ප්‍රබලයින් පරදා ඉතාලියත් සහ ස්පාඤ්ඤයත් අවසන් පූර්ව වටයට

Euro 2020

199

යුරෝපා පාපන්දු පිටියේ වත්මන් ශූරයන් සොයා යන “Euro 2020” තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කරමින් තරග ද්විත්වයක් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (02) රාත්‍රියේ සහ අද (02) උදෑසන පැවැත්වුනා.

එහි දී තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් වූ ස්විස්ටර්ලන්තය පරදවමින් ජයග්‍රහණය ලබා ගන්නට ස්පාඤ්ඤය සමත් වූ අතර වත්මන් ශ්‍රේණිගත කිරීමෙහි අංක 01 කණ්ඩායම වූ බෙල්ජියම පරදවා ජයග්‍රහණය ලබා ගන්නට ඉතාලියට හැකි වුනා.

Switzerland v Spain

ඉතා තියුණු සටනකින් පසු මෙම තරගය දඬුවම් පහර වටයකින් 3-1ක් ලෙස ස්විස්ටර්ලන්තය පරාජය කරන්නට ස්පාඤ්ඤය සමත් වුනා.

අවසන් කණ්ඩායම් 16 වටයේ දැක්වූ ඉහළ දස්කම් නිසාවෙන් Saint Petersburg හී Krestovsky පැවති මෙම තරගයට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණා. තරගයේ පළමු ගෝලය රැස්කිරීමට සමත් වුනේ ස්පාඤ්ඤයයි.

08 වැනි මිනිත්තුවේ දී ස්පාඤ්ඤ ක්‍රීඩක Alvaro Morata ගෝලයට එල්ල කළ පහරක් වැළැක්වීමට උත්සහ කළ ස්විස්ටර්ලන්ත ක්‍රීඩක Denis Zakariaගේ පාදයෙහි පන්දුව වැදී ගෝලයේ වම් කෙළවරින් දැල වෙත යොමු වීම නිසා ස්පාඤ්ඤයට එම ගෝලය හිමි වුනා.

එම අර්ධය තුළ කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ස්විස්ටර්ලන්තය නොහැකි වූ අතර ස්පාඤ්ඤයට ද ගෝල ලබාගැනීමට තිබූ අවස්ථා කිහිපයක් මගහැරීම නිසා පළමු අර්ධය ගෝල 1-0ක් ලෙස වුනා.

ගෝල ලබා ගනිමින් තරගයට නැවත පිවිසීමේ අදහසින් දෙවැනි අර්ධයට පිවිසි ස්විස්ටර්ලන්තය වෙනුවෙන් තරගයේ පළමු ගෝලය රැස් කිරීමට නායක Xherdan Shaqiri සමත් වුනේ 68 වැනි මිනිත්තුවේයි.

ස්පාඤ්ඤ පසුපෙළ ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසාවෙන් ලද පන්දුවක් ගෝලය අසල සිට දැල තුළට එල්ල කිරීමෙන් සිය කණ්ඩායම නැවත තරගයට ගෙන ඒමට Xherdan Shaqiriට හැකි වුනා.

එම ගෝලය ලබා ගැනීමෙන් සුළු වේලාවකට පසු සිදු කළ අනතුරුදායක වැළැක්වීමක් නිසාවෙන් ස්විස්ටර්ලන්ත ක්‍රීඩක Remo Freuler හට රතු කාඩ්පතක් ලබා දීමට විනිසුරුවරයා කටයුතු කළේ ස්විස්ටර්ලන්තය ප්‍රබල පීඩනයක් ගෙන දෙමිනි.

නමුත් දෙවැනි අර්ධයේ අවසන් කාලය තුළ දී ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ස්පාඤ්ඤ ක්‍රීඩකයන්ට ගෝල ලබා ගැනීමට අවස්ථාවක් නිර්මාණය කරගැනීමට ඉඩක් නොදීමට ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයන් සමත් වූ අතර එම නිසාවෙන් අතිරේක අමතර කාලයක් ලබා දීමට සිදු වුනා.

එම අතිරේක අමතර කාලය සම්පූර්ණයෙන් තමන්ගේ කර ගත් ස්පාඤ්ඤ ක්‍රීඩකයන් ස්විස්ටර්ලන්ත ගෝල රාමුවට ඉතා අලංකාර පහරවල් කිහිපයක්ම එල්ල කිරීමට සමත් වූ නමුත් Yann Sommerගේ අගනා ගෝල රැකීම එම අතිරේක කාලය ද ගෝල රහිතව අවසන් වුනේ තරගාවලියේ තවත් තරගයක් දඬුවම් පහර වටයකට ගෙන යමින්.

ස්පාඤ්ඤය වෙනුවෙන් පළමු දඬුවම් පහර අවස්ථාව ලබාගත් Sergio Busquets එල්ල කළ පහර ගෝල රාමුවෙහි වැදී නැවත පිටිය වෙත පැමිණි අතර ස්විස්ටර්ලන්තය ක්‍රීඩක Mario Gavranovic සිය දඬුවම් පහර සාර්ථකව අවසන් කළා.

Dani Olmo විසින් ස්පාඤ්ඤයේ දෙවැනි දඬුවම් පහර අවස්ථාව සාර්ථකව නිමා කිරීමට සමත් වූ අතර ස්විස්ටර්ලන්තයේ Fabian Schar එල්ල කළ පහර සාර්ථකව නවතාළීමට Unai Simonට හැකි වුනේ තරගය නැවත සම තත්වයට ගෙන එමිනි.

