ඉතිහාසයේ මතක; FIFA ලෝක කුසලානය (1974 – 1982)

351

1950 අග භාගයේ සිට 1960 මුල් භාගය දක්වා පාපන්දු ලොවේ සිය අණසක පතුරවා ගන්නේ ප්‍රබල බ්‍රසීල කණ්ඩායමයි.

1958 වසරේ දී සිය පළමු පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව 1962 වසරේ චිලී හිදී පැවති ලෝක කුසලාන තරගාවලියේ දී ඔවුන් නැවතත් ශූරතාවය තමන් සතුකර ගන්නේ අඛණ්ඩ ශූරතාවයන් ද්විත්වයකට හිමිකම් කියමිනි. අනතුරුව එළඹෙන 1966 වසරේ දී පාපන්දු ක්‍රීඩාවේ නිමැවුම්කරුවන් වන එංගලන්තයට පළමු වරට පාපන්දු ලෝක කුසලානයක පහස විඳගන්නට අවස්ථාව සැලසෙයි.

ඉතිහාසයේ මතක; FIFA ලෝක කුසලානය (1962-1970)​

පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක යුගය ගෙවී ගියේ උරුගුවේ සහ ඉතාලියේ ආධිපත්‍යය යටතේ ය…

ප්‍රබල බ්‍රසීල කණ්ඩායමට 1966 ලෝක කුසලානයේ දී පළමු වටයෙන්ම ඉවත්ව යාමට සිදුවුවත්, එළඹෙන 1970 ලෝක කුසලානයට ඔවුන් ඉදිරිපත් කළ කණ්ඩායම පාපන්දු ක්‍රීඩාව එදා මෙදා තුර දුටු විශිෂ්ටතම ජාතික කණ්ඩායම් අතරින් එකක් ලෙස සැලකෙයි. පේලේ සහ ජේසීනියෝගෙන් කණ්ඩායමේ ඉදිරිපෙළ සවිමත් වූ අතර තවදුරටත් ඒ වන විට සිය උපරිම දක්‍ෂතා අතර සිටි ටෝස්ටාවෝ, රිවෙලිනෝ සහ ගර්සන් යන ක්‍රීඩකයින්ගෙන් එම කණ්ඩායම සමන්විත විය.

ඒ අනුව මාරියෝ සගාලෝගේ පුහුණුකාරීත්වය යටතේ කාලෝස් අල්බර්ටෝගේ නායකත්වය යටතේ 1970 ලෝක කුසලානයට ඉදිරිපත් වූ ඔවුන් එහි දී තරගාවලිය පුරාවට දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරමින් අපරාජිතව ශූරතාවය දිනා ගත්තා පමණක් නොව එම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ පැවති සියලුම තරග ජයග්‍රහණය කිරීමට ද ඔවුන් සමත් විය.

එහි දී එදා මෙදා තුර බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයින් අතරින් කෙනෙක් ලෙස සැලකෙන පේලේ සිය පාපන්දු දිවියේ තෙවැනි ලෝක කුසලානයට හිමිකම් කියමින් සිය ලෝක කුසලාන දිවියට තිත තැබූ අතර ඒ අනුව ‘ජූල්ස් රිමෙට් කුසලානය’ හැමදාටම තමන් සතුව තබා ගැනීමේ අයිතිය ද බ්‍රසීලයට හිමි විය.

බටහිර ජර්මනියෙන් ‘සම්පූර්ණ පාපන්දුවට’ ප්‍රහාරයක් – 1974

(Image courtesy – Getty Images)

1974 ලෝක කුසලානය පළමු වරට බටහිර ජර්මනියේ දී පවත්වනු ලැබූ අතර ඒ වන විට දක්‍ෂතා අතර සිටි රිනුස් මිචෙල්ගේ ගුරුහරුකම් යටතේ ක්‍රීඩා කළ ප්‍රබල නෙදර්ලන්ත කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගනු ඇතැයි බොහෝ දෙනා මත පළකරන්නට විය. එහි දී පළමු වටයේ දී බටහිර ජර්මනියට එරෙහිව පැවති තරගයක දී චිලී රාජ්‍යයේ කාලෝස් කැසලි ලෝක කුසලාන තරගයක දී පිටියෙන් ඉවත් කරනු ලැබූ පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්විය.

නෙදර්ලන්ත ක්‍රීඩා සමාජයක් වන ‘Ajax’ ක්‍රීඩා සමාජයේ ආභාසය යටතේ නෙදර්ලන්ත කණ්ඩායම සම්පූර්ණ පාපන්දු (Total Football) ශිල්පක්‍රම අනුගමනය කරන්නට වූ අතර ඒ අනුව එහි සෑම ක්‍රීඩකයෙකුටම අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී ඉදිරිපෙළ, මැදපෙළ හෝ පසුපෙළ ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමේ හැකියාව තිබුණි.

Johan Cruyff led the Dutch attack in ‘Total Football’ (Image courtesy – Getty Images)

තරගාවලියේ පළමු වටයේ දී ස්කොට්ලන්ත කණ්ඩායම කිසිදු තරගයක් පරාජය නොවුනත්, එහි දී ගෝල වෙනස (Goal Difference) මත තරගාවලියෙන් ඉවත්ව යාමට ඔවුන්ට සිදු විය.

1954 වසරේ දී හංගේරියානු කණ්ඩායම දකුණු කොරියාව පරාජය කරමින් හිමිකම් කියූ ලෝක කුසලාන තරගයක් තුළ ලබාගත් විශාලම ජයග්‍රහණයට හිමි වාර්තාව මෙම තරගාවලියේ දී සෙයාර් කණ්ඩායම ගෝල 0-9ක් ලෙස පරාජයට පත්කළ යුගෝස්ලෝවියාව සම කරන්නට සමත් විය. එමෙන්ම දේශපාලන වශයෙන් ඉතා ක්‍රියාශීලී යුගයක බටහිර ජර්මනිය සහ නැගෙනහිර ජර්මනිය හැම්බර්ග් හිදී තරගයකට සහභාගී වූ අතර එහි දී 77 වන මිනිත්තුවේ දී ජර්ගන් ස්පාස්වේසර් වාර්තා කර ගත් ගෝලයක් හරහා එම තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට නැගෙනහිර ජර්මනිය සමත් විය.

East and West Germany teams walk into the field during the historical clash (Image courtesy – soccerfootballwhatever.blogspot.com)

‘Ballon d’Or’ සම්මාන ලාභී ජොහාන් ක්‍රයෆ් විසින් මෙහෙයවනු ලැබූ නෙදර්ලන්ත ඉදිරිපෙළ ගෝල 4-0ක් ලෙස ආජන්ටිනා කණ්ඩායම පරාජය කරමින් දෙවන වටයට සුදුසුකම් ලබාගත් අතර ඉන් අනතුරුව ද බ්‍රසීලය හමුවේ පැවති තරගයක දී ද ආර්ජෙන්ටිනාව ගෝල 2-1ක් ලෙස පරාජයට පත්විය.

ඉතිහාසයේ මතක; FIFA ලෝක කුසලානය (1950 – 1958)

දෙවෙනි ලෝක යුද්ධය හේතුවෙන් 1938 වසරේ ලෝක කුසලානයෙන් පසු නැවතත් ලෝක කුසලානයක්…

දෙවන වටයේ තීරණාත්මක කාණ්ඩ වටයේ තරගයක දී ජර්ඩ් මුලර් වාර්තා කර ගත් ගෝලයක් හරහා බටහිර ජර්මනිය විසින් පෝලන්තය පරාජයට පත්කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර අනෙක් පසින් නෙදර්ලන්තය ගෝල 2-0ක් ලෙස බ්‍රසීලය පරාජයට පත්කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. පසුව තෙවන ස්ථානය සඳහා පැවති තරගය බ්‍රසීලය පරාජයට පත්කරමින් ජයග්‍රහණය කරන්නට පෝලන්තය සමත් විය.

