දින 9722ක දකුණු අප්‍රිකානු “දේදුණු මෙහෙයුම”

ICC World Test Championship 2023 - 2025

4
ICC World Test Championship 2023 - 2025

දකුණු අප්‍රිකාව යනු විවිධ සංස්කෘතීන්, භාෂා සහ ආගම් ඇතුලත් බහු-වාර්ගික සමාජයක් ලෙසින් චිරප්‍රසිද්ධිත රටක්.  කාලයක් තිස්සේ එරට පැවැති දරුණු වර්ණභේදවාදය එරට ජන ජීවිත අකර්මන්‍ය කළ අතර සියලු කාර්යයන් ද බිඳ වැටීමකට ලක් වුණා. ඒ හේතුවෙන් ම එරට ක්‍රිකට් ක්‍රීඩාවට ද සිදු වෙන්නේ එහි ගොදුරක් බවට පත් වීමටයි.

1970 දශකයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවෙනවා. ඒ පැවැති වර්ණභේදවාදී ප්‍රශ්නය හේතුවෙනුයි. ඒ වෙද්දී ක්‍රිකට් කෙතේ ගෞරවනීය තත්ත්වයක සිටි ඔවුන්ට මෙය අදහාගත නොහැකි තීරණයක් වූවා. අනෙක් අතට ටෙස්ට් පිටියට එක් වූ ලොව තෙවැනි රට ලෙසයි දකුණු අප්‍රිකාව සැලකුණේ. එය ද මේ අදහාගත නොහැකි තත්ත්වයට හේතුවක් වූවා.

එහෙත් කළ යුතු කිසිවක් ම තිබුණේ නැහැ. රට පුරා පැවැති තත්ත්වයේ වෙනසක් එරට සෑම ක්‍රීඩාවක ම ක්‍රීඩකයෝ බලාපොරොත්තු වූව ද කාලයක් යනතුරු එවැන්නක් ඉටු වුවේ ද නැහැ. මේ හේතුව නිසා ම ඇතැම් දක්ෂ ක්‍රීඩකයන්ට සිදු වූයේ හුදකලාවේ ම ක්‍රීඩාවට නැවතීමේ තිත තැබීමටයි.

මේ තහනමෙන් දශකයක පමණ කාලයකට පසු ව ශ්‍රී ලංකාව ද මෙහි අනියම් ගොදුරක් බවට පත් වෙනවා. ඒ 1982 වසරේ දී බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 14 දෙනෙක් තහනම් දකුණු අප්‍රිකා දේශයේ තරග සංචාරයක යෙදීමෙනුයි.

කෙසේ වෙතත් කලක් යත් ම දකුණු අප්‍රිකාව එම තත්ත්වයෙන් මිදී වර්ණභේදවාදය තුරන් කිරිමට පූරෝගාමී වූ රටක් ලෙසින් හැඳින්වෙන්නට ගත්තා. ඒ හෙයින් ම “දේදුණු ජාතිය” නමින් ද ඔවුන්ට අලුත් නාමයක් පටබැඳුණා.

නමුත් තහනම් දකුණු අප්‍රිකා සංචාරයේ යෙදුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට නම් එහි වාසියක් ලැබුණේ නැහැ. සංචාරයෙන් අනතුරු ව එම ක්‍රීඩකයන්ට වසර 25ක ක්‍රිකට් තහනමක් මෙරටින් පැනවෙන අතර ඔවුන්ගේ එම කාලය ගෙවීමට පෙර දකුණු අප්‍රිකාවට නැවත ජාත්‍යන්තර තරග වරම් ලබා දීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කරනවා. නමුත් තහනම් දේශයේ කළ සංචාරක ක්‍රීඩකයන්ට නම් වාසියක් අත් වුණේ නැහැ.

වරණභේදවාදය හේතුවෙන් කටුක අතීතයක් ගත කළ ඔවුන් ඊටත් වඩා කටුක අතීතයක් ගෙවා දැම්මේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරනු ලබන තරගාවලියක් ජයගත නොහැකි කණ්ඩායමක්ය යන අවාසනාවන්ත තත්ත්වයෙන් සැලකීමයි.

