ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් තවත් ආබාධයක්

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

556

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (25) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. 

එසේ තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු භානුක රාජපක්ෂගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙන්නේ ඔහුගේ ඇඟිල්ලේ ඇතිව තිබෙන ආබාධයක් නිසයි.

ප්‍රහාරාත්මක වමත් පිතිකරුවෙක් වන රාජපක්ෂ දෙරට අතර පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගයේ දී ලකුණු 65ක් ලබාගෙන තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට විශාල සහයක් ලබා දුන්නා. 

ඔහුගේ ඇඟිල්ලේ ඇතිව තිබෙන මේ ආබාධය සඳහා ස්කෑන් පරීක්ෂණයක් සිදු කර තිබෙන අතර එයට අනුව ඔහුට මේ මුළු විස්සයි විස්ස තරගාවලියම මඟ හැරී යාමට වැඩි ඉඩක් තිබෙන බවයි ThePapare.com වෙත වාර්තා වන්නේ.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ අනුව ඔහු වෙනුවෙන් බොහෝ දුරට අශේන් බණ්ඩාර අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙන අතර බණ්ඩාරට අමතරව නිත්‍ය පිතිකරුවන් ලෙස මේ සංචිතයේ සිටින්නේ සදීර සමරවික්‍රම සහ පැතුම් නිස්සංක පමණයි.

කෙසේ නමුත් පාදයේ කලව ආශ්‍රිතව ඇතිව තිබූ මස්පිඩු ඇදීමක් නිසා තුන්වැනි එක්දින තරගයට ක්‍රීඩා නොකළ වනිඳු හසරංග අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට සූදානමින් සිටිනවා. ඒ අනුව රමේෂ් මෙන්ඩිස් වෙනුවට වනිඳු හසරංග කණ්ඩායමට පැමිණීමට ඉඩ තිබෙන බවයි වාර්තා වන්නේ.

දෙවැනි එක්දින තරගය ක්‍රීඩා කළ වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ද ආබාධයක් නිසාවෙන් තෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කළේ  නැහැ. එම ආබාධය නිසා ඔහුට මේ විස්සයි විස්ස තරගාවලියම මඟ හැරී යන නිසාවෙන් ඒ වෙනුවෙන් නවක ක්‍රීඩක 24 හැවිරිදි උදිත් මදුශාන් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

වමතින් වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුගේ එම වම් පාදයේ වළලුකර ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධය නිසා සම්පූර්ණ එක්දින තරගාවලියම ඔහුට මඟ හැරී ගියා. නමුත් විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වන විට එම ආබාධය හොඳ මට්ටමකට හැරෙනු ඇති බවට විශ්වාස කළ ද, එය එසේ සිදුව නොමැති බවයි දැන ගන්නට ලැබෙන්නේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 25, 27 සහ 29 යන දිනවල දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<