ශ්‍රී ලංකා ඇත්පැටවු චීනයට බැටදේ

540
Sri Lanka vs China

ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ ප්‍රථම තරගය අද (10) උදෑසන පැවැත්විය. එහි දී ලකුණු 26-14ක් ලෙස ප්‍රබල චීනය පරදා  තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

වැසිබර කාලගුණයක් යටතේ තරගය ආරම්භ වූ අතර ඒ නිසාම පන්දු පාලනය පවා ඉතා අසීරු කටයුත්තක් බව පෙනෙන්නට තිබුණි. කෙසේ නමුත් පළමු මිනිත්තුව ගතවෙත්ම ශ්‍රී ලංකා කණ්ඩායම් නායක නවීන් හේනකන්කානම්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (05-00)

ආසියානු ශූරතාවලියේ රග්බි සංචිතය නම් කෙරේ; නායකයා නවීන්

ආසියානු අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගී වන අවසන්…

මද වෙලාවක් ගතවෙත්ම චීන ආරක්ෂක වළල්ලේ දැඩි පීඩනය ශ්‍රී ලංකාව දෙසට එල්ල වූ අතර ඒ අවසරයෙන් චීනය තම පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ඒ සෙන්ටර් ක්‍රීඩක යෙන්ඩෝ විසිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (05-07)

තරගය පුරාවටම දෙපිලේම පන්දු පාලනයේ මග හැරීම් වැඩි වශයෙන් දකින්නට ලැබුණු අතර ඒ නිසාම සැලසුණු වාසියකින් උපරිම ඵල නෙලාගත් චීන ක්‍රීඩක යෙන්ඩෝ තම දෙවන උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (05-14)

පළමු අර්ධය:  ශ්‍රී ලංකාව 05 – 14  චීනය

තෙත බරිත ක්‍රීඩා පිටිය මත දෙවන අර්ධය ආරම්භ විය. ආරම්භයේ සිටම දැඩි ප්‍රවේගකාරී තරග රටාවක් පෙන්නුම් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුන අතර ශ්‍රී ලංකා ක්‍රීඩක දිනුක් අමරසිංහ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් උත්සාහක දිනුමක් එක් කරමින් සාර්ථකව ධවල රේඛාව පසුකරන්නට විය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (12-14)

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරමක් හොඳින් තරගය වෙත අවතීර්ණ වූ බවක් පෙනෙන්නට තිබුණු අතර ඒ නිසාම චීනයට ලකුණු රැස්කරගන්නට තිබුණු අවස්ථා දෙක තුනක්ම ඔවුන්ගෙන් උදුරා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩක දිනුක් නැවත වරක් චීන ක්‍රීඩකයින් අතරින් රිංගා යමින් ඔහුගේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. ඒත් සමඟින් තරගයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය. (19-14)

තරගය අවසන් වන්නට තවත් මිනිත්තු දෙකක් පමණක් ඉතිරිව තිබිය දී මනා පන්දු පාලනයකින් චීන ආරක්ෂක වළල්ල අතරින් රිංගා ගිය රාජකීය විද්‍යාල ක්‍රීඩක තුලෙයිබ් හසන් තවත් උත්සාහක දිනුමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය ද හරිත් බණ්ඩාර විසින් සාර්ථක කරගත්තේය. (26-14)

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 26 (4T, 3C) – 14 (2T, 2C) චීනය

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්:

  • ශ්‍රී ලංකාව: නවීන් හේනකන්කානම්ගේ 1T, දිනුක් අමරසිංහ 2T, තුලෙයිබ් හසන් 1T
  • චීනය:  යෙන්ඩෝ 2T

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී වන මීළඟ තරගය අද (10) ප.ව. 1.45ට ආරම්භ වීමට නියමිතයි. සියලු තරග සජීවීව ගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<