සුගතදාසය නැගිටුවීමේ ක්‍රියාවලිය ඇරඹේ

270

මාතර, රත්නපුර, මාතලේ, බිංගිරිය සහ නුවරඑළිය යන ප්‍රදේශවල ද කෘතීම ධාවන පථ ඉදිකරන බව සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කෘතීම ධාවන මංතීරුව ඇතිරීම සඳහා මුල්ගල් තැබීමේ උළෙලේ දී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේය. ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව පසුබැසීමට ප්‍රධාන හේතුවක් සේ සැලකුණ සුගතදාස ධාවන මංතීරුවේ නවීකරණ සමාරම්භය අද (14) සිදුවුණේ උත්සවාකාරයෙනි.

2011 දී ඇතිරූ මංතීරුව මාස 3ක් වැනි ඉතාමත් කෙටි කාලයකින් අබලන් වීම නිසා ගැටලු ගණනාවක් මතුවූ අතර ඉන් පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පැවති එකම ජාත්‍යන්තර මලල ක්‍රීඩාංගණය වූයේ දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණය පමණි. එහෙත් එහි ධාවන මංතීරුව ද අබලන් වීමට ලක්වූ පසුබිමක දී ශ්‍රී ලංකා පාසල් සහ ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසරණ විය.

ඒ සම්බන්ධව වසර ගණනාවක් පුරා කතාබහක් ඇතිවුවද ටෙන්ඩර් සහ මූල්‍ය ගැටලු රාශියක් මැද අත්හිටුවා තිබූ සුගතදාස මංතීරුව යළි ඇතිරීමේ කටයුතු අද ඇරඹීමේ දී එහි ප්‍රධාන සේවා දායකත්වය ඇක්සස් ආයතනය විසින් දරන අතර ස්විට්සර්ලන්තයේ කොනිකා සමාගමේ සහය ද ඔවුන්ට ලැබීමට නියමිතයි. ඊට ඇස්තමේන්තුගත මුදල රු. මිලියන 244ක් වේ.

“සමහර අය ඒ ගැන හරියට දන්නෙ නැතුව කතා කරා. 1997 දී තමයි මෙහි පළමු වරට ධාවන පථයක් ඉදිකරේ. 2002 දී නැවතත් මෙහි ධාවන පථයක් ඉදිකරා. ආයේ 2011 වර්ෂයේ දී නැවත වරක් ධාවන පථයක් ඉදිකරා. ඒක තමයි විශාලම අර්බුදයකට ලක්වුණේ.” උත්සව සභාව අමතමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතීතාවර්ජනයක නිරතවුණේ එලෙසිනි.

“අපි බලාපොරොත්තු වෙනවා ඒගහකොළ කියන සමාගම” එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන අපට සිදු වුන පාඩුව නැවත අය කර ගැනීමට අවශ්‍ය කරන කටයුතු ටික කරන්න.” ඔහු පැවසුවේ මාස 3ක් ඇතුළත කෘතීම ධාවන මංතීරුවක් අබලන් වීම කිසිසේත්ම පිළිගත හැකි කරුණක් නොවන බවට බොහෝ දෙනාගේ දෝෂාරෝපණ එල්ල වූ පසුබිමක දී යි.

වසර 25කින් පමණ සුගතදාස ක්‍රීඩාංගණය නවීකරණය නොවී ඇති බැවින් ධාවන මංතීරුවට අමතරව ක්‍රීඩාංගණයේ සියලු අංග නවීකරණයට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේය. ඊට ක්‍රීඩාංගණ සනීපාරක්ෂක පහසුකම්, ප්‍රේක්ෂකාගාර, ගෘහස්ථ ක්‍රීඩාගාරය, ක්‍රීඩා හෝටලය ආදී පුළුල් යටිතල පහසුකම් සංවර්ධනයක් සිදු කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

“හිටපු මුදල් ඇමතිතුමා අපට රු. මිලියන 760ක් මේ සඳහා ලබා දුන්නා.” අමාත්‍යවරයා විසින් පසුගියදා ඉල්ලා අස්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාව සිහිපත් කෙරුණේ එලෙසින්.

“තණකොළ වර්ග එකක් තියෙන්න ඕන මේ ක්‍රීඩාංගණයේ, තණකොළ වර්ග 7ක් තිබුණා. ඒත් අද මේක කුෂන් එකක් වගේ. ට්‍රෙවර් නුගවෙල මහතාට මං මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා.” එසේ නිශ්චිත තණ ඇතිරිල්ලක් නිර්මාණය කිරීම නිසා පාපන්දු සහ රග්බි ක්‍රීඩා ද්විත්වයටම මේ ක්‍රීඩාංගණය විවෘත කිරීමට හැකි වන බව ඔහු පැවසුවේය. 90 දශකයේ මැදභාගය වන විට රාජකීය – ත්‍රිත්ව බ්‍රැඩ්බි පළිහ තරග පවා පැවැත්වීමේ ශක්‍යතාවය සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති බව අපට මතකය. එසේම එකල දිවා රාත්‍රි පාපන්දු තරග පැවතියේ ද මෙම ක්‍රීඩාංගණය තුළයි.

“5000ක් වාඩිවෙන්න පුළුවන් එකම ස්ථානයයි ලංකාවේ තියෙන්නේ. ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය පමණයි.” අමාත්‍යවරයා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ වැදගත්භාවය ගැන සිහි කළේ එලෙසිනි.

ප්‍රවීණ මලල ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන සුනිල් ගුණවර්ධන මහතා ද අදහස් දැක්වීමට එක්වූ අතර ඔහු පැවසුවේ,

“මං ක්‍රීඩා ඇමතිතුමාට වචන දෙකක් කියන්න කැමතියි. මේ වෙලාවේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව මහා කඩාවැටීමකයි ඉන්නේ. ඒකට මූලිකම හේතුව වුනේ මේ සුගතදාස ක්‍රීඩාංගණය. තණකොළ තියෙන පිට්ටනියක දුවලා හරි, කඩාවැටුණු පිට්ටනියක දුවලා හරි, දෙයියනේ චීනයම පරාද කරන්න කියන්නේ ඇයි අපිට?” යනුවෙනි.

එහෙත් අමාත්‍යවරයා සහ ව්‍යාපෘති සභාපතිවරයාගේ එකමුතුවෙන් වත්මන් කටයුතු හොඳින් සිදු වන බව අගය කරමින් ඔහු පවසා සිටියේ,

“මං ළමයින්ට කියන්නේ බය වෙන්න එපා. හොඳට දෙයක් කරන්න. නැත්නම් බාගෙට කරලා අතාරින්න බෑ. මං ප්‍රාර්ථනා කරනවා මේ පිට්ටනිය ගියපාර පිට්ටනිය වගේ නොවෙන්න කියලා.” යනුවෙනි.

මාස 6කින් එහා ක්‍රීඩාංගණයේ ධාවන මංතීරුව කෙසේ නිමවෙනු ඇති දැයි අපට ද දෑසින් දැක ගත හැකි වනු ඇති අතර අපගේ ද ප්‍රාර්ථනය තවත් වසර ගණනාවකට ක්‍රීඩකයන් නිපදවීම සඳහා අවශ්‍ය වන මංපෙත මෙවර නිර්මාණය වනු ඇති බවයි.  

මීට අමතරව බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය රන්ජිත් සෝමවංශ මහතා ද මෙහි දී අදහස් දැක්වූයේය. අමාත්‍ය එම්. එච්. එම්. ෆවුසි, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල වැනි මහත්වරු පිරිසක් ද උත්සවයට එක්ව සිටියේය.  

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට