රිනවුන් හා කොළඹ අවසන් 4 ට

375
FA cup quarter finals

පසුගිය දින පුරා පැවති එෆ්. ඒ කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව තරඟ පසුගියදා ආරම්භ වූ අතර එහි තරඟ දෙකක් පෙරේදා (14) පැවැත්විණි.

 එෆ්. ඒ කුසලානය අවසන් අටදෙනා දක්වා 

හිලරි ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ පාපන්දු සමාජය,

මෙම තරඟයේ දී පසුගිය වර ශූරතාවය දිනාගත් කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම ගෝල 15 – 01ක් ලෙස අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වූ අතර එම තරඟය කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්විණි.

මෙම තරඟයේ මුල සිටම දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කල කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම තරඟයේ 17 වන මිනිත්තුවේදී ධනුෂ්ක මදුසංක ලබා ගත් ගෝලයත් සමඟින් ගෝල ලබා ගැනීම අරඹන ලදි. ඉන් සුළු මොහොතකට පසු ඒ. සී. ෆ්රෑන්ක් විසින් තවත් ගෝල ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් විය. අනතුරුව ක්‍රියාත්මක වූ බොඩ්රි දිමිත්‍ර කොළඹ කණ්ඩායම වෙනුවෙන් තවත් ගෝල 3 ක් ලබා ගන්නා ලදි. තරඟය පළමු අර්ධය නිමාවන විට ගෝල 07 – 00 ක් ලෙස කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම පෙරමුණේ පසුවිය.

දෙවන අර්ධයේ 3 වන මිනිත්තුවේදී යළිත් ක්‍රියාත්මක වූ ධනුෂ්ක මදුසංක තවත් ගෝලයක් ද ඉන් සුළු මොහොතකට පසු කොළඹ කණ්ඩායම වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා වූ අතර ඒ වන විට ගෝල 8 ක් ඔවුන් ලබා සිටින ලදි. 71 වන මිනිත්තුවේදී ධනුෂ්ක මදුසංක තවත් ගෝලයක් ද, අනතුරුව බොඩ්රි දිමිත්‍ර විසින් තවත් ගෝල 4 ක් ද ලබාගැනීමට සමත් විය. හිලරි කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය 86 වන මිනිත්තුවේදී එස්. ජේසුදාසන් විසින් ලබාගැනීමට සමත් විය. කොළඹ කණ්ඩායම දඩුවම් පහර 2 ක් ද සාර්ථක කර ගනිමින් තවත් ගෝල දෙකක් ගත් අතර ඒ ගෝල දෙක මොහොමඩ් රිස්නි හා අහමඩ් ශස්නි විසින් කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම වෙනුවෙන් ලබා ගන්නා ලදි.

තරඟය නිමා වුයේ ගෝල 15 – 01 ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමට හිමි කර දෙමිනි.

තරඟයේ වීරයා ලෙස කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමේ බොඩ්රි දිමිත්‍ර නම් විය.

ජවා ලේන් ක්‍රීඩා සමාජයට එරෙහිව රිනවුන් ක්‍රීඩා සමාජය,

එෆ්. ඒ. කුසලාන පාපන්දු තරඟාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරඟය ලෙස මෙම තරඟය තුරඟ තරඟ පිටියේදී ඉකුත් 14 වැනිදා පැවැත්විණි. මෙම තරඟය ගෝල 05 – 01 ලෙස ජයග්‍රහණය කිරීමට රිනවුන් කණ්ඩායම සමත් විය.

රිනවුන් කණ්ඩායම වෙනුවෙන් ගෝල ලබා ගැනීම 9 වන මිනිත්තුවේදී ඕ. ජේ. මයිකල් විසින් එල්ල කල ගෝලයත් සමඟ අරඹන ලදි. අනතුරුව 19 වන මිනිත්තුවේදි එම්. ෆසාල් තවත් ගෝලයක් රිනවුන් කණ්ඩායම ඉදිරියෙන් සටහන් කල අතර ජවා ලේන් ක්‍රිඩක චමීර ද සිල්වා 32 වන මිනිත්තුවේදී තමන්ගේ පිලේ දැල වෙතටම පහරක් එල්ල වීමෙන් තවත් එක් ගෝලයක් රිනවුන් පිලට ලබා දුනි.

තරඟයේ පළමු අර්ධය නිමා වූයේ ගෝල 3 – 0 ක් ලෙස රිනවුන් පිල ඉදිරියෙන් සිටිමිනි. අනතුරුව තරඟයේ දෙවන අර්ධයේ 59 වන මිනිත්තුවේදී නවීන් ජූඩ් විසින් ජවා ලේන් කණ්ඩායම වෙනුවෙන් ලබා ගත් එකම ගෝලය වාර්තා කරන ලදි. තරඟයේ 75 වන මිනිත්තුවේදී එම්. සී. එම්. රිෆ්නාස් සහ 88 වැනි මිනිත්තුවේදි ඒ. එම්. ඒ. අස්ලාම් ද රිනවුන් ක්‍රීඩා සමාජ කණ්ඩායම වෙනුවෙන් තවත් ගෝල දෙකක් ලබාගැනීමට සමත් වූ අතර තරඟය නිමා වූයේ ගෝල 05 – 01 ක් ලෙස රිනවුන් කණ්ඩායමට ජය හිමි කර දෙමිනි.

මීට අමතරව එම වටයේ ඉතිරි තරඟ දෙක ඊයේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා කල් දමා ඇත. එම තරඟ දෙකේ දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර එක් තරඟයක් ද, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය හා බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය අතරද පැවැත්වීමට නියමිතව තිබුනි.

තවත් පුවත් සිංහලෙන් කියවන්න