බ්‍රිලියන්ට් කණ්ඩායමෙන් රෙඩ් ස්ටාර් ක්‍රීඩකයන්ට ප්‍රහාරයක්

815
Brilliant SC v Red Star SC

FA කුසලාන පාපන්දු තරගාවලියේ සිව්වන වටයට අදාලව කල්මුණේ සාන්තන්කර්නි ක්‍රීඩාංගණයේ පැවැත්වුණු තරගයකින් බේරුවල රෙඩ් ස්ටාර් කණ්ඩායමට ගෝල 2 – 1ක අනපේක්ෂිත පරාජයක් උරුම කර දුන් බ්‍රිලියන්ට් ක්‍රීඩා සමාජය තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 අතරට පිවිසෙන්නට සමත් විය.

FA කුසලාන සිව්වන වටයෙන් සෝන්ඩර්ස් සහ ක්‍රිස්ටල් පැලස් ඉදිරියට

FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් කණ්ඩායම් 32 අතර පැවැත්වෙන සිව්වන වටයේ තරගයක් සඳහා මෙම කණ්ඩායම් දෙක තරග වැදුනේ කැලණිය…

රෙඩ් ස්ටාර් කණ්ඩායම මෙම තරගයට පිවිසුනේ පෙර වටයේ දී කාන්තන්කුඩි නැෂනල් ක්‍රීඩා සමාජයට එරෙහිව වාර්තා කළ ගෝල 10 – 01ක දැවැන්ත ජයග්‍රහණයක සෙවනැල්ල සමඟයි. බ්‍රිලියන්ට් ක්‍රීඩා සමාජය සිව්වන වටය සඳහා පිවිසුණේ තියුණු සටනක් පැවති තරගයකින් ගෝල 2 – 1ක් ලෙස කුරින්ජිකුමරන් ක්‍රීඩා සමාජය පරාජය කරමිනි.

කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් තරග ආරම්භයේ සිටම ඉතා ක්‍රියාශීලී ලෙස තරග වැදුණු අතර බ්‍රිලියන්ට් කණ්ඩායමේ මොහොමඩ් හරූන් හට පන්දුව ඉදිරියට ගෙන යාම සඳහා ලැබුණු අවස්ථාවක් මනාව ආවරණය කරන්නට රෙඩ් ස්ටාර් ආරක්ෂකයන් සමත් විය.

සංචාරක රෙඩ් ස්ටාර් කණ්ඩායම කාලයත් සමඟ කෙමෙන් කෙමෙන් තම ආත්ම විශ්වාසය ගොඩ නගා ගනිද්දී ඔවුන්ට ඉතා හොඳ ස්ථානගත කිරීමක් සහිත නිදහස් පහරක් ලැබුණ ද, එහි අවසන් ප්‍රතිඵලය සාර්ථක වූයේ නැත. මේ අතර බ්‍රිලියන්ට් කණ්ඩායමේ සව්ජාන් හිසින් එල්ල කළ පහරක් ද ඇදී ගියේ ගෝලයෙන් පිටතටයි.

රෙඩ් ස්ටාර් කණ්ඩායම පළමු ගෝලය වාර්තා කිරීම සඳහා දැඩි උත්සාහයක් දැරූ අතර, ඔවුන්ට ලැබුණු අවස්ථා කිහිපයක්ම වළක්වමින් පීඩනය දරා ගැනීමට බ්‍රිලියන්ට් ක්‍රීඩකයන් ප්‍රශංසනීය උත්සාහයක නිරත වන ලදි.

මේ අතර, තරගයේ රිද්මයට පටහැනිව යමින් 24 වන මිනිත්තුවේ දී පළමු ගෝලය වාර්තා කරන්නට බ්‍රිලියන්ට් කණ්ඩායමේ හරූන් සමත් වුනේ විශිෂ්ට ගනයේ පන්දු පාලනයකින් ඉදිරියට ඇදී ගොස් ඒ හා සමානම අවසානයක් ද සටහන් කරමිනුයි. මේ සමඟම මුළු ක්‍රීඩාංගණයම තරගය සමඟ ක්‍රියාශීලී වීම ආරම්භ වූ අතර ආධාරකරුවන්ගේ හඬින් ක්‍රීඩාංගණය වැසී යන්නට පටන් ගන්නා ලදි.

කෙසේ වෙතත් රෙඩ් ස්ටාර් කණ්ඩායම පන්දුවේ අයිතිය (Possession) තමන් සතුවම පවත්වා ගනිමින් ගෝල සම කිරීමේ අවස්ථාවක් සොයා දැඩි සටනක නිරත විය. දිගින් දිගටම එල්ල කළ පීඩනය මගින් බ්‍රිලියන්ට් ආරක්ෂාවේ හිඩැසක් සොයා ගන්නට සමත් වූ රෙඩ් ස්ටාර් නායක මොහොමඩ් රහ්මාන් තම උපායශීලීත්වය භාවිත කරමින් නැවත තරගය සම තත්ත්වයට රැගෙන ආවේ පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී යි.

