ලෝක කුසලාන සැරසූ ලළනාවෝ

ICC Women's World Cup

2
ICC Women's World Cup

රටවල් 2ක දී කණ්ඩායම් 8ක්, තරග 31ක දී එක් කුසලානයක් වෙනුවෙන් සටන් වඳින 13 වැනි කාන්තා ලෝක කුසලාන තරගාවලිය මේ මස 30 වැනිදා සිට නොවැම්බර් මස 2 වැනිදා දක්වා ඉන්දියාවේ දී සහ ශ්‍රී ලංකාවේ දී ආරම්භ වීමට නියමිතයි. සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු වටයේ තරග 28න් තරග 17ක් ඉන්දියාවේ දී පැවැත්වෙන අතර තරග 11ක් මෙරට දී පැවැත්වීමට නියමිතයි.

මෙරට දී පැවැත්වෙන තරග සියල්ල ම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට යෝජිතයි.

ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන තරග කාලසටහන

ඔක්තෝබර් 02 : බංග්ලාදේශය සහ පාකිස්තානය අතර තරගය

ඔක්තෝබර් 04 : ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය

ඔක්තෝබර් 05 : ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය

ඔක්තෝබර් 08 : ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගය

ඔක්තෝබර් 11 : ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය

ඔක්තෝබර් 14 : ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය

ඔක්තෝබර් 15 : එංගලන්තය සහ පාකිස්තානය තරගය

ඔක්තෝබර් 17 : ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය

ඔක්තෝබර් 18 : නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගය

ඔක්තෝබර් 21 : පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය

ඔක්තෝබර් 24 : ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ඔක්තෝබර් මස 29 සහ 30 වැනි දින පැවැත්වීමට නියමිත අතර ඉන් එක් තරගයක් ඉන්දියාවේ දී පැවැත්වීමට යෝජිත අතර අනෙක් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය, පාකිස්තානය මෙම වටය නියෝජනය කිරීම හෝ නොකිරීම අනුව තීරණය වේ. නොවැම්බර් මස 2 වැනිදා පැවැත්වෙන තරගය ද ඒ අනුව යමින් කොළඹ දී හෝ Mumbai හි දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වය දක්වන සිව් වන අවස්ථාව මෙය වන අතර ඔවුන් මීට පෙර 1978, 1997 සහ 2013 වසරවල දී ද සත්කාරකත්වය දැක් වු අතර  ශ්‍රී ලංකාව සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාව මෙයයි.

කාන්තා ලෝක කුසලාන ගමන් මඟ

  සත්කාරකත්වය වසර තරගයේ විසඳුම අනුශූරියන්
1 එංගලන්තය 1973 එංගලන්තයට ජය (ප්‍රසාද ලකුණු 20) ඕස්ට්‍රේලියාව
2 ඉන්දියාව 1978 ඕස්ට්‍රේලියාවට ජය (ප්‍රසාද ලකුණු 6) එංගලන්තය
3 නවසීලන්තය 1982 ඕස්ට්‍රේලියාවට කඩුලු 3ක ජයක්. එංගලන්තය
4 ඕස්ට්‍රේලියාව 1988 ඕස්ට්‍රේලියාවට කඩුලු 8ක ජයක්. එංගලන්තය
5 එංගලන්තය 1993 එංගලන්තයට ලකුණු 67ක ජයක්. නවසීලන්තය
6 ඉන්දියාව 1997 ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක්. නවසීලන්තය
7 නවසීලන්තය 2000 නවසීලන්තයට ලකුණු 4ක ජයක්. ඕස්ට්‍රේලියාව
8 දකුණු අප්‍රිකාව 2005 ඕස්ට්‍රේලියාවට ලකුණු 98ක ජයක්. ඉන්දියාව
9 ඕස්ට්‍රේලියාව 2009 එංගලන්තයට කඩුලු 4ක ජයක්. නවසීලන්තය
10 ඉන්දියාව 2013 ඕස්ට්‍රේලියාවට ලකුණු 114ක ජයක්. බ. ඉ. කෝ.
11 එංගලන්තය 2017 එංගලන්තයට ලකුණු 9ක ජයක්. ඉන්දියාව
12 නවසීලන්තය 2022 ඕස්ට්‍රේලියාවට ලකුණු 71ක ජයක්. එංගලන්තය

කාන්තා ලෝක කුසලාන තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම්

412/3 (50.0) : කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නේ ඕස්ට්‍රේලියාවයි. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ 1997 වසරේ ඩෙන්මාර්ක් කණ්ඩායමට එරෙහි ව Mumbai හි දී.