එහෙත් එම ඉතිහාසය මකා දැමීමට Temba Bavuma ගේ නායකත්වයෙන් යුත් වර්තමාන දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායම සමත් වෙනවා. දකුණු අප්‍රිකාව මීට පෙර දිනා තිබු ඉතා වැදගත් ජයග්‍රහණයක් වී තිබුණේ 1998 වසරේ දී Hansie Cronje ගේ නායකත්වය යටතේ Wills International Cup එක්දින තරගාවලියයි. බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව ලැබූ එම ජයග්‍රහණයෙන් පසුව ගෙවී ගිය දින 9722ක මෙහෙයුමකින් පසුවයි ඔවුන් මෙම ජයග්‍රහණය ලබා ගන්නේ.

 ලෝක ටෙස්ට් ශූරතාවලියේ දකුණු අප්‍රිකානු ගමන් මඟ

  ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵලය ක්‍රීඩාංගණය තරගයේ වීරයා
1 ඉන්දියාව දකුණු අප්‍රිකාවට ඉනිමක සහ ලකුණු 32ක ජයක්. (2023 දෙසැම්බර්) Centurion Dean Elgar
2 ඉන්දියාව ඉන්දියාවට කඩුලු 7ක ජයක්.

(2024 ජනවාරි)

Cape Town Mohammed Siraj
3 නවසීලන්තය නවසීලන්තයට ලකුණු 281ක ජයක්. (2024 පෙබරවාරි) Maunganui Rachin Ravindra
4 නවසීලන්තය නවසීලන්තයට කඩුලු 7ක ජයක්. (2024 පෙබරවාරි) Hamilton Will O’Rourke
5 බටහිර ඉන්දීය කොදෙව් තරගයේ විසඳුමක් නෑ. (2024 අගෝස්තු) Trinidad Keshav Maharaj
6 බටහිර ඉන්දීය කොදෙව් දකුණු අප්‍රිකාවට  ලකුණු 40ක ජයක්. (2024 අගෝස්තු) Trinidad Keshav Maharaj
7 බංග්ලාදේශය දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්. (2024 ඔක්තෝබර්) Mirpur Kyle Verreynne
8 බංග්ලාදේශය දකුණු අප්‍රිකාවට ඉනිමක සහ ලකුණු 273ක ජයක්. (2024 ඔක්තෝබර්) Chattogram Tony de Zorzi
9 ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට ලකුණු 233ක ජයක්. (2024 නොවැම්බර්) Durban Marco Jansen
10 ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට ලකුණු 109ක ජයක්. (2024 දෙසැම්බර්) Gqeberha Dane Paterson
11 පාකිස්තානය දකුණු අප්‍රිකාවට කඩුලු 2ක ජයක්. (2024 දෙසැම්බර්) Centurion Aiden Markram
12 පාකිස්තානය දකුණු අප්‍රිකාවට කඩුලු 10ක ජයක්. (2025 ජනවාරි) Cape Town Ryan Rickelton
13 ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවට කඩුලු 5ක ජයක්. (2025 ජුනි) Lord’s Aiden Markram

දකුණු අප්‍රිකාව ලත් මෙම ජයග්‍රහණයේ දී සත්කාරක කණ්ඩායමක් ලෙසින් තරග 6ක දී කටයුතු කරන අතර එම තරගවලින් තරග 5ක් ම ජයග්‍රහණය කිරීමට සමත් වීම කැපී පෙණුනා. ඒ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ පැවැති තරගාවලි 2-0ක් ලෙසින් ජයග්‍රහණය කරන ඔවුන් ඉන්දියාව සමඟ පැවැති තරග ද්විත්වය නිමා කරන්නේ 1-1ක් ලෙසිනුයි.

සංචාරක තරග 6කට එක් වෙන ඔවුන් එහි දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව පැවැති තරග ද්විත්වය 1-0ක් ලෙසින් ද බංග්ලාදේශයට එරෙහි ව තරග 2-0ක් ලෙසින් ද ජයග්‍රහණය කරද්දී නවසීලන්තය ඉදිරියේ තරග 2-0ක් ලෙසින් පරාජයට පත් වෙමින් අවසන් කරනවා.