ඒ අනුව ෆ්‍රාන්ස් බෙකන්බෝර්ගේ නායකත්වය යටතේ බටහිර ජර්මනියත්, ජොහාන් ක්‍රයෆ්ගේ නායකත්වය යටතේ නෙදර්ලන්තයත් 1974 ජූලි මස 7 වන දින අවසන් මහා තරගයට සහභාගී විය. ජොහාන් නීස්කේන්ස්ගේ දඬුවම් පහරක් හරහා නෙදර්ලන්තය තරගයේ ඉදිරියට පැමිණියත් පසුව පෝල් බ්රේට්නර් සහ ජර්ඩ් මුලර් බටහිර ජර්මනිය වෙනුවෙන් ගෝල වාර්තා කර ගනිමින් සිය කණ්ඩායමට ගෝල 1-2ක ජයක් සමඟින් පාපන්දු ලෝක කුසලානය හිමි කර දෙන්නට සමත් විය.

(Image courtesy – Getty Images)

ඒත් සමඟම එවකට සිටි යුරෝපීය ශූරයින් පාපන්දු ලෝක කුසලානයක් ද ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වූ අතර බටහිර ජර්මනියේ ශූරතාවය දිනා ගැනීමේ ගමන්මග ඔවුන් ශූරතාවය දිනා ගත් 1954 තරගාවලියට සමාන විය. ඒ අනුව පළමු වටයේ දී එක් තරගයක් පරාජයට පත්වීම හේතුවෙන් අපරාජිතව තරගාවලිය ජයග්‍රහණය කිරීමේ හැකියාව ඔවුන්ගෙන් ගිලිහී යාමත් සමඟයි.

ඒ අනුව ඉතාලි ජාතික කලා ශිල්පියෙකු වූ සිල්වියෝ ගාසනීගා විසින් නිර්මාණය කරන ලද නවතම පාපන්දු කුසලානය බටහිර ජර්මනිය වෙත පිරිනමන ලදි.

පෝලන්තයේ ග්රෙගෝර්ස් ලේටෝ ගෝල 7ක් සමඟින් තරගාවලියේ වැඩිම ගෝල ලාභියා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර එම තරගාවලියේ දක්‍ෂතා ද සමඟින් ජර්ඩ් මුලර් ලෝක කුසලාන තරගාවලි තුළ වාර්තා කර ගත් සම්පූර්ණ ගෝල 14 හරහා ඔහුගේ නම ලෝක කුසලාන තරගාවලිවල ඒ වන විට වැඩිම ගෝල ලාභියා ලෙස ඉතිහාසයට එක්වන්නට විය. කෙසේ නමුත් පසුව ඔහුව අභිබවා යන්නට රොනාල්ඩෝ සහ මිරස්ලව් ක්ලෝස සමත් විය.

ආර්ජෙන්ටිනාවට පාපන්දු කිරුළ – 1978

Daniel Passarella being lifted by delighted Argentine fans (Image courtesy – AFP)

වසර 48ක දීර්ඝ කාලයකින් අනතුරුව පාපන්දු ලෝක කුසලානයක අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත් ආර්ජෙන්ටිනාව අවසානයේ එහි ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබීය.

මීට පෙර ඔවුන් සහභාගී වූ අවසන් මහා තරගය 1930 වසරේ දී උරුගුවේ කණ්ඩායමට එරෙහිව පැවති අතර එම තරගය ගෝල 2-4ක් ලෙස ඔවුන් පරාජයට පත්විය.

1978 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සත්කාරකත්වය දෙනු ලැබුවේ ද ආජන්ටිනාව යි. ඒ අනුව නගර 5ක ක්‍රීඩාංගණ 6ක් කේන්ද්‍ර කරගනිමින් තරග පවත්වනු ලැබීය. ඒ වන විට ආර්ජෙන්ටිනාව තුළ තිබූ ඒකාධිපති හමුදා පාලනයත්, ඒ වන විට එහි පැවති යුදමය තත්වයත් නිසා දැඩි අවුල් සහගත තත්වයක් පැන නැඟී තිබූ අතර ආරම්භයේ දී කණ්ඩායම් ඊට සහභාගී වීමට ද පසුගාමී විය.

තරගාවලියේ පළමු වටයේ දී මෙක්සිකෝ කණ්ඩායම ගෝල 1-3ක් ලෙස පරාජයට පත්කළ ටියුනීසියාව ලෝක කුසලාන තරගයක් ජයග්‍රහණය කළ පළමු අප්‍රිකානු කණ්ඩායම ලෙස ඉතිහාසයට එක්විය.

‘The Confetti Cauldron’ – El Monumental during the 1978 finals (Image courtesy – Getty Images)

කෙසේ නමුත් සත්කාරක ආර්ජෙන්ටිනාව ප්‍රංශය සහ හංගේරියාව සමඟ එක් කාණ්ඩයකට කාණ්ඩගත වී තිබූ අතර ඒ අනුව ඊළඟ වටයට සුදුසුකම් ලබාගැනීම ඔවුන්ට දැඩි අභියෝගයක් විය.  

මෙම තරගාවලියේ දී පාපන්දු ලෝක කුසලාන තරගාවලි වල 1000 වන ගෝලය වාර්තා වූ අතර එම ගෝලය ස්කොට්ලන්තයට එරෙහි තරගයක දී නෙදර්ලන්ත ක්‍රීඩක රොබ් රෙන්සන්බ්‍රින්ක් විසින් වාර්තා කර ගනු ලැබීය. කෙසේ නමුත් එම තරගය ගෝල 3-2ක් ලෙස ජයග්‍රහණය කරනු ලැබුවේ ස්කොට්ලන්තය යි.

දෙවන වටයේ අවසන් තරගයේ දී බ්‍රසීලය ගෝල 3-1ක් ලෙස පෝලන්තය පරාජය කිරීමත් සමඟ ආර්ජෙන්ටිනාවට බ්‍රසීලය අභිබවමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඔවුන්ට පීරු රාජ්‍යය සමඟ පැවති තරගය ගෝල 4ක වෙනසක් සමඟින් ජයග්‍රහණය කිරීම අනිවාර්ය විය. එම අභියෝගය සාර්ථකව ජය ගත් ඔවුන් එම තරගය ගෝල 6-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එහි දී මරියෝ කෙම්පස්, ඇල්බර්ටෝ ටැරන්ටීනි, ලියෝපොල්ඩෝ ලූක්, රෙනේ හවුස්මාන් විසින් ගෝල වාර්තා කර ගනු ලැබීය.

අනෙක් පසින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනු ලැබුවේ නෙදර්ලන්තය යි.

1974 වසරේ දී මෙන්ම මෙම තරගාවලියේ දී ද නෙදර්ලන්තයට අවසන් මහා තරගයට මුහුණ දීමට සිදු වූයේ සත්කාරක කණ්ඩායමට එරෙහිවයි.

එහි දී කෙම්පස් ලබා ගත් ගෝලයක් හරහා තරගයේ පෙරමුණ ගැනීමට ආජන්ටිනාව සමත් වුවත් තරගය අවසන් වන්නට මිනිත්තු 8ක් ඉතිරිව තිබිය දී ඩික් නානිගා නෙදර්ලන්තය වෙනුවෙන් ගෝලයක් වාර්තා කර ගැනීමත් සමඟ තරගය අවසන් වන විට ගෝල 1-1ක් වශයෙන් කණ්ඩායම් දෙකම සම තත්වයේ පසු විය. ඒ අනුව තරගයේ තීරණය අතිරේක කාලයට යොමු වූ අතර එහි දී ආර්ජෙන්ටිනාව වෙනුවෙන් ගෝල වාර්තා කර ගත් කෙම්පස් සහ ඩැනියෙල් බර්ටෝනි ගෝල 3-1ක් ලෙස ආර්ජෙන්ටිනාවේ ජය තහවුරු කරන්නට සමත් වූහ.

Mario Kempes, scoring in the finals (Image courtesy – Getty Images)

ඒ අනුව රැස්ව සිටි පාපන්දු ලෝලීන්ගේ දැඩි උත්කර්ෂය හමුවේ ආර්ජෙන්ටිනා නායක ඩැනියෙල් පැසරේලා පාපන්දු ලෝක කුසලානය ඔසවනු ලැබීය.

ආර්ජෙන්ටිනා කණ්ඩායමේ නායකත්වය දැරූ ජෝර්ජේ කැරකෝසා තරගාවලිය ආරම්භ වන්නට මාස කිහිපයක් ඉතිරිව තිබිය දී නායකත්වයෙන් ඉවත් වූ අතර ඒ අනුව එම වගකීම පැසරේලාහට හිමි විය. ඒ අනුව අවුරුදු 25 මාස 1ක වයසක දී ලෝක කුසලානය ආර්ජෙන්ටිනාවට රැගෙන ගිය ඔහු අදටත් ලෝක කුසලානයක් ජයග්‍රහණය කරනු ලැබූ ළාබාලතම නායකයා යි. එමෙන්ම එහි දී ඔහු සමඟින් ලුවිස් ගෑල්වාන් ‘Centre-back’ ස්ථානයේ ක්‍රීඩා කරනු ලැබූ අතර පිළිවෙළින් මීටර 1.73ක සහ මීටර 1.74ක උසකින් යුතු වූ ඔවුන් දෙදෙනා ලෝක කුසලානයක් දිනා ගත් කණ්ඩායමක එම ස්ථානයේ ක්‍රීඩා කළ උසින් අඩුම ක්‍රීඩකයින් යුගලය ද වේ.

One of the most iconic pictures in FIFA World Cup history ‘The Embrace of the Soul’ (Image courtesy – Getty Images)

එමෙන්ම එහි දී තවත් එක් ඉතිහාසගත අවස්ථාවක් වූයේ වික්ටර් ඩෙල් ඇක්වීලා නමැති අත් දෙකම අහිමි පාපන්දු ලෝලියෙක් පිටිය ආක්‍රමණය කරමින් සිය ආර්ජෙන්ටියානු වීරයන් දෙපලක් වූ යුබාල්ඩෝ ෆිලෝල් සහ ඇල්බර්ටෝ ටැරන්ටීනී වැළඳ ගන්නා අවස්ථාව යි. එම ඡායාරූපයට ‘The Embrace of the Soul’ යන නාමය හිමි විය.

ප්‍රංශ අවදානම් කළමනාකරණයේ ආදර්ශය – ඩිඩියර් ඩෙෂාම්ප්

වීරසිංහ බියගුල්ලෙකු විය හැකිය. ගුණරත්න ගුණමකුවෙකු විය හැකිය. එහෙත් ඩෙෂාම්ප්…

ඒ අනුව නෙදර්ලන්තයට අඛණ්ඩව දෙවන වරටත් අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. ගෝල 6ක් වාර්තා කරගනිමින් තරගාවලිය පුරාවට විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ මරියෝ කෙම්පස් රන් සපත්තුවට මෙන්ම තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි රන් පන්දුවට ද හිමිකම් කියන්නට සමත් විය.

ඉතාලියට තෙවන වරටත් ශූරතාවය – 1982

Italian captain Dino Zoff (Image courtesy – Popper Foto)

1982 වසරේ දී පළමු වරට පාපන්දු ලෝක කුසලානයකට සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ස්පාඤ්ඤයට හිමි වූ අතර සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව ද 24ක් දක්වා ඉහළ නංවන ලදි. ඕෂනියාව නියෝජනය කරමින් නවසීලන්තය තරගාවලියට එක්වීමත් වීමත් සමඟ මෙම තරගාවලියට ‘Confederation’ 6ම නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වූ අතර ඒ ආකාරයට ලෝක කුසලාන තරගාවලියක් සඳහා ‘Confederation’ 6ම නියෝජනය කරමින් කණ්ඩායම් එක්වූ පළමු අවස්ථාව මෙය වේ. නගර 14ක් පුරා පිහිටි ක්‍රීඩාංගණ 17ක් තරග පැවැත්වීම සඳහා යොදාගන්නා ලදි.

මෙහි පළමු වටයේ සිදු වූ සුවිශේෂී සිදුවීමක් වූයේ ප්‍රබල බටහිර ජර්මනි කණ්ඩායම නවක කණ්ඩායමක් වූ ඇල්ජීරියාව හමුවේ ගෝල 1-2ක් ලෙස පරාජයට පත්වීමයි. පසුව ඇල්ජීරියාව ගෝල 3-2ක් ලෙස චිලී කණ්ඩායම පරාජයට පත්කිරීමත් සමඟ, එම කාණ්ඩයේ අවසන් තරගය වූ බටහිර ජර්මනිය සහ ඔස්ට්‍රියාව අතර තරගය ජර්මනිය ගෝල 1කින් හෝ 2කින් ජයගන්නේ නම් එම කණ්ඩායම් දෙකටම ඊළඟ වටයට සුදුසුකම් ලබාගත හැකි බව ඔවුහු දෙපළම එම තරගයට පැමිණෙන විට දැන සිටියහ.

The game between West Germany and Austria (Image courtesy – EMPICS)

ඒ අනුව තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ දී ම බටහිර ජර්මනිය ගෝලයක් වාර්තා කරගන්නට සමත් වූ අතර ඒත් සමඟම කණ්ඩායම් දෙකම තරගයේ ඉතිරි කාලය කිසිදු අරමුණකින් තොරව ක්‍රීඩා කරන්නට විය. කෙසේ නමුත් ඊට තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ගෙන් දැඩි විරෝධතා එල්ල විය. මෙම සිදුවීම පදනම් කරගනිමින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් ඉන්පසුව පැවති ලෝක කුසලාන තරගාවලිවල දී එක් කාණ්ඩයක අවසන් තරග දෙකම එකම වේලාවක පවත්වන ක්‍රමයක් හඳුන්වා දෙන ලදි.

ලෝක ශූර ආජන්ටිනාව පළමු වටයේ දී බෙල්ජියම හමුවේ පරාජයට පත්වුවත් එම කණ්ඩායම් දෙකම හංගේරියා සහ එල් සැල්වදෝර් කණ්ඩායම් අභිබවමින් ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වූහ. කෙසේ නමුත් හංගේරියාව ගෝල 10-1ක් ලෙස එල් සැල්වදෝර් කණ්ඩායම පරාජයට පත්කළේ ලෝක කුසලාන තරගයක වැඩිම ගෝල වෙනසක් සහිත ජයග්‍රහණයට හිමි වාර්තාව සම කරමිනි.

මෙහි දී උතුරු අයර්ලන්තය ගෝල 1-0ක් ලෙස සත්කාරක ස්පාඤ්ඤය පරාජයට පත්කිරීම ද එහි දී සිදු වූ සුවිශේෂී සිදුවීමක් විය. උතුරු අයර්ලන්තයේ නෝමන් වයිට්සයිඩ් යුගෝස්ලෝවියාවට එරෙහි තරගයේ දී සිය මංගල තරගයට ක්‍රීඩා කිරීමත් සමඟ ඔහු ඒ වන විට පේලේ තබා තිබූ ලෝක කුසලාන තරගයක් සඳහා සහභාගී වූ ළාබාලතම ක්‍රීඩකයාගේ වාර්තාව බිඳ දමන්නට සමත් විය.  

ආජන්ටිනාව සහ ඉතාලිය අතර පැවති තරගයේ දී ඩියේගෝ මැරඩෝනා හමුවේ පමණක් ඉතාලි ක්‍රීඩකයින් ‘fouls’ 23ක් සිදු කළ අතර එය ලෝක කුසලාන තරගයක දී එක් ක්‍රීඩකයෙක් හමුවේ සිදු කළ වැඩිම ‘foul’ සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක්විය.

එමෙන්ම ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට දඬුවම් පහර වටයක් පවත්වනු ලැබුවේ ද මෙම ලෝක කුසලාන තරගාවලියේ දී ය. ඒ බටහිර ජර්මනිය සහ ප්‍රංශය අතර පැවති අවසන් පූර්ව තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 3-3ක් ලෙස අවසන් වීමත් සමඟ තරගයේ තීරණය දඬුවම් පහර වටයක් කරා යොමුවීමත් සමඟයි. එහි දී දඬුවම් පහර වටයෙන් තරගය ජයග්‍රහණය කළ බටහිර ජර්මනිය සිව්වැනි වරටත් ලෝක කුසලාන අවසන් මහා තරගයක සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය.

The two captains before the final (Image courtesy – Getty Images)

දෙවන වටයේ දී ඉතාලිය සහ බ්‍රසීලය අතර පැවති තරගයේ දී ගෝල ත්‍රිත්වයක් වාර්තා කර ගත් පෝලෝ රෝසි එම තරගයෙන් ඉතාලියට ගෝල 3-2ක තියුණු ජයක් හිමි කර දෙන්නට සමත් විය. සොක්‍රටීස්ගේ නායකත්වය යටතේ, ඒ වන විට ක්‍රීඩාවේ නිරත වූ හොඳම ක්‍රීඩකයින් අතරින් කෙනෙක් වූ සීකෝ විසින් මෙහෙයවනු ලැබූ ප්‍රබල ඉදිරිපෙළක් සහිතව තරගාවලියට එක්වූ බ්‍රසීලය එහි ශූරතාවය දිනා ගනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කළහ. ඒ අනුව ඔවුන් පළමු වටයේ සහභාගී වූ තරග 3 දී ගෝල 10ක් වාර්තා කර ගනිමින් ඉන් අනතුරුව ලෝක ශූර ආර්ජෙන්ටිනාව පරාජයට පත්කිරීමට සමත් වුවත් ඔවුන්ට ඉතාලිය අභිබවා යන්නට අවස්ථාවක් ලැබුණේ නැත.

ඒ අනුව ටේලේ සැන්ටනාගේ පුහුණුකාරීත්වය යටතේ තරගාවලියට එක්වූ එම බ්‍රසීල කණ්ඩායම ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට අපොහොසත් වූ විශිෂ්ටතම කණ්ඩායම් අතරින් එකක් ලෙස පිළිගැනේ.

බ්‍රසීලය හමුවේ විශිෂ්ට දස්කම් දැක්වීමෙන් අනතුරුව පෝලෝ රෝසි පෝලන්තයට එරෙහි අවසන් පූර්ව තරගයේ දී ද ගෝල ද්විත්වයක් වාර්තා කර ගනිමින් ඉතාලිය තරගාවලියේ අවසන් මහා තරගයට රැගෙන යන්නට සමත් විය.

ඒ අනුව බටහිර ජර්මනිය සහ ඉතාලිය, ඔවුන් දෙපළගේම තෙවන පාපන්දු කිරුළ හිමිකර ගැනීමේ අරමුණින් 1982 ජූලි මස 11 වන දින මැඩ්රිඩ් නුවර ‘Santiago Bernabeu’ ක්‍රීඩාංගණයේ දී තරග බිමට පිවිසියහ.

Marco Tardelli with the trophy (Image courtesy – Getty Images)

එහි දී ගෝල 3-1ක් ලෙස එම තරගය දැඩි අභියෝගයකින් තොරව ජයග්‍රහණය කළ ඉතාලිය වසර 44කට පසුව ලෝක කුසලානයකට හිමිකම් කියමින් ඔවුන්ගේ තෙවන පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කරන්නට සමත් විය. පළමු වටයේ දී ඉතාලිය ඔවුන් සහභාගී වූ එකඳු තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට අපොහොසත් වුවත් ඉන් අනතුරුව ලෝක ශූර කණ්ඩායම් ත්‍රිත්වයක් වූ ආර්ජෙන්ටිනාව, බ්‍රසීලය සහ බටහිර ජර්මනිය පරාජයට පත්කරමින් ඔවුන් ශූරතාවය දිනා ගන්නට සමත් විය.

ඒ අනුව එම කණ්ඩායමේ නායකත්වය දැරූ ඩීනෝ සොෆ් ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ වයස්ගතම ක්‍රීඩකයා බවට පත්වූ අතර තවදුරටත් 1934 වසරේ දී ඉතාලියේම ජියෑන්පියේරෝ කොම්බිගෙන් අනතුරුව කණ්ඩායමක් ලෝක කුසලානය ජයග්‍රහණයක් කරා මෙහෙය වූ පළමු ගෝල රකින ක්‍රීඩකයා ලෙස ද ඉතිහාසයට එක්විය.  

තරගාවලිය පුරාවට ඉහළ දස්කම් දැක්වූ පෝලෝ රෝසි ගෝල 6ක් සමඟින් රන් සපත්තුවත්, එමෙන්ම තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි රන් පන්දුවත් දිනා ගන්නට සමත් වූ අතර ඒ අනුව ඔහු පාපන්දු ලෝක කුසලාන තරගාවලියක දී ප්‍රධාන සම්මාන 3ම (ලෝක කුසලානය, රන් සපත්තුව, රන් පන්දුව) දිනාගත් ක්‍රීඩකයින් අතරට එක්වන්නට විය. එම දක්‍ෂතාවය දැක්වූ අනෙක් ක්‍රීඩකයින් දෙපල වන්නේ ගැරින්චා (1962) සහ මරියෝ කෙම්පස් ය (1978).   

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<