සිව් වසරකට පසුව නැවතත් යොවුන් ලෝක කුසලානය ඉන්දියාවට

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

349

පුරා සති 3කට ආසන්න කාලයක් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාව අද (6) අලුයම සමත් වුනා.

ඉන්දියාව යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ජය ගත් පස්වැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

තීරණාත්මක අවසන් මහා තරගයේ දී ඉන්දියාව හමුවේ කඩුලු 4කින් පරාජයට පත්වුණු එංගලන්තය මෙවර තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් අතර ඔවුන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් දෙවැනි අවස්ථාව (1998 – ශූරතාවය, 2022 – අනුශූරතාවය) මෙයයි.

Antigua හි Sir Vivian Richards ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්තයට පන්දුවාර 44කුත් පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 189ක් පමණයි.

එංගලන්ත පළමු කඩුලු 7 ලකුණු 91ක් තුල බිඳ වැටී අසීරු අවස්ථාවකට පත්ව සිටි මොහොතේ දී, James Rew සහ James Sales එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93ක සබදතාවයක් ගොඩනංවමින් හොඳ ලකුණක් වෙත සිය කණ්ඩායම රැගෙන යාමට අවශ්‍ය පසුපෙළ අඩිතාලම සකස් කළා.

Rew 4 පහර 12ක් එල්ල කරමින් පන්දු 116ක දී ලකුණු 95ක් ලබාගෙන සිය ශතකයට ආසන්නව සිටිය දී Kaushal Tambe රැක ගත් දක්ෂ උඩපන්දුව නිසා පිටියෙන් ඉවත්ව ගියා. පන්දු 65කට මුහුණ දුන් Sales 4 පහර 2ක් එල්ල කරමින් නොදැවී ලකුණු 34*ක් ලබා ගත්තා. ඔවුන්ගේ ආරම්භක පිතිකරු George Thomas ලකුණු 27ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන Raj Bawa කඩුලු 5ක් බිද හෙළුවා. ඊට අමතරව ඔහුට අගනා සහයක් ලබා දුන් වමතින් වේගපන්දු යවන Ravi Kumar කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය යොවුන් කණ්ඩායම පන්දුවාර 47කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉන්දීය මුල්පෙළ පිතිකරු Shaik Rasheed 4 පහර 6ක් එල්ල කරමින් ලකුණු 50ක් ද, Raj Bawa 4 පහර 2ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් පන්දු 54ක දී ලකුණු 35ක් ද ලබා ගත්තා.

4 පහර 5ක් සහ එක් 6 පහරක් සමඟ පන්දු 54කට මුහුණ දුන් වමතින් පිතිකරණයේ නිරත වන Nishant Sindhu නොදැවී ලකුණු 50*ක් ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රාහී සීමාව කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී Joshua Boyden, James Sales හා Thomas Aspinwall යන වේගපන්දු යවන්නන් කඩුලු 2 බැගින් බිද හෙළුවා.

දකුණු අප්‍රිකාවේ Dewald Brevis (ලකුණු 506) මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත්වෙද්දී, ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ (කඩුලු 17) මෙවර තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත්වුනා.

  • තරගයේ වීරයා – Raj Bawa (ඉන්දියාව)
  • තරගාවලියේ වීරයා – Dewald Brevis (දකුණු අප්‍රිකාව)

මෙවර තරගාවලිය සඳහා සහභාගී වුනු ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානය දිනා ගනිමින් 2022 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් කිරීමට සමත් වුනා. එසේම මේ තරගාවලියේ දී හොඳින් දක්ෂතා දැක්වූ නායක දුනිත් ඇතුළු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ මස 8 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<