නාවික හමුදාව පරදා හැටන් නැෂනල් ක්‍රීඩිකාවන් ශූරතාව දිනති

92
Hatton National Bank clinches National Netball Championship

පසුගිය සති අන්තයේ දී පැවැත්වුණු ඩයලොග් ජාතික දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී ප්‍රබල නාවික හමුදා කණ්ඩායම ලකුණු 61-48ක් වශයෙන් පරාජය කරමින් ශූරතාව ජයග්‍රහණය කරන්නට හැටන් නැෂනල් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවැනි කාර්තුවේ දී ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කළ නාවික හමුදා කණ්ඩායම එම කාර්තුව අවසානයේ දී ලකුණු 13-14ක් වශයෙන් ඉදිරියෙන් සිටීමට සමත් විය. නමුත් දෙවැනි, තෙවැනි සහ සිව්වැනි කාර්තුවල දී පිළිවෙළින් ලකුණු 15-12ක්, 17-11ක් සහ 16-11ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට හැටන් නැෂනල් කණ්ඩායම සමත් විය.

තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය පැවැත්වුණේ හැටන් නැෂනල් කණ්ඩායම සහ වරාය අධිකාරිය අතරයි. එහි දී ලකුණු 49-28ක් ලෙස පහසු ජයක් අත්කර ගන්නට හැටන් නැෂනල් කණ්ඩායම සමත් විය.

එසේම තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ නාවික හමුදා කණ්ඩායම ලකුණු 47-20ක් වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

තෙවැනි ස්ථානය සඳහා වන තරගයේ දී කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම සහ වරාය අධිකාරි කණ්ඩායම ක්‍රීඩා කළ අතර එහි දී ලකුණු 35-33ක් වශයෙන් තියුණු ජයක් අත්කර ගැනීමට කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය.

තරගාවලියේ හොඳම පන්දු විදින්නිය ලෙස හැටන් නැෂනල් ක්‍රීඩිකා දර්ශිකා අබේවික්‍රම සම්මාන දිනූ අතර දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව ලෙස දුලාංජි වන්නිතිලක අභිෂේක ලැබුවාය.

එසේම දක්ෂතම දැල් රකින්නිය ලෙස කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායමේ සෙත්මි දනූෂා සම්මාන ලැබූ අතර වසරේ දැල්පන්දු රැජින සම්මානය දුලාංජලී අමරවංශට හිමි විය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<