“මගේ එකම බලාපොරොත්තුව ආසියානු පදක්කමක් ලංකාවට ගේන්න” – ගයන්තිකා අබේරත්න

173

පසුගිය දා ටර්ක්මෙනිස්තානයේ අශ්ගබාත් නුවර පැවති “7 වන ආසියානු ගෘහස්ථ සහ සටන් කලා ක්‍රීඩා උළෙලේ”, කාන්තා මීටර් 800 රන් පදක්කම හිමි කර ගැනීමට සමත් වූ ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව, ඊයේ දිනයේ (24) 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී දකුණු පළාත නියෝජනය කරමින් කාන්තා මීටර් 800 රන් පදක්කම තම පළාතට දිනා දීමට සමත් විය.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ඉඳුනිල් සහ ගයන්තිකාගෙන් දස්කම්

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන දිනය වූ ඊයේ (23) දිනයේ දී ජවන හා පිටිය තරග ඉසව් යටතේ උදෑසන වරුවේ දී අවසන් තරග අවසන් තරග…

තරගයෙන් අනතුරුව ThePapare.com වෙත අදහස් දැක්වූ ගයන්තිකා සිය ආසියානු ජයග්‍රහණය ගැන දැක්වූයේ මෙවන් අදහසක්,

“මට ගොඩක් සතුටුයි ඒකේ (ආසියානු ගෘහස්ථ තරගාවලියේ) රන් පදක්කම ලබා ගැනීමට හැකි වීම ගැන, මම ඒ ගැන ගොඩක් කල්පනා කරලා ලංකාවෙන් ගියේ පදක්කමක් ගේනවා කියන බලාපොරොත්තුවෙන්, මට රන් පදක්කම ලබා ගන්න පුළුවන් වුනා, ඉතින් මම ගොඩක් සතුටු වෙනවා.”

ගෘහස්ථ ක්‍රීඩාංගණයක ක්‍රීඩා කිරීමේ නුහුරු බව හා මීටර් 400 වෙනුවට මීටර් 200 තරග පථයක තරග වැදීමේ අභියෝගය පිළිබඳව ඇය දැරුවේ මෙවන් අදහසක්,

“ඇත්තටම කියනවා නම් මම 2007 ඉඳලා දුවන්නේ මීටර් 400 ට්‍රැක් එකක, මම මීටර් 200 ට්‍රැක් එකක ඇත්තටම පුහුණුවීම් කරලා නැහැ, ලොකු බයකින් ගියේ. නමුත් මට එහේ හීට් එකක් තිබුණා, එකේ පළවෙනි හීට් එක දිව්වට පස්සෙ මට සතුටක් දැනුණා, මට දුවන්න පුළුවන් කියන එක ගැන, ඉතින් මම ඒ හීට් එක දුවලා ලොකු අත්දැකීමක් ගත්තා. එකෙන් මට රන් පදක්කමට යන්න පුළුවන් වුනා. අපට ගෘහස්ථ ක්‍රීඩාංගණයක් නැති උනත්, රන් පදක්කමට යන්න පුළුවන් වෙච්ච එක ගැන ගොඩක් සතුටු වෙනවා.”

ජාතික මහා ක්‍රීඩා උළෙලත් සමඟ අවසන් වන මේ වසරේ මලල ක්‍රීඩා වාරයේ, ජාතික රට හරහා දිවීමේ කිරුලට සහ කාන්තා මීටර් 800 ජාතික වාර්තාවට හිමිකම් කීමට වරම් ලද ගයන්තිකාගෙන්, ලබන වසර සඳහා තබා ඇති බලාපොරොත්තු පිළිබදව අප විමසීමක් කළා,

“මගේ එකම බලාපොරොත්තුව තියෙන්නේ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් ලංකාවට ගේන්න, ඉතින් මම ඒකට ටිකෙන් ටික යනවා. මට මේ අවුරුද්දේ මිනිත්තු 2.2ක ටයිමින් එකකට යන්න පුළුවන් වුනා. ඉතින් මම ලබන අවුරුද්දේ දී ඒක මිනිත්තු 2ක් දුවලා ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කමක් ලංකාවට අරන් එන්න දැන්ම ඉඳලම පුහුණුවීම් කටයුතු කරගෙන යනවා.”

ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලට සහභාගී වූ කණ්ඩායම ශ්‍රී ලංකාව වෙත ළඟා වීමට තිබුණේ මේ මස 27 වන දින නමුත්, 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ අදිටනින් නැවත පැමිණීමට හේතුව ගැන අපි ගයන්තිකාගෙන් විමසා සිටියෙමු.

“මේ වගේ තරගාවලියකට සහභාගී වෙනවා කියන්නේ ලංකාවේ ජය ගන්න තියෙන ලොකුම මීට් ඒක මේක. ඉතින් මම හිතන්නේ මේ ක්‍රීඩා උළෙල ලොකු අත්දැකීමක් ඉදිරියට පැවැත්වෙන තරගාවලි සඳහා, ඒකයි මම මේ තරගාවලිය සඳහා සහභාගී වෙන්නෙ. නැත්තන් මට මේක  දුවන්නේ නැතුව ඉන්න තිබුණා. ඒත් මම මේකට සහභාගී වුනා කියන්නේ මේක මට ලොකු අත්දැකීමක් වෙනවා ඉදිරියේ දී ජාත්‍යන්තරය ජය ගන්න.”

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට