Jason Holder ඉතිහාසය අලුත් කරද්දී කොදෙව්වන් තරගාවලිය ජය ගනී

5236

බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර පැවති විස්සයි විස්ස තරගාවලිය ඊයේ (30) තියුණු මුහුණුවරකින් අවසන් වූයේ Jason Holderගේ කඩුලු 4ත් සමඟින්.

Jason Holder මෙම තරගාවලිය පුරාවටම පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ අතර කොදෙව් කණ්ඩායම තරගාවලිය 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා. අවසන් තරගය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළේ ලකුණු 17කින්.

Jason Holder සිය නම ඉතිහාස පොත්වල සටහන් කිරීමට සමත් වුනේ විස්සයි විස්ස තරග රටාවේ කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නා මෙන්ම විස්සයි විස්ස තරගයක දී කඩුලු 5ක් ලබා ගත් සිව්වැනි කොදෙව් පන්දු යවන්නා බවට පත්වෙමින්.

එංගලන්ත තරගාවලියේ දී ඔහු සිය නම ඉදිරියේ සමස්ත කඩුලු 15ක් සටහන් කර ගැනීමට සමත් වුනා. එය ද වාර්තාවක් ලෙස සටහන් වුනේ ද්විපාර්ශ්වික විස්සයි විස්ස තරගාවලියක දී පන්දු යවන්නෙකු වාර්තා කළ වැඩිම කඩුලු ප්‍රමාණය ලෙසින්.

ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට තරගයේ අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 20ක් අවශ්‍ය වී තිබුණා. කඩුල්ලේ Sam Billings සහ Chris Jordan සමඟින් එය එතරම් අසීරු ඉලක්කයක් නොවුනත්, Jason Holder අවසන් පන්දුවාරයේ පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගනිමින් තරගය කොදෙව් කණ්ඩායම දෙසට හරවා ගැනීමට සමත් වුනා.

අවසන් පන්දුවාරය නිපන්දුවකින් ආරම්භ කළ ද Chris Jordan සහ Sam Billings ඔහුගේ දෙවැනි සහ තෙවැනි පන්දුවෙන් දවා ගැනීමට Jason Holder සමත් වුනා. ඉන් අනතුරුව Adil Rashid දවා ගනිමින් කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළ Jason Holder පන්දුවාරයේ පස්වැනි පන්දුවෙන් Saqib Mahmood දවා ගනිමින් පිට පිට කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වුනා. මෙම තරගයේ දී Jason Holder පන්දුවාර දෙකක් සහ පන්දු 5ක දී ලකුණු 27කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්ව තිබුණා.

එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 9කින් ජයග්‍රහණය කිරීමට කොදෙව් කණ්ඩායම සමත් වුනා. දෙවැනි තරගයේ දී ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්වුනේ 1-1ක් ලෙස තරගාවලිය සමකරමින්.

තුන්වැනි තරගය ලකුණු 20කින් ජයග්‍රහණය කිරීමට කොදෙව් කණ්ඩායම සමත්වුවත්, සිව්වැනි තරගය ජය ගනිමින් එංගලන්තය තරගාවලිය සමකිරීමට සමත් වුනා. තරගාවලියේ ඉරණම තීරණය කළ පස්වැනි තරගය ලකුණු 17කින් ජයග්‍රහණය කරමින් කොදෙව් කණ්ඩායම තරගාවලිය 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

Jason Holder විසින් අවසන් තරගයේ දී වාර්තා කළ කඩුලු 4 විස්සයි විස්ස තරග ඉතිහාසයේ ජාත්‍යන්තර තරගයක දී පන්දු යවන්නෙකු විසින් පිට පිට කඩුලු 4ක් දවා ගත් සිව්වැනි අවස්ථාව ලෙස සටහන් වුනා.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක දී පළමු වරට පිට පිට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනේ ඇෆ්ගනිස්ථාන දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khan. ඔහු 2019 වසරේ දී අයර්ලන්තය සමඟින් පැවති තරගයක දී Kevin O’Brien, George Dockrell, Shane Getkate සහ Simi Singh දවා ගනිමින් එම වාර්තාවට හිමිකම් කීමට සමත් වුනා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නවසීලන්ත තරගයක දී පිට පිට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර එය වේගපන්දු යවන්නෙකු විසින් එම දස්කම දැක්වූ පළමු අවස්ථාව ලෙස සටහන් වුනා.

එහි දී ලසිත් මාලිංග විසින් Colin Munro, Hamish Rutherford, Colin de Grandhomme සහ Ross Taylor දවා ගැනීමට සමත් වුනා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ලසිත් මාලිංග විසින් පිට පිට කඩුලු හතරක් දවා ගත් දෙවැනි අවස්ථාව ලෙස මෙය සටහන් වුනා.

පසුගිය දා නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී අයර්ලන්ත ක්‍රීඩක Curtis Campher කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා. එහි දී Curtis Campher විසින් නෙදර්ලන්ත ක්‍රීඩකයන් වන Colin Ackermann, Ryan ten Doeschate, Scott Edwards සහ Roelof van der Merwe දවා ගැනීමට සමත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<