ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තීරණාත්මක කඩඉම්වලට

ICC Men's T20 World Cup 2026

3
ICC Men's T20 World Cup
ICC Men's T20 World Cup

10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තවත් තරග ද්විත්වය (26දා) නිමා වූවා. එහී දී දකුණු අප්‍රිකාව සහ ඉන්දීයාව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙනවා.

පැවැති තරග ද්විත්වය ම සුපිරි 8 වටයේ 1 කාණ්ඩයේ තරග වන අතර මේ වෙද්දී එම කාණ්ඩයේ සියලු කණ්ඩායම් තරග ද්විත්වය බැගින් ක්‍රීඩා කර තිබෙනවා. ඒ අනුව සුසැදි ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කළ දකුණු අප්‍රිකාව විසින් ද 2 වැනි ස්ථානය එම තරගයෙන් පරාජිත බටහිර ඉන්දිය කොදෙව්වෝ ද සහ සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කළ ඉන්දියාව 3 වැනි ස්ථානයේ ද අසුන් වෙන්කර ගත්තා.

ඔවුන් අතුරින් පළමු ස්ථානයට පත් දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 4ක් හිමිකර ගෙන පහසුවෙන් ම අවසන් පූර්ව වටයට පිවිසීමේ මාර්ගය විවර කරගෙන ඇති අතර බටහිර ඉන්දිය කොදෙව්වන් සහ ඉන්දියානුවන් ප්‍රසාද ලකුණු 2ක් ලබා ගනිමින් තවත් තීරණාත්මක තරගයකට පිවිසීමේ සූදානමින් සිටී.

>>සත්කාරකයෝ සුපිරි 8 පළමු තරග පරාජය වෙයි<<

47 වැනි තරගය (දිවා/රාත්‍රී), Super 8s, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව අතර

Ahmedabad හී Narendra Modi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 176ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තවත් පන්දු 23ක් ද ඉතිරි කර ගනිමින් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Romario Shepherd. ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තා.

ඊට අමතර ව Jason Holder පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 57ක දී ලකුණු 89ක් එක් කරනවා. ඔවුන් දෙදෙනා ට අමතර ව ආරම්භක පිතිකරු Brandon King පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Lungi Ngidi ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව Kagiso Rabada සහ Corbin Bosch කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ නායක Aiden Markram සහ Quinton de Kock එක් ව පළමු කඩුල්ලට ලකුණු 95ක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Quinton de Kock ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු ඒ වෙද්දී පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා.

තරගය නිමා වන විට ආරම්භක පිතිකරු Aiden Markram පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 82ක් ලබා ගත්තා. එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ 14 වැනි අර්ධ ශතකයයි. ඊට අමතර ව Ryan Rickelton පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබා ගන්නවා.

ඔවුන් දෙදෙනා තරගය ජයග්‍රහණය කරා රැගෙන යද්දී 2 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 82ක් එක් කර තිබුණා. දකුණු අප්‍රිකානු ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Roston Chase සතු වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 8ක් දැවී 176 (20.0) Brandon King 21, Jason Holder 49, Romario Shepherd නොදැවී 52, Kagiso Rabada 2/22, Lungi Ngidi 3/30, Corbin Bosch 2/31
  • දකුණු අප්‍රිකාව – කඩුල්ලක් දැවී 177 (16.1) Aiden Markram නොදැවී 82, Quinton de Kock 47, Ryan Rickelton නොදැවී 45

දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

තරගයේ වීරයා – Aiden Markram (දකුණු අප්‍රිකාව)

48 වැනි තරගය (දිවා/රාත්‍රී), Super 8s, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව අතර

Chennai හි MA Chidambaram ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 256ක් ලබා ගන්නවා.

ඔවුන් තම ඉනිම ආරම්භ කරන්නේ තම පළමු පන්දුවාර 6ට ලකුණු 80ක් ලබා ගනිමිනුයි. ඒ වෙද්දී ඔවුන්ගේ අහිමි ව යන්නේ එක් කඩුල්ලක් පමණයි. Sanju Samson පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 24කට දැවී යද්දී ඉන්දීය ඉනිම කියැවුණේ ලකුණු 48ක් ලෙසයි.

අනතුරු ව 2 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ  Abhishek Sharma සහ Ishan Kishan එක් ව ලකුණු 72ක සබඳතාවක් ගොඩ නගනවා. එම සබඳතාව බිඳ වැටෙන්නේ Ishan Kishan ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා.

Abhishek Sharma ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 55ක් ලබා සිටියා. එය ඔහුගේ තරග 43ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ 9 වැනි අර්ධ ශතකයයි.

අනතුරු ව නායක Suryakumar Yadav ද ලකුණු 33ක් ලබා ගන්නවා. හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් ද එම ඇතුලත් වූ එම ඉනිමට වැය වන්නේ පන්දු 13ක් පමණයි.

ඉන්දීය ඉනිම අවසන් වන විට Hardik Pandya සහ Tilak Varma එක් ව ඉනිමේ 5 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 84ක් එක් කරනවා.

එහි දී Hardik Pandya පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී 50ක් ලබා ගත් අතර එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 135ක 9 වැනි ශතකයයි. Tilak Varma පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Sikandar Raza, Tinotenda Maposa, Blessing Muzarabani සහ Richard Ngarava කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සිම්බාබ්වේ ක්‍රීඩකයෝ පළමු පන්දුවාර 6 දී ලකුණු 7.3ක වේගයක් රඳවා ගන්නවා. ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Tadiwanashe Marumani පන්දු 20ක දී හයේ පහර ද්විත්වයක් සමඟින් ලකුණු 20කට දැවී යෑමත් සමඟිනුයි.

ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඔහු සහ Brian Bennett හා එක් ව ලකුණු 44ක සබඳතාවක් එක් කරනවා.

එම සබඳතාවයෙන් අනතුරුව සිම්බාබ්වේ ඉනිමේ නැවත තරගකාරී ලකුණු සබඳතාවක් එක් වෙන්නේ 3 වැනි කඩුල්ල සඳහායි. එහි දී Brian Bennett සහ නායක Sikandar Raza එක් වෙන අතර ඔවුන් අතර පැවැති ලකුණු සබඳතාව 72ක්.

Sikandar Raza පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

අනතුරුව තවත් ලකුණු 29ක් සිම්බාබ්වේ කණඩායමට එක්වෙද්දී කඩුලු 3ක් ද අහිමි වෙන අතර එලෙසින් අසරණ වූ සිම්බාබ්වේ ඉනිම අවසන් වෙද්දී එක් අන්තයක නොදැවී රැඳී සිටි ආරම්භක පිතිකරු  Brian Bennett පන්දු 59කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 97ක් ලබා සිටියා. ඔහුගේ ඉනිම හයේ පහර 6කින් සහ හතරේ පහර 8කින් සරසාලීමට ද ඔහු සමත් වූ අතර එම ඉනිම ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 57 ක 12 වැනි අර්ධ ශතක ඉනිමයි.

සිම්බාබ්වේ ඉනිම පාලනය කිරීමේ දී ආරම්භක වමත් මඳ වේග පන්දු යවන Arshdeep Singh තම පන්දුවාර 4 ලකුණු 24කට සීමා කරමින් කඩුලු 3ක් දවා ගත්තා.

ඊට අමතර ව Varun Chakravarthy, Axar Patel සහ Shivam Dube කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීයාව – කඩුලු 4ක් දැවී 256 (20.0) Sanju Samson 24, Abhishek Sharma 55, Ishan Kishan 38, Suryakumar Yadav 33, Hardik Pandya නොදැවී 50, Tilak Varma නොදැවී 44,
  • සිම්බාබ්වේ – කඩුලු 6ක් දැවී 184 (20.0) Brian Bennett නොදැවී 97, Tadiwanashe Marumani 20, Sikandar Raza 31, Arshdeep Singh 3/24

ඉන්දීය කණ්ඩායමට ලකුණු 72ක ජයක්.

තරගයේ වීරයා – Hardik Pandya (ඉන්දියාව)

තරගාවලියේ අද (27) පැවැත්වෙන තරගය

  • රාත්‍රී 7.00 ට එංගලන්තය සහ නවසීලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<