ඉන් අනතුරුවයි Lord’s හී පැවැති අවසන් මහා තරගය ජයග්‍රහණයෙන් නිමා වෙන්නේ.

මේ ජයග්‍රහණයේ දකුණු අප්‍රිකා නියමුවා බවට පත් වෙන්නේ 35 හැවිරිදි වියේ පසුවෙන Temba Bavuma. අනෙකුත් ක්‍රීඩකයන් හා ගත් කළ තරමක් උසින් අඩු මේ නායකයාට දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි වෙන්නේ 2023 වසරේ පළමු කාර්තුවේ දී. ඒ වෙද්දී දකුණු අප්‍රිකානුවෝ ලෝක ටෙස්ට් තරගාවලියේ තරග ත්‍රිත්වයක් ක්‍රීඩා කර තිබුණා.

එතැන් සිට ගෙවීගිය තරග 10 දකුණු අප්‍රිකාව එක්වෙන්නේ මේ නවක නායකයා යටතේයි. ඉන් තරග 8ක් ම ජයග්‍රහණයෙන් කෙළවර කිරිමට Temba Bavuma සමත් වෙන අතර, හා හා පුරා කියා කාසියේ වාසිය උරගා බැලූ නවසීලන්තය හා සමඟ පැවැති පළමු තරගය පරාජය ලබා අවසන් කිරීමට ඔහුට සිදු වෙනවා. අනතුරු ව පැවැති බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තරගය විසඳුමකින් තොරව අවසන් කරන ඔහු එතැන් සිට ලත් ජයග්‍රහණය 8කින් තරගාවලිය අවසන් කරනවා.

ටෙස්ට් තරග 64ක් ක්‍රීඩා කර ඇති Temba Bavuma ගේ හොඳම ඉනිම තමන්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කිරීමට ද ඔහු සමත් වෙනවා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දු 280කට මුහුණ දෙමින් හතරරේ පහර 20ක් සමගින් ලකුණු 172ක් ලබා ගනිමිනුයි. එමෙන් ම ටෙස්ට් තරග දිවියේ වාර්තා කරන ශතක 4න් ශතක 3ක් ම තම නායකත්වයේ සිටිමින් වාර්තා කිරීමට ද ඔහු සමත් වෙනවා.

ඉතිහාසගත මෙම අවසන් තරගයේ දී ද Temba Bavuma පිතිකරුවෙක්ගේ භූමිකාව මනාව ඉටු කරනු ලබනවා. ඔහු පළමු ඉනිමේ දී පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර4ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 36ක් ද සහ 2 වැනි ඉනිමේදී පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 66ක් ද ලබා ගන්නවා. මේ අතුරින් තීරණාත්මක දෙවැනි ඉනිමේ දී Aiden Markram එක් ව එක් වෙන ඔහු 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 147ක සබඳතාවක් ගොඩ නැගීමට ද දායක වෙනවා.

මෙම ජයග්‍රහණය පිටුපස සිටි තවත් වැදගත් ක්‍රීඩකයෙක් බවට පත් වීමට 30 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Aiden Markram සමත් වෙනවා. ඔහු මෙම තරගයේ පළමු ඉනිමේ දී ලකුණු නොලබා දැවී යන අතර 2 වැනි ඉනිමේ දී ශතකයක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යනවා.

එම වගකීම් සහිත ඉනිමේ දී පන්දු 207කට මුහුණ දෙන ඔහු හතරේ පහරක් සමඟින් ලකුණු 136ක් ලබා ගන්නා අතර ඔහු ඉනිම හැර යන්නේ තරගයේ ජයග්‍රහණයට ලකුණු 6ක් මෙපිටින් සිටියදීයි.

ඔහුගේ පිත්තෙන් ශතකයක් වාර්තා වෙන්නේ ගිය වසරේ ජනවාරි මාසයේ දී ඉන්දියාවට එරෙහිව වාර්තා කරන ලද ශතකයට පසුව වීමත් විශේෂත්වයක්.