27/10 (13.4) : කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව වාර්තා වෙන්නේ පාකිස්තානය හමුවේයි. ඔවුන් මෙම ඉනිම ක්‍රීඩා කරන්නේ 1997 වසරේ Hyderabad හි දී.

678 : තරගයක දී කණ්ඩායම් ද්විත්වය එක් ව ලබා ගන්නා ලද වැඩිම ලකුණු එකතුව වාර්තා වෙන්නේ 2017 වසරේ දී Bristol හි දී එංගලන්තය සහ දකුණු අප්‍රිකාව ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාවයි.

55 : කණ්ඩායම් දෙකක් එක් ව තරගයක දී ලබා ගත් අඩු ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය එක් ව 1997 වසරේ Hyderabad හි දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාවයි.

363 : කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් ඉහළ ම ජයග්‍රහණය වාර්තා කරන්නේ 1997 වසරේ දී Mumbai හි දී ඩෙන්මාර්කයට එරෙහි ව ඕස්ට්‍රේලියාව ලබා ගත් ජයග්‍රහණයයි.

1501 : කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී පිතිකාරිනිය වන්නේ නවසීලන්තයේ Debbie Hockley. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ තරග 45ක ඉනිම් 43කට සහභාගී වෙමිනුයි. එහි දී ඇය ශතක 2ක් සහ අර්ධ ශතක 10ක් ද මේ ලකුණු අතරට එක් කරනවා.

229* : කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකාරිනියක් ඉනිමක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමේ ගෞරවය හිමිකර ගෙන සිටින්නේ ඕස්ට්‍රේලියාවේ Belinda Clark. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ 1997 වසරේ  Mumbai හි දී.

4x100s : කාන්තා ලෝක කුසලානයේ වැඩිම ශතක ප්‍රමාණයක් ලබා ගැනීමේ සම වාර්තාව එංගලන්තයේ Nat Sciver-Brunt, නවසීලන්තයේ Suzie Bates, එංගලන්තයේ Charlotte Edwards සහ Janette Brittin.

22x6s : කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩිකාව බවට පත් ව සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ Deandra Dottin.

124 : කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ හතරේ පහර සහ හයේ පහර මඟින් වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය වන්නේ ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු. ඇය මෙම දක්ෂතාව දක්වන්නේ 2017 වසරේ Bristol හි දී ඕස්ට්‍රේලියාවට එරෙහිවයි.

509 : එක් තරගාවලියක වැඩිම ලකුණු ලැබූ පිතිකාරිනය වන්නේ ඕස්ට්‍රේලියාවේ Alyssa Healy. ඇය 2021 වසරේ දී ඉනිම 9ක දී මෙම දක්ෂතාව සිදු කරනවා.

43 : කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නිය වන්නේ ඉන්දියාවේ Jhulan Goswami. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ තරග 34ක දී පන්දුවාර 270.3ක් යවමිනුයි.

 6/10 (8.0) : කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව සතු වෙන්නේ නවසීලන්තයේ Jackie Lord. ඇය මෙම දක්ෂතාව දක්වන්නේ ඉන්දියාවට එරෙහි ව 1982 වසරේ දී Auckland හි දී.

23 : ලෝක කුසලාන ඉතිහාසයේ එක් තරගාවලියක වැඩිම කඩුලුලාභී පන්දු යවන්නිය වන්නේ ඕස්ට්‍රේලියාවේ Lyn Fullston. ඇය මෙම දක්ෂතාව දක්වන්නේ 1982 වසරේ නවසීලන්තයේ දී පැවැති තරගාවලියේදීයි.

40 : කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට සම්මාදම් වූ කඩුලු රකින්නිය බවට පත් වූයේ එංගලන්තයේ Jane Smit.

275 : ලෝක කුසලාන ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම සබඳතාව වාර්තා කිරීමේ ගෞරවය හිමි වෙන්නේ එංගලන්තයේ  Tammy Beaumont සහ Sarah Taylor හට. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ 2017 වසරේ Bristol හි දී දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

45 : කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරග ප්‍රමාණයකට සහභාගී වූ ක්‍රීඩිකාව වන්නේ නවසීලන්තයේ Debbie Hockley.

28 : කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරග ප්‍රමාණයක් මෙහෙයවූ නායිකාව වන්නේ ඉන්දියාවේ Mithali Raj.

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<