ආසියා කුසලානය හිතේ මවා ගෙන ඉන්දියාව ජය සමරයි!

Asia Cup 2025

5
Asia Cup 2025

2025 ආසියානු කුසලානය ඊයේ (28) දිනයෙන් නිමාවට පත් වුනේ  ඉන්දියාව 09 වැනි වරටත් ආසියානු ශූරයින් බවට පත් වෙමිනුයි.

නමුත් ඔවුන්ට ඊයේ දිනයේ දී තමන් උරුම කර ගත් කුසලානයේ පහස විඳීමට හැකියාවක් ලැබුණේ නැහැ.

මේ වන විට ලෝක ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ අවධානය යොමු කරන සියලු දෙනාගේ කතාබහට තුඩු දී ඇති ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් අර්බුදයේ උච්චතම අවස්ථාව සනිටුහන් කරමින් ඊයේ ඉන්දීය නායක Suryakumar Yadav විසින් තමන් අතට නොලැබුණු ආසියානු කුසලානය වෙනුවට, හිතින් මවා ගත් කුසලානයක් සමඟ තම කණ්ඩායම් සගයන් වෙතට ඇවිද යන අයුරු සහ ඉන් පසුව ඉන්දීය ක්‍රීඩකයින් තමන්ට හිමි කුසලානය නොමැතිව ජය සමරන අයුරු දක්නට ලැබුණා.

මෙවර ආසියානු කුසලානය ආරම්භ වීමත් සමඟම ඉන්දු පාකිස්තාන අර්බුදය පිළිබඳ කතාබහ ආරම්භ වූ අතර, දෙරට අතර මූලික වටයේ දී ක්‍රියාත්මක වූ පළමු තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයින් පාකිස්තානය සමඟ අතට අත දීමෙන් වැළකී සිටි අතර, මෙය බොහෝ දෙනා පුදුමයට පත් කළ ක්‍රියාවක් වුනා.

ඉන්දු, පාකිස්තාන අර්බුදය දශක ගණනක් මුළුල්ලේ ඇදී යන එකක් වන අතර, වැඩිමනක් දේශපාලනික ස්වරූපයක් ගනිමින් මෙම ගැටලුව දෙස ජාත්‍යන්තරයේ අවධානය යොමු වුනා. කෙසේ වෙතත් එම ගැට‍ළු වරින් වර ක්‍රිකට් ක්‍රීඩාව කරා ද ඇදී ආ අතර, ඒවාට ද විශේෂ අවධානයක් යොමු වුනා.

කෙසේ වෙතත් මෑත කාලීන ව දෙරට අතර කෙතරම් අර්බුද පැවතුනත් ක්‍රීඩකයින් විසින් එම ගැටලු ක්‍රීඩා පිටිය වෙත රැගෙන ඒමෙන් වැළකී සිටියා.

නමුත් මෙවර ආසියානු කුසලානයේ දී කිසිවකු හෝ නොසිතූ අයුරින් මෙම ගැට‍ළු නැවතත් ක්‍රීඩා පිටියට තුළ පැමිණියා.

මට විශ්වාසයි ඔහු (Suryakumar) ඔහුට ලැබුණු උපදෙස් මත ක්‍රියාකරපු බව. නමුත් ඒ තීරණය ඔහුට ගන්න සිදු වුනා නම් ඔහු මා සමඟ අතට අත දේවී.

පාකිස්තාන ක්‍රිකට් නායක Salman Agha විසින් ඊයේ තරගාවලිය නිමා වීමෙන් අනතුරුව එසේ සඳහන් කළා.

ඔහු තරගාවලිය ආරම්භ වෙන්න කලින් පෞද්ගලිකව මුණ ගැසුණු වෙලාවක මට අතට අත දුන්නා. නමුත් ලෝකය ඉදිරියට එද්දී, කැමරාව ඉදිරිපිට දී ඔවුන් අපි එක්ක අතට අත දුන්නේ නැහැ.

Salman Agha විසින් අදාළ සිදුවීම පිළිබඳ එසේ සඳහන් කරනවා.