පළමු අර්ධය : බ්‍රිලියන්ට් ක්‍රීඩා සමාජය 1 – 1 රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජය

බ්‍රිලියන්ට් කණ්ඩායම දෙවන අර්ධය ආරම්භයේ සිට වඩාත් ආක්‍රමණශීලී බවක් පෙන්නුම් කළ අතර, රෙඩ් ස්ටාර් කණ්ඩායම ද පළමු අර්ධයේ නැවතූ ස්ථානයේ සිටම තම ආක්‍රමණය දියත් කරන ලදි. කෙසේ වෙතත් රෙඩ් ස්ටාර් කණ්ඩායමේ ගෝල උත්සාහයන් කිහිපයක්ම නැවතුනේ විශිෂ්ට දස්කම් අතර සිටි බ්‍රිලියන්ට් දැල් රකින්නාගේ දෑත තුළ මිස ගෝලය තුල නොවේ.

බ්‍රිලියන්ට් කණ්ඩායමේ පසු පෙළ ක්‍රීඩකයන් ද සිය දැල් රකින්නාගේ කාර්යයට හොඳ සහයක් ලබා දෙන්නට සමත් විය. එමෙන්ම රෙඩ් ස්ටාර් කණ්ඩායම සමඟ වාසනාව පැවතුනේ ද ඉතා පහත මට්ටමකයි. ඔවුන්ගේ ගෝල උත්සාහයන් කිහිපයක්ම ගෝලය අසලින්ම පිටතට ඇදී ගිය අතර ගෝල හරස් කණුවේ ගැටී පන්දුව ඉවතට ඇදී ගිය අවස්ථා ද දක්නට ලැබුණි. කෙසේ වෙතත් තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම පාහේ පැවතුනේ රෙඩ් ස්ටාර් කණ්ඩායම සතුවයි.

මේ අතර පළමු අර්ධයේ දී මෙන්ම තරගයේ රිද්මයට ප්‍රතිවිරුද්ධව ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ බ්‍රිලියන්ට් ක්‍රීඩා සමාජයයි. 78 වන මිනිත්තුවේ දී මොහොමඩ් රවුෆ් හට රන් බන්දේසියක තබා පූජා කළ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඔහු සමත් විය.

මේ අනපේක්ෂිත සිදුවීමෙන් කම්පනයට පත් රෙඩ් ස්ටාර් ක්‍රීඩකයන් තවත් ප්‍රබල ලෙස ආක්‍රමණය සඳහා උත්සාහ දැරුවේ යලිත් වරක් ගෝල සම කිරීමේ අවස්ථාවක් සොයා ගැනීමටයි. කෙසේ වෙතත් තරගයේ ඉතිරිව තිබූ කාලය තුල දී මෙන්ම ආබාධ හේතුවෙන් අහිමි වූ කාලය සඳහා ලබා දුන් අමතර මිනිත්තු 3 තුළදීත් රෙඩ් ස්ටාර් කණ්ඩායමේ ගෝල ලබා ගැනීමේ උත්සාහයන් බොහොමයක් අසාර්ථක වූ අතර අනෙකුත් උත්සාහයන් සියල්ල බ්‍රිලියන්ට් ආරක්ෂකයන් විසින් ව්‍යර්ථ කරන ලදි.

අවසන් ප්‍රතිඵලය : බ්‍රිලියන්ට් ක්‍රීඩා සමාජය 2 – 1 රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – මොහොමඩ් හරූන් (බ්‍රිලියන්ට්)

තරගයෙන් අනතුරුව ThePapare.com වෙත අදහස් දැක්වූ බ්‍රිලියන්ට් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු මොහොමඩ් ෆලීල්,

කණ්ඩායම් දෙකම ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඔවුන්ට වැඩි අවස්ථා සංඛ්‍යාවක් ලැබුණා. නමුත් අපේ කණ්ඩායමේ ඵලදායීතාව ඉහල මට්ටමක පැවතීම මේ තරග ජයග්‍රහණයට හේතුව වුනා. ජයග්‍රහණය පිළිබඳ සතුටුයි.

රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු මොහොමඩ් රමීස් දැක්වුයේ මෙවන් අදහසක්,

අපි මුළු තරගය පුරාවටම ලැබුණු අවස්ථා රාශියක් අපතේ යවනු ලැබුවා. එමෙන්ම අපේ ආරක්ෂක පෙළ වැරදි කිහිපයක් ද සිදු වුනා. ඒ තමයි අපි තරගය පරාජය වීම සඳහා බලපෑ හේතු. දැන් අපේ FA කුසලාන ගමන අවසන්. දැන් තිබෙන්නේ පළමු කාණ්ඩයේ තරග පිළිබඳව අවධානය යොමු කරන්නටයි.

ගෝල ලබා ගත් ක්‍රීඩකයන්

  • බ්‍රිලියන්ට් – මොහොමඩ් හරූන් 24′ ,මොහොමඩ් රාවුෆ් 78′
  • රෙඩ් ස්ටාර් – මොහොමඩ් රහ්මාන් 38′

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට