18න් පහළ පැසිපන්දු ආසියානු කුසලාන තරගාවලියට (FIBA U18 Asia Cup) සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන, දකුණු ආසියානු පැසිපන්දු තරගාවලිය පසුගිය සිකුරාදා (29) රාත්‍රියෙන් නිමාව දුටුවා.
මෙම තරගාවලියේ අවසන් මහා තරග ද්විත්වයම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සටන් ද්විත්වයක් බවට පත් වූ අතර, එම තරග ද්විත්වයම ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම් විසින් සමත් වීමත් සුවිශේෂී සිදුවීමක්.
එමෙන්ම මීට අමතරව පිරිමි අංශයේ තෙවැනි ස්ථානය වෙනුවෙන් බංග්ලාදේශය සහ මාලදිවයින් ද තරග බිමට අවතීර්ණ වූ අතර, එම තරගය මෙතෙක් තරගාවලියේ ක්‍රියාත්මක වූ වඩාත් තරගකාරී ම තරගයක් ලෙස සටහන් වුනා.
පිරිමි අංශය – තුන් වෙනි ස්ථානය සඳහා තරගය
මාලදිවයින සහ බංග්ලාදේශය අතර
මෙම තරගය ආරම්භ වීමටත් පෙර සිටම බංග්ලාදේශයට තරගය ජය ගැනීමට වැඩි ඉඩක් පවතින බවයි බොහෝ දෙනාගේ අනුමානය වුනේ. කෙසේ වෙතත් මාලදිවයින් ක්‍රීඩකයින් ඒ බව විශ්වාස නොකළ බවක් පෙනෙන්නට තිබූ අතර තරගයේ පළමු කාර්තුව තුළ ඔවුන් විසින් විශිෂ්ට ආරම්භයක් ලබාගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් බංග්ලාදේශය විසින් තරගයේ දෙවැනි කාර්තුවේ දී නැවත එම ලකුණු පරතරය අවම කර ගනිමින් පෙරමුණට පැමිණීමට සමත් වූ අතර, ඉන් පසුව ක්‍රියාත්මක වූ තෙවැනි සහ සිව්වැනි තරග කාර්තු අතිශය උණුසුම් මුහුණුවරක් ගත්තා.
- පළමු කාර්තුව
මාලදිවයින 20 – බංග්ලාදේශය 12
- දෙවැනි කාර්තුව
මාලදිවයින 09 – බංග්ලාදේශය 21
- තෙවැනි කාර්තුව
මාලදිවයින 16 – බංග්ලාදේශය 16
- සිව්වැනි කාර්තුව
මාලදිවයින 17 – බංග්ලාදේශය 10
සමස්ත තරගය
මාලදිවයින 62 – බංග්ලාදේශය 59
තරගයේ වීරයා – Yusuf Shiham (මාලදිවයින)
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
කාන්තා අංශය – අවසන් මහා තරගය
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව
තරගාවලිය තුළ අපරාජිත ව සිටීමට සමත් වූ ඉන්දීය ක්‍රීඩිකාවන් විසින් මෙවරත් සිය උපරිමය ලබා දෙමින් තරගයට අවතීර්ණ වූ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් පළමු කාර්තුව තුළ ඉන්දියාවට එරෙහිව ඉහළ ආරක්ෂණ උපක්‍රම භාවිත කරමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී ඉන්දියාව නැවත නැගී සිටීමට සමත් වෙමින් තරගයේ පෙරමුණට පැමිණීමට සමත් වූ අතර, එතැන් පටන් සම්පූර්ණ තරගය පුරාවටම සිය ආධිපත්‍යය විහිදුවාලීමට ද සමත් වුනා.
මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් නායිකා බිනුති ජයසිංහ ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ලකුණු 28ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඉන්දීය නායිකා Viha Jonnalagadda විසින් ලකුණු 25ක් වාර්තා කිරීමට සමත් වුනා.
- පළමු කාර්තුව
ඉන්දියාව 16 – ශ්‍රී ලංකාව 20
- දෙවැනි කාර්තුව
ඉන්දියාව 30 – ශ්‍රී ලංකාව 12
- තෙවැනි කාර්තුව
ඉන්දියාව 17 – ශ්‍රී ලංකාව 10
- සිව්වැනි කාර්තුව
ඉන්දියාව 20 – ශ්‍රී ලංකාව 15
සමස්ත තරගය
ඉන්දියාව 83 – මාලදිවයින 57
තරගයේ වීරවරිය – Viha Jonnalagadda (ඉන්දියාව)
පිරිමි අංශය – අවසන් මහා තරගය
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව
තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට ලබා දුන් තියුණු අභියෝගය හේතුවෙන් මෙම තරගය සඳහා ද ඉහළ ප්‍රේක්ෂක අවධානයක් හිමි වුනා. කෙසේ වෙතත් මෙම තරගයේ පළමු කාර්තුව තුළ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට වඩා ඉහළ ලකුණු ප්‍රමාණයක් රැස් කරමින් තරගයේ පෙරමුණට පැමිණීමට සමත් වුනා.
තරගයේ දෙවැනි කාර්තුවේ සිට ශ්‍රී ලංකාව ද නැවතත් සිය සුපුරුදු ආක්‍රමණශීලී තරග රටාවට අනුගත වෙමින් ක්‍රීඩාවේ නියැලුණු අතර, මෙහි දී සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසදායී ම ක්‍රීඩකයා ලෙස ආරෝන් ජෙරාල්ඩ් විසින් ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වුනා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට සමස්ත තරගයේ තීරණය වෙනස් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.
- පළමු කාර්තුව
ඉන්දියාව 20 – ශ්‍රී ලංකාව 04
- දෙවැනි කාර්තුව
ඉන්දියාව 22 – ශ්‍රී ලංකාව 18
- තෙවැනි කාර්තුව
ඉන්දියාව 15 – ශ්‍රී ලංකාව 16
- සිව්වැනි කාර්තුව
ඉන්දියාව 21 – ශ්‍රී ලංකාව 18
සමස්ත තරගය
ඉන්දියාව 78 – ශ්‍රී ලංකාව 56
තරගයේ වීරයා – Piyush Choudhary (ඉන්දියාව)
ඒ අනුව ඉන්දියාව ද්විත්ව ශූරතා සමඟින් මෙවර තරගාවලිය නිමා වුනා. මේ අතර තරගාවලිය පුරා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා මත All Star Five ප්‍රකාශය පත් කළ අතර, ඊට අමතරව තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ද නම් කළා.
කාන්තා අංශය
බිනුති ජයසිංහ සහ Aleena Hayaz (ශ්‍රී ලංකාව), Mahek Sharma සහ Viha Jonnalagadda (ඉන්දියාව) සහ Lyran Ahamed (මාලදිවයින)
- තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාව – Viha Jonnalagadda (ඉන්දියාව)
පිරිමි අංශය
ආරෝන් ජෙරාල්ඩ් සහ සුදම් ලියනගේ (ශ්‍රී ලංකාව), Arman සහ PiyushChoudhary (ඉන්දියාව) සහ Ismail Zui Zilaal (මාලදිවයින)
- තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – Shekar Rathee (ඉන්දියාව)
දෙස්, විදෙස් ක්‍රීඩා පිටියේ සිළුව උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<






