ඉන්පසු ලබා ගත් දඬුවම් පහර ද්විත්වයම ඉතා දක්ෂ ලෙස නවතාළීමට දෙපිළෙහිම ගෝල රකින්නන්ට හැකි වූ අතර ස්පාඤ්ඤයේ සිව්වැනි දඬුවම් පහර සාර්ථක කරගනිමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට Gerard Moreno සමත් වුනා.

ස්විස්ටර්ලන්තය වෙනුවෙන් තීරණාත්මක සිව්වැනි දඬුවම් පහර ලබා ගත් Ruben Vargas එල්ල කළ පහර ගෝල රාමුවට ඉහළින් ඇදී ගිය අතර ස්පාඤ්ඤ ක්‍රීඩක Mikel Oyarzabal සිය අවසන් දඬුවම් පහර සාර්ථකව එල්ල කරමින් සිය කණ්ඩායමේ ජය තහවුරු කළා.

ඒ අනුව ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර ඔවුන් එම වටයේදී තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායමක් වන ඉතාලිය සමඟින් තරග වැදීමට නියමිතයි.

අවසන් ලකුණු තත්වය: ස්විස්ටර්ලන්තය 1 –1 ස්පාඤ්ඤය 

ගෝල ලාභීන්: 

  • ස්පාඤ්ඤය: Denis Zakaria 08’ (Og) 
  • ස්විස්ටර්ලන්තය: Xherdan Shaqiri 68’

දඬුවම් පහර:

  • ස්පාඤ්ඤය: Dani Olmo,Gerard Morenom, Mikel Oyarzabal
  • ස්විස්ටර්ලන්තය: Mario Gavranovic

Belgium v Italy

ජර්මනියේ Munich හී Allianz Arena ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ප්‍රබල බෙල්ජියම් ක්‍රීඩකයන් ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය ලැබීමට ඉතාලි ක්‍රීඩකයන්ට හැකි වුනා.

13 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබා ගනිමින් ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කිරීමට ඉතාලි ක්‍රීඩක Leonardo Bonucci සමත් වූවත් එය VAR තාක්ෂණය ඔස්සේ නැවත නැරඹීමෙන් පසු අනිසි ස්ථානගත වීමක් ලෙස සලකා අවලංගු කිරීමට විනිසුරුවරයා කටයුතු කළේ ඉතාලි ක්‍රීඩකයන්ගේ සතුට කෙටි වේලාවක් තුළ අහිමි කරමිනි.

නමුත් ඉතාලිය වෙනුවෙන් තරගයේ පළමු ගෝලය 31 වැනි මිනිත්තුවේ දී රැස් කිරීමට ඉතාලි ක්‍රීඩක Nicolo Barellaට හැකි වුනා. Marco Verratti පන්දුවක් සාර්ථකව පාලනය කරමින් ගෝලයේ වම් කෙළවරින් දැල් තුළට එල්ල කිරීමට Barellaට හැකි වුනේ සිය කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දෙමින්.

එම ගෝලය ලබා ගැනීමෙ සුළු වෙලාවකට පසු ක්‍රියාත්මක වෙමින් 44 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය සිය කණ්ඩායමට ලබා දීමට ඉතාලි ක්‍රීඩක Lorenzo Insigne සමත් වුනා. දඬුවම් රාමුවෙන් පිටත සිට ගෝලයේ දකුණු කෙළවරට අලංකාර පහරක් එල්ල කිරීමට Lorenzo සමත් වුනේ ප්‍රතිවාදී ගෝල රකින්නාට එය නවතාළීමට කිසිදු ඉඩක් නොතබිමිනි.

පළමු අර්ධයේ දී ම සිදු වූ පසුබෑමෙන් ගොඩ ඒමට බෙල්ජියම් ක්‍රීඩකයන්ට අවස්ථාවක් ගෙන දෙමින් එම අර්ධයේ අතිරේක කාලයේ දී ඉතාලි ක්‍රීඩකයෙකු සිදු කළ වැරදි වැළැක්වීමක් නිසා දඬුවම් පහර අවස්ථාවක් ලබා දීමට විනිසුරුවරයා කටයුතු කළා.

එම දඬුවම් පහර අවස්ථාව ලබාගත් බෙල්ජියම් ක්‍රීඩක Romelu Lukaku ප්‍රතිවාදී ගෝල රකින්නා මුලාවට පත් කරමින් දැල තුළට පන්දුව යොමු කිරීමට සමත් වුනේ සිය කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ කරමිනි.

තියුණු පළමු අර්ධයකින් පසු පිටියට පිවිසි බෙල්ජියම් ක්‍රීඩකයන් ඉතාලියට තරමක පීඩනයක් එල්ල කරමින් ගෝල තත්වය සම කිරීමට උත්සහ කළ නමුත් ඉතාලි පසුපෙළ ක්‍රීඩකයන්ගේ දස්කම් නිසා ඔවුන්ට ගෝලයක් ලබාගැනීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

එම නිසාවෙන් තරගය ගෝල 2-1ක් ලෙස ජය ගනිමින් ස්පාඤ්ඤය සමඟ අවසන් පූර්ව වටයෙහි අසුනක් වෙන් කරවා ගැනීමට ඉතාලි ක්‍රීඩකයන්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: බෙල්ජියම 1 – 2 ඉතාලිය 

ගෝල ලාභීන්: 

  • බෙල්ජියම: Romelu Lukaku 45+2 (P)
  • ඉතාලිය: Nicolo Barella 31’, Lorenzo Insigne 44’

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙහි අවසන් තරග ද්විත්වය ශ්‍රී ලංකා වේලාවෙන් අද (03) රාත්‍රියේ සහ හෙට (04) උදෑසන පැවැත්වීමට නියමිතව ඇත. එම තරගවල තොරතුරු සඳහාත් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<