නිව් යංග්ස්ගෙන් මොරටු සිසුන්ට දැවැන්ත ප්‍රහාරයක්!

163

2016/17 FA කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරගයක් ඊයේ (17) කැළණිය පාපන්දු පිටියේ දී පැවැත්වූයේ මොරටුව විශ්ව විද්‍යාලය සහ නිව් යංග්ස් ක්‍රීඩා සමාජය අතරයි. එම තරගයෙන් ගෝල 07-00ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරන්නට නිව් යංග්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

23න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියට ලංකාවත්

2018 චීනයේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 23න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ දී ශ්‍රී ලංකාව A කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි.

මොරටුව කණ්ඩායමට වඩා අත්දැකීම් සහ ප්‍රබලත්වයෙන් ඉදිරියෙන් සිටි නිව් යංග්ස් ක්‍රීඩා සමාජයට මෙම තරගය පහසු එකක් වූ බව පැහැදිලිය, කෙසේ නමුත් ඔවුන්ගේ ද ප්‍රවීණ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු විවේක ගන්නවා තිබුණු අතර නවක මුහුණු කිහිපයක් ද දැක ගත හැකි විය.

ආරම්භක සංඥාවත් සමඟින් පිටිය කාර්ය බහුල විය. කණ්ඩායම් ද්විත්වයම ලකුණු රැස් කිරීමට පන්දුව පසුපස හඹා ගිය අතර දෙපිලෙහිම මනා ආරක්ෂණය නිසාවෙන් තරගයේ මිනිත්තු 30ක් පමණ වන තෙක් ගෝලයක් වාර්තා වූයේ නම් නැත.

තරගයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා වූයේ තරගයේ මිනිත්තු 30ක් වන විටයි. දක්ෂ ලෙස පන්දුවට පහර එල්ල කල මොහොමඩ් මුෂිකන් එම පන්දුවේ උරුමක්කාරයා විය.

ඉන්පසුව නැවතත් මිනිත්තු 6ක් වන විට තවත් ගෝලයක් වාර්තා වූයේ නිව් යංග්ස් ක්‍රීඩක හසිත ප්‍රියංකරගේ පාදයෙනි.

කෙසේ හෝ ගෝලයක් වාර්තා කරමින් නිව් යංග්ස් අබිබවා යෑමට මොරටු තරුණයින් උත්සාහ කලත් ප්‍රථම අර්ධය නිමා වූයේ 42 වැනි මිනිත්තුවේ දී මුෂිකන් වාර්තා කර ගත් දෙවැනි ගෝලයත් සමඟයි.

ප්‍රථම අර්ධය: නිව් යංග්ස් ක්‍රීඩා සමාජය 03 – 00 මොරටුව විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සමාජය

දෙවැනි අර්ධයට උද්යෝගයෙන් පිටියට පිවිසි කණ්ඩායම් දෙකෙන් මුලින්ම ගෝලයක් වාර්තා කලේ මුෂිකන් විසිනි. සිය ගෝල දිනුම් ත්‍රිත්වය රැස් කර ගැනීමට ඔහු සමත් වූයේ තරගයේ 58 වැනි මිනිත්තුවේදීයි.

එම ගෝලයේ උණුසුම වියැකී යෑමටත් මත්තෙන් ප්‍රියංකර සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව ලකුණු සංඛ්‍යාව 5ක් දක්වා වර්ධනය වූ අතර විශ්ව විද්‍යාල තරුණයින්ට ගෝලයක් වාර්තා කිරීම සිහිනයක් බවට පත් වෙමින් තිබුණි.

නමුත් ඔවුන් අවසන් මොහොත දක්වා හොඳ ජවයකින් සහ ප්‍රතිවාදීන් මෙල්ල කරමින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර තරගයේ මිනිත්තු 10ක් වන තෙක් කණ්ඩායම් දෙකෙන්ම ගෝලයක් වාර්තා වූයේ නැත.

කෙසේ නමුත් තරගය අවසන් වීමට මත්තෙන් තවත් ගෝල දෙකක් සිය ගිණුමට බැර කර ගන්නට නිව් යංග්ස් ක්‍රීඩකයෝ සමත් වූයේ මොරටු සිසුවන්ගේ ජයග්‍රහණය සිහිනයක් බවට පත් කරමිනි. තරගය තුල ගෝල 4ක් වාර්තා කරමින් අවසන් ගෝල ද්විත්වය එල්ල වූයේ හසිතගේ පාදයෙනි. ඒ තරගයේ 81 වැනි සහ 90 වැනි මිනිත්තුවේදීය.

අවසන් ලකුණු: නිව් යංග්ස් ක්‍රීඩා සමාජය 07 – 00 මොරටුව විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සමාජය

ThePapaer.com තරගයේ වීරයා: මොහොමඩ් මුෂිකන් (නිව් යංග්ස්)

තරගයෙන් අනතුරුව ThePapare.com හා අදහස් දැක්වූ ජයග්‍රාහී කණ්ඩායමේ පුහුණුකරු රෝහිත ප්‍රනාන්දු මහතා,

“අපේ කණ්ඩායමේ ඉන්න සුපුරුදු ක්‍රීඩකයෝ 6 දෙනෙක් විවේක ගන්වලා තමයි අපි මේ තරගයට සහභාගී වුනේ. මට අවශ්‍ය වුනා නවකයින්ටත් අවස්ථාවක් දෙන්න. කණ්ඩායමේ ක්‍රීඩා විලාසය ගැන මම සතුටු වෙනවා. නමුත් ඉදිරියේ දී අපි මිට වඩා දරුණු කණ්ඩායම් සමඟ සෙල්ලම් කරන්න සිදුවේවි.”

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්.

නිව් යංග්ස්: මොහොමඩ් මුෂිකන් 30′, 42′ & 58′, හසිත ප්‍රියංකර 36′, 61′, 81′ & 90′

රතුකාඩ් පත්:

රාසා මොහොමඩ් (මොරටුව)

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට