ආජන්ටිනාවට අවසාන මොහොතේ තරගය වෙනස් කරමින් අවසන් සටනට සුදුසුකම් ලබයි

FIFA 2026

2
FIFA 2026

2026 පාපන්දු ලෝක කුසලානයේ 32 වැනි දිනයට අදාළ තරගය අද අලුයම් කාලයේ දී ක්‍රියාත්මක වුනා.

මෙවර ලෝක කුසලානයේ ස්පාඤ්ඤය සමඟ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබාගන්නා අනෙක් කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් එංගලන්තය සහ ආජන්ටිනාව තරග අද තරග බිමට පිවිසුණා.

මෙහි දී කණ්ඩායම් දෙකම තරගය ආරම්භයේ පටන් ඉතා තරගකාරී සහ උණුසුම් තරග ස්වභාවයක් තරග පිටියට පුරාවට රැගෙන යාමට සමත් වූ අතර, මේ නිසාම කණ්ඩායම් ක්‍රීඩකයින් අතර වරින් වර ගැටුම් පවා ඇති වුනා.

දෙරට අතර ඇති පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය දෙස සලකා බැලූ කල පවා මෙවන් උද්වේගකර අවස්ථා සුලබ බැවින්, මෙම තරගයට පෙර සිටම බොහෝ ප්‍රේක්ෂකයින් ඒ පිළිබඳ බලාපොරොත්තු වී සිටි බවත් සක්සුදක් සේ පැහැදිලියි.

කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට සමත් වුනේ නැහැ.

කෙසේ වෙතත් තරගයේ 55 වැනි මිනිත්තුවේ දී එංගලන්ත ක්‍රීඩක A. Gordon විසින් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනා. ඒත් සමඟින් ම ලෝක කුසලානය පිළිබඳ බලාපොරොත්තු ඉහළ ගිය එංගලන්තය තරමක් ආරක්ෂාකාරී ලෙස ක්‍රීඩා කිරීමට උත්සාහ කළ අතර, තරගයේ 80 වැනි මිනිත්තුව දක්වා ම එම උත්සාහයන් සාර්ථක කර ගැනීමට ද ඔවුන් සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ 85 මිනිත්තුවේ දී E. Fernández විසින් Lionel Messi ලබා දුන් Assist එකක් සමඟ ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ආජන්ටිනාව සහ එංගලන්තය නැවතත් සම මට්ටමට පැමිණියා.

ඉන් අනතුරුව තරගයේ 90+2 මිනිත්තුවේ දී නැවතත් ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ Messi විසින් ලබා දුන් පන්දුව ගෝලයක් බවට පරිවර්තනය කර ගැනීමට L. Martínez සමත් වූ අතර, ඒත් සමඟම 2-1ක් ලෙස පෙරමුණට පැමිණීමට ආජන්ටිනාවට හැකියාව ලැබුණා.

එංගලන්තයට මෙයින් පසුව නැවත තරගය වෙනස් කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර, ඒ අනුව ආජන්ටිනාව නොකඩවා දෙවැනි වරටත් ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

එමෙන්ම එංගලන්තයට සිය ලෝක කුසලාන ඉතිහාසයේ තෙවැනි වරටත් අවසන් පූර්ව වටයෙන් ඉවතට විසි වී යාමට සිදු වුනා.

මේ අනුව එළඹෙන 20 දා ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව 2026 පාපන්දු ලෝක ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් සටනට පිවිසීමට නියමිතයි. මේ අතර තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා ප්‍රංශය සහ එංගලන්තය එළඹෙන 19 වැනි දා තරග බිමට පිවිසීමට නියමිතයි.

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>