එමෙන් ම Aiden Markram ගේ මෙම ශතකය Lord’s ක්‍රීඩාංගණයේදී පිතිකරුවෙක් පළමු ඉනිමේදී ලකුණු නොලබා දැවී ගොස් දෙවනි ඉනිමේදී ශතකයක් වාර්තා කළ ක්‍රීඩකයන් අතර 2 වැනි පිතිකරු බවට පත් වෙනවා. එවන් දක්ෂතාවක් කළ පළමු ක්‍රීඩකයා වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Roy Fredericks. ඔහු මෙම දක්ෂතාව දක්වන්නේ 1976 වසරේ දී එංගලන්තයට එරෙහිවයි.

Aiden Markram යනු 2014 වසරේ දී දකුණු අප්‍රිකාවට වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලානය දිනා දුන් නායකයායි. පාකිස්තානය සමඟ පැවැති එම අවසන් මහා තරගයේ දී ද ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කළ ඔහු පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 66ක් ලබා ගන්නවා. ඔහු එම තරගාවලියේ දී ශතක 2ක් සහ අර්ධ ශතයක් සමඟින් ලකුණු 370ක් ලබා ගන්නා ලද අතර ඔහු තරගාවලිය නිමා කරන්නේ තරගාවලියේ වීරයා බවට ද පත් වෙමිනුයි.

දකුණු අප්‍රිකානුවන් ලැබූ මෙම ජයග්‍රහණය තවත් ලෙසකින් ඔවුන්ට වැදගත් වෙන්නේ පළමු ඉනිම පරාජයට පත් වෙමින් ලත් ජයග්‍රහණයක් ද වන බැවිනුයි. පළමු ඉනිම අවසන් වන විට ලකුණු 74ක් පිටුපසින් සිටින ඔවුන්ට ප්‍රතිවාදීන්ගේ දෙවැනි ඉනිම නිමාවත් සමඟ ලැබුණ ලකුණු 282ක ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී යමිනුයි ඔවුන් ලබා ගන්නේ.

එය ද ටෙස්ට් ක්‍රිකට් ලෝක ඉතිහාසයට වාර්තා කිහිපයක් ම එක් කරන්නක් ද වූවා. එහි දී ඔවුන් Lord’s ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාවකින් යුත් 2 වැනි සම ස්ථානය ලබා ගන්නවා.

එහි පළමු ස්ථානයේ රැදී සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව්වෝ යි. 1984 දී එංගලන්තය විසින් ලබා දුන් ලකුණු 342ක් හඹා යමින් කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමින් ලත් තරග ජයග්‍රහණයත් සමඟින් ඔවුන් ඊට හිමිකම් කියනවා.

අනතුරු ව දකුණු අප්‍රිකානුවෝ මෙවර මෙම හඹා යෑමට පෙර 2004 වසරේදී නවසීලන්තය විසින් එංගලන්ත කණ්ඩායමට ලකුණු 282ක ඉලක්කයක් ලබා දුන් අතර එය ඔවුන් කඩුලු 3ක් පමණක් දැවී ලැබ ගනිමින් එහි රැඳී සිටියා.

එමෙන් ඔවුන්ගේ මෙම ඉනිම දකුණු අප්‍රිකා ටෙස්ට් ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව හඹායමින් ජයග්‍රහණය කළ ඉනිම් අතර 5 වැනි ස්ථානයට පත්  ඉනිම ද වූවා. ඔවුන් ඊට පෙර 2008 වසරේදී ලකුණු 414ක් ද, 2002 වසරේ දී ලකුණු 335ක් ද, 1953 වසරේදී ලකුණු 295ක් ද සහ 1906 වසරේදී ලකුණු 284ක ඉලකයක්ද හඹා ගොස් ජයග්‍රහණ ලබා තිබෙනවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

  • තරගයේ වීරයා – Aiden Markram(දකුණු අප්‍රිකාව)

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<