජනය කිරීම කැපී පෙනෙන අංගයක් විය.
පළමු දිනය (දෙසැම්බර් 9)
තරගාවලියේ පළමු දිනය තුල මූලික වටයේ තරග පැවති අතර තරගාවලිය අරම්භ කරමින් ප්‍රථම තරගය අවුරුදු 8න් පහළ අංශයට වෙන්වී තිබුණි. එහි දී මහනුවර රග්බි ඇකඩමි බ්ලූස් කණ්ඩායම හා සිනර්ජි කණ්ඩායම එකිනෙකා මුණගැසුණු අතර සිනර්ජි කණ්ඩායම පරදා ජයග්‍රහණය කිරීමට මහනුවර කුඩා රග්බි ක්‍රීඩකයන් සමත් විය.
වයස අවුරුදු 8න් පහළ අංශයේ තරගයක් ලෙස ශ්‍රී ලයන්ස් රග්බි ඇකඩමි කණ්ඩායම හා සාන්ත ඇලෝසියස් රග්බි ඇකඩමි කණ්ඩායම තරග වැදුණු අතර එහි දී ලකුණු සම වීම නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
සාන්ත ඇලෝසියස් ගෝල්ඩ් කණ්ඩායම හා සිනර්ජි කණ්ඩායම අතර තරගය පැවැත්වූයේ වයස අවුරුදු 10 කාණ්ඩය යටතේය. උත්සාහක දිනුම් 2ක් සමඟින් තරගය ජයග්‍රහණය කිරීමට ඇලෝසියස් ගෝල්ඩ් ක්‍රීඩකයන් සමත් විය. සිනර්ජි ක්‍රීඩකයන් හට ලබාගත හැකි වූයේ එක් දඬුවම් පහරක් පමණි (ඇලෝසියස් 10-03 සිනර්ජි).

වයස අවුරුදු 16න් පහළ මූලික වටයේ තවත් තරගයක දී මහනුවර රග්බි ඇකඩමි රෙඩ් කණ්ඩායම හා කොළඹ CIS කණ්ඩායම තරග වැදුණු අතර එම තරගය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට මහනුවර රග්බි ඇකඩමි රෙඩ් කණ්ඩායම සමත් විය. තරගයේ අවසන් ලකුණු මට්ටම 17-00ක් වූ අතර එම ලකුණු 17ට උත්සාහක දිනුම් 3ක් හා එක් ප්‍රවර්තනයක් ඇතුළත් විය. (මහනුවර ඇකඩමි 17-00 CIS)
වයස අවුරුදු 18න් පහළ මූලික වටයේ තරගයක දී මහනුවර රග්බි ඇකඩමි කණ්ඩායම හා කොළඹ CIS කණ්ඩායම මුණගැසුණු අතර එහි දී 21-00ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය. ප්‍රතිවාදී CIS කණ්ඩායමට එකදු හෝ ලකුණක් ලබා නොදීමට මහනුවර කණ්ඩායම සමත් වූ අතර මූලික වටයේ තරග තුල CIS ක්‍රීඩකයන්ගේ දැඩි පසුබෑමක් ද දක්නට ලැබුණි. (මහනුවර ඇකඩමි 21-00 CIS)

තරගයේ පළමු දිනය තුල ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු ආබාධවලට ගොදුරු වීම හේතුවෙන් රෝහල් ගත කිරීම් ද දක්නට ලැබුණි.
දෙවන දිනය (දෙසැම්බර් 10)
මූලික වටයේ සුවිශේෂී දස්කම් දැක්වූ කණ්ඩායම් දෙවන දිනයේ තරග සඳහා සුදුසුකම් ලබන ලදි. ඒ අනුව වයස අවුරුදු 14න් ඉහළ කණ්ඩායම් හී අවසන් පූර්ව වටයේ තරග හා අවසන් මහා තරග දෙවන දිනයේ ක්‍රියාත්මක විය.
අවුරුදු 14න් පහළ බඳුන අවසන් මහා තරගය ක්‍රියාත්මක වූයේ පානදුර රග්බි ඇකඩමි කණ්ඩායම හා හර්ෆා A කණ්ඩායම අතරයි. උත්සාහක දිනුම් 3ක් හා ප්‍රවර්තන 2ක් සාර්ථක කර ගනිමින් 19-00ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට හර්ෆා A කණ්ඩායම සමත් විය. (හර්ෆා 19-00 පානදුර ඇකඩමි)

අවුරුදු 18න් පහළ කුසලාන අවසන් මහා තරගය ක්‍රියාත්මක වූයේ මහනුවර රග්බි ඇකඩමි කණ්ඩායම හා කොළඹ CIS කණ්ඩායම අතරය. ඉතා උණුසුම් තරගයක් වුන මෙහි දෙපිළම කරට කර තරගයක නිරත විණි. කෙසේ නමුත් තරගයේ මැද භාගයේ දී පන්දුව ලබාගත් මහනුවර ඇකඩමි ක්‍රීඩකයින් මනාව පන්දුව හුවමාරු කර ගනිමින් ප්‍රතිවාදී උත්සාහක දිනුම් රේඛාව කරා යාමට සමත් විය. එම ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ද ඔවුන් සමත් විය. කෙසේ නමුත් කොළඹ CIS ක්‍රීඩකයන් හට කිසිදු ගෝලයක් වාර්තා කර ගැනීමට නොහැකි විය. ඒ අනුව තරගය අවසන් වූයේ 07-00ක් ලෙස මහනුවර ක්‍රීඩකයන්ට 18න් පහළ කිරුළ හිමි කර දෙමිනි. (මහනුවර ඇකඩමි 07-00 CIS)
අවුරුදු 21න් පහළ කුසලාන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවේ ICBT රග්බි කණ්ඩායම හා රග්බි ප්‍රමෝෂනල් ෆවුන්ඩේෂන් කණ්ඩායමයි. ආරම්භයේ සිටම තරගය තමා දෙසට නතු කර ගැනීමට ICBT කණ්ඩායමට හැකි විය. තරගය අරම්භ වී මිනිත්තු 3ක් යන විට තම ප්‍රථම උත්සාහක දිනුම ලබාගත් ICBT කණ්ඩායම එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි. දෙවන අර්ධයේ දී තවත් උත්සාහක දිනුමක් ලබාගත් ICBT කණ්ඩායම 12-00ක් ලෙස රග්බි ප්‍රමෝෂනල් ෆවුන්ඩේෂන් කණ්ඩායම පරාජය කරමින් අවුරුදු 21න් පහළ කුසලානය දිනා ගැනීමට සමත් විය. (ICBT 12-00 රග්බි ප්‍ර.ෆ)
විවෘත අංශයේ අවසන් මහා තරගය ක්‍රියාත්මක වූයේ ආර්චර්ස් B කණ්ඩායම හා හර්ෆා කණ්ඩායම අතරයි. එම තරගය අතරතුර යම් ගැටුම්කාරී තත්වයක් ඉස්මතු වූ අතර විනිසුරුවරුන්ගේ හා සංවිධායක මණ්ඩලයේ මැදිහත් වීමෙන් එය සමතයකට පත්කරන ලදි. කෙසේ නමුත් හර්ෆා කණ්ඩායම පරාජයට පත්කරමින් 05-07ක් ලෙස තරගය ජයගත් ආර්චර්ස් කණ්ඩායමට විවෘත අංශයේ කුසලානය හිමි විය. (හර්ෆා 05-07 ආර්චර්ස්)
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<






