මෙවර තරගාවලිය අතරතුර ඉන්දීය නායක Suryakumar Yadav විසින් සිදු කළ ප්‍රකාශ කිහිපයක් නිසා ඔහුට ICC මගින් දඩ නියම වූ අතර, පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Haris Raufට ද තරගයක් අතරතුර සිදු කළ ගුවන් යානයක් සම්බන්ධ ඉඟි කිරීමකට දඩ නියම වුනා.

නමුත් ඊයේ දිනය තුළ මෙම සියලු සිදුවීම් වෙනම ම තලයකට රැගෙන යාමට ඉන්දියාව සහ පාකිස්තානය සමත් වුනා.

ඊයේ දිනයේ තරගය නිමා වීමෙන් අනතුරුව මිනිත්තු 90ක පමණ කාලයක් තරගාවලියේ කුසලානය ප්‍රධාන කිරීමේ උත්සවය ප්‍රමාද වුනා. ප්‍රමාධ වීමෙන් අනතුරුව ආරම්භ උත්සවයේ දී ඉන්දියාව විසින් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති Moshin Naqvi අතින් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා.

Naqvi ආසියානු ක්‍රිකට් කවුන්සිලය් සභාපති මෙන්ම, පාකිස්තාන ක්‍රිකට් සභාපති ධුරය ද දරන අතර, ඊට අමතරව පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු ඇමති ධුරය ද හොබවනු ලබනවා. මෙම හේතු නිසා ඉන්දීය ක්‍රීඩකයින් සම්මාන ප්‍රදානෝත්සවයට පැමිණීම වර්ජනය කළ බව අනුමාන කළ හැකි.

ඉන්දියාව මේ තරගාවලියේ දී සිදු කළ දේ සෑහෙන්න කලකිරීමට පත් කරවන සුළුයි. ඔවුන් අපිට නෙවෙයි අගෞරව කළේ. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට අපහාස කළා. හොඳ කණ්ඩායම් ඔවුන් කළ දේ කරන්නේ නැහැ.

මම පාකිස්තාන ක්‍රිකට් නායකයා විතරක්  නෙවෙයි. මම ක්‍රිකට් රසිකයෙක්. ඉන්දියාවේ හෝ පාකිස්තානයේ ඉන්න දරුවන් මේක බලන් ඉන්නවා නම් අපි මේ ඔවුන්ට දෙන්නේ හොඳ පණිවිඩයක් නෙවෙයි. මේ සිදු වු දේ සිදු නොවිය යුතු එකක්. නමුත් ඔබ මගෙන් නෙවෙයි, මේ සඳහා වගකිව යුතු ඉන්දියාවෙන් මේ ගැන විමසිය යුතුයි.

මේ සිදු වූ සෑම දෙයක්  පෙර සිදු වූ ක්‍රියාවන් වල ප්‍රතිඵලයක්. ACC සභාපති තමයි ජයග්‍රාහකයින්ට කුසලානය ලබා දිය යුතු. ඔබ ඔවුන්ගෙන් කුසලානය ලබා ගන්නේ නැත්නම්, කොහොමද ඒක ලබාගන්නේ?“.

තරගයෙන් අනතුරුව පාකිස්තාන නායකයා විසින් එසේ මෙම සිදුවීම පිළිබඳ සිය අදහස් පළ කළා.

ඉන්දීය ක්‍රීඩකයින් කුසලානය ලබා ගැනීමට නොපැමිණි අතරම, ඒ ආසන්න කාලය තුළ කුසලානය ක්‍රීඩා පිටියෙන් ඉවත් කළා. පසුව පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයින් පෙර සඳහන් කළ අයුරින් සිතින් මවා ගත් කුසලානයක් සමඟ සිය ජයග්‍රහණය සැමරුවා.

ආසියානු කුසලානය ACC සභාපති අතින් බාර නොගෙන ඉන්න අපි තීරණය කළා. ඔහු පාකිස්තානයේ ප්‍රබල දේශපාලනික නායකයෙක් ලෙස කටයුතු කරනවා. 

නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එතුමාට කුසලානය එක්ක පදක්කම් අරන් යන්න පුළුවන් කියලා. ඒක හරිම අවාසනාවන්ත සිදුවීමක්. ඒ වගේම පදක්කම් සහ කුසලානය ඉක්මනින් ආපසු ඉන්දියාවට ලැබේ ව කියලා අපි බලාපොරොත්තු වෙනවා.

එළඹෙන නොවැම්බර් මාසයේ දී ඩුබායි වල ICC සමුළුවක් පැවැත්වීමට නියමිතයි. එතන දී ACC සභාපතිට විරුද්ධව විශාල විරෝධතාවක් දියත් කරනවා

BCCI ලේකම් ලෙස කටයුතු කරන Devajit Saikia විසින් අදාළ සිදුවීම පිළිබඳ ඉන්දීය පාර්ශවයෙන් අදහස් දක්වා තිබුණා.

කෙසේ වෙතත් සම්මාන ප්‍රදානෝත්සවයේ දී කුසලානය ලබා ගැනීමට ඉන්දීය නායකයා ප්‍රමුඛ කණ්ඩායම පිටියට නොපැමිණියත්, පෞද්ගලික සම්මාන ලබා ගැනීම වෙනුවෙන් Kuldeep Yadav, Abhishek Sharma සග Tilak Varma පිටියට පිවිසුණා. එමෙන්ම ඉන් පසුව පාකිස්තාන නායකයා විසින් තරගාවලියේ අනුශූරතාවට හිමි චෙක් පත බාර ගැනීමට ද පැමිණියා.

මම ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් දිනයේ ඉඳලා මෙවැනි දෙයක් කවදාවත් දැකලා නැහැ. මම දැකලා නැහැ තරගාවලියක ශූරයින්ට කුසලානය අහිමි වෙනවා. ඒකත් මහන්සි වෙලා උපයා ගත කුසලානයක්. මම හිතන්නේ අපි ඒ කුසලානය ලබාගන්න ඉහළින්  සුදුසුයි. මට ඊට වඩා දෙයක් කියන්න බැහැ. 

කුසලානය ගැන කියනවා නම් මගේ කුසලාන අපේ Dressing Room එකේ වාඩි වෙලා ඉන්නවා. මා සමඟ සිටි 14 දෙනාම (ක්‍රීඩකයින්) සහ සහය කාර්ය මණ්ඩලය. ඒ තමයි ආසියානු කුසලාන ගමනේ අපේ සැබෑ  කුසලාන.

ඉන්දීය නායකයා විසින් අදාළ සිදුවීම පිළිබඳ එසේ සඳහන් කළා. එමෙන්ම මෙම කිසිදු ක්‍රියාවක් සඳහා කිසිවකුගේ හෝ බලපෑමක් තමාට එල්ල නොවූ බවත් ඔහු අවධාරණය කළා.

අපිට කවුරුවත් කිව්වේ නැහැ එහෙම දෙයක් කරන්න කියලා.

කෙසේ වෙතත් ඊයේ තම පෞද්ගලික සම්මාන ලබා ගැනීමට සහභාගී වූ ක්‍රීඩකයින් තිදෙනා ද ACC සභාපති Naqvi පිළිබඳ නොසලකමින් අනෙක් නිලධාරීන්ගෙන් අදාළ සම්මාන ලබා ගත් අතර, Naqviද ඔවුන් වෙනුවෙන් අත්පොළසන් නොදී සිටීමට වග බලාගත්තා.

ඒ අයුරින් ඊයේ දිනය සඳහා වූ ඉන්දු – පාකිස්තාන සිදුවීම අවසන් වුනා. නමුත් මේ වන විටත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ වීම සිදු වනවා. එය ක්‍රීඩාව පසුකර ගොස් දේශපාලනික ස්වරූපයක් ගැනීමට බොහෝ ඉඩ කඩ පවතින බවත් පෙනෙන්නට තිබෙනවා.

>>තවත්විශේෂාංගලිපිසඳහාපිවිසෙන්න